ආත්ම වංචාවෙන් මිදෙමු

තමන් විසින් තමන්ගේම සිතට වංචා කිරීම ආත්ම වංචාවයි. තමා විසින් තමන්ව රවටා ගැනීම අප අතර වැඩි වශයෙන් පැතිර ඇති දුර්වලකමකි.

එහෙත් ජීවිතය ගැන අවබෝධයකින් ජීවත්වන මන උස්සයින් අතර මෙවැනි දුර්වලතා නොමැත.

1. තමා දැන දැනම තමන්ගේ ජීවිතය වරදේ යොදවමින් අන්‍යයන්ට එහි අනිත් පැත්ත පෙන්වන්නට උත්සාහ ගන්නේ ඇයි?

2. අනුන්ට ඊර්ෂ්‍යා කරමින් ඊර්ෂ්‍යා කරන්නට එපා යැයි අනුන්ට කියන්නේ ඇයි?

3. තමන් ධර්මයෙහි නොපිහිටා අනුන්ට යුක්තිය ගැන බණ කියන්නේ ඇයි?

4. තමන්ගේ සිත රවටා ගැනීමට තමන්ම මහන්සි ගන්නේ කුමකට ද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු ඔබේම සිතෙන් අවංකවම විමසා බැලීමෙන් ආත්ම වංචාව සිතෙන් දුරු වී යන්නේය.

තමන්ගේ සිත හැඩ ගස්වා ගැනීමට තම සිතට අවංක වීම උතුම් ක්‍රියාවකි. උගුරට හොරා බේත් විදින්න පුළුවනි. නමුත් බේත් බොන්න බැහැ. ඔබේ චරිතය හැඩගස්වා නොගෙන අනුන්ට ඔවදන් දෙන්න යන්න එපා. ඔබ ඔබට වංචාකාරයෙක් වීමෙන්, ඔබ ඔබට ද්‍රෝහීවීමෙන්, ඔබ ඔබට නිවටවීමෙන්, පිරිහෙන්නේ ඔබේම ජීවිතය බව සිතන්න. ඔබ ඔබට අවංක වන්න. දිනපතා ඔබේ ඇති වැරදි ගණන් බලා එයින් එක් වරදක් හදාගන්න. ඔබේ ජීවිතය ඒ මොහොතේ පටන් සාර්ථකත්වය කරා ගමන් ගනීවි. ඔබට ‘ආත්ම දමනය’ කළහැකි වේවි. ඔබේ ජීවන යාත්‍රාව නියම මාර්ගයේ හසුරුවා ගෙන පැද යන්නට ඔබට ශක්තිය ලැබේවි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1979 දෙසැම්බර් 1

නපුරු වඳුරුගති එපා!

වඳුරෙකුට නපුරු ගති ඇතිවෙන්නේ අපි ඌට හිරිහැර කිරීම නිසාය. නිතරම කෝටු වලින් අනින්න. ගල් මුල් වලින් දමා ගසන්න. එවිට උගේ ජීවිතය රැක ගැනීමට හා වේදනා විඳීමෙන් ගැලවී සිටීමට ඌට ඕනෑ වේ. වඳුරා බණ කීමට දන්නේ නැත. ඒ නිසා ඊ ළඟට ඌ ද්නා දේ කරයි. එනම් ඌට හිරිහැර කරන අයට ඌත් හිරිහැර කරයි. වඳුරා හපා කන්නේ බයටයි.

සමහරු තමන්ගේ දරුවන් ද හදාගන්නේ වඳුරන් විදියට නපුරු ගති පුරුදු කිරීමෙනි.

නිතරම යමක් ගැන නොදන්නාකම නිසා හිරිහැර වැඩියෙන් ළඟාවෙන්නේය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1980 දෙසැම්බර් 15

සත්‍යයට මුහුණ දී බුද්ධිමත් වන්න

සිතට කොපමණ රිදුනත් එම වේදනාව තුලින් සත්‍යයට මුහුණ දීමට හැකි අය පමණක් බුද්ධිමත් වන්නෝය. ගතානුගතික විශ්වාසයකට එරෙහිව සිතිමට නුහුරු නුපුරුදුකමක් තිබීම ස්වභාවිකය. එහෙත් එම ස්වභාවික තත්වයට වහල් නොවීමෙන් මිනිසත්කම ඔප නැංවේ.

අන් අය මුලා කිරීමට කෙනෙකු තුල පහළ වන ආශාව මානසික රෝගයකි. නවකතාවල සිතින් මවාගත් අසත්‍යය කතාවක් බව නොකියා සත්‍ය සිද්ධියක් හැටියට පෙන්වා දීමට යම් අයෙකු වෑයම් කරයි නම් එය මානසික රෝගයකි.

අසත්‍ය හා මනඃකල්පිත දේ රචනයට ඇති ආශාව මෙම මානසික රෝගීභාවය තුළින් පහළවන ධනවේගයයි. මැජික් පෙන්වීමෙන් අන්‍යයන් මුලාකොට සතුටු කරන්නේ ද ඒ රෝගී මනස ධනවේගයක් බවට පරිවර්තනය කරගත් අයයි.

ලොබ්සාං රම්පා නැමති ආරූඪ නාමයෙන් ඉංග්‍රීසි ලේඛකයෙකු සිය දහස් ගණන් පාඨකයන් මුලාකර තිබේ. ඔහු තමා ටිබෙට් ජාතිකයෙකු හැටියට අධි මානසික බලයෙන් ‘තුන්වැනි ඇසක්’ මතුකරගත් අයෙකු බව කියා ඇත. එහෙත් බ්‍රිතාන්‍ය වැසියන් මේ වංචනිකයා මනඃකල්පිත මානසික ධර්මයන් ලියන ලේඛකයෙකු ලෙස දැන් දැන හැඳිනගෙන සිටිති.

යූරි ගෙලර්ගේ ‘අධි මානසික ශක්තිය’ මිනිසුන් මුලා කළ විජ්ජාව් බව ලෝකයකට ඔප්පු කළේ නැසී ගිය ආචාර්ය කොවුර් විසිනි. ඉන්පසු යූරි ගෙලර් ලෝකයා මුලා කිරීමෙන් වැළකී දැනට මුළුගැන්වී සිටියි.

අධිමානසික බලයෙන් මෙතෙක් කිසිවෙකු ලෝකය වැඩදායක හා ප්‍රයෝජනවත් කිසිම දෙයක් මතුකර දී නැත. චිත්ත බලයෙන් පාන් කැබැල්ලක් කට ළඟට ළංකර ගැනීම විහිළුවකි. චිත්ත බලයෙන් කළ යුත්තේ අතින් පයින් හෝ උපකරණ මඟින් කළ නොහැකි දුෂ්කර දෙයකි.

මසට ඇනී ඇති කටුවක් ඇද දමන විට රිදීමක් දැනේ. මනසට ඇනී ඇති මිථ්‍යා මත නැමති විෂ කටු ගලවා දැමීමට හේතුවන විදියේ වචන ඇසෙන විට පවා වේදනා ඇතිවේ. ඇතැම් විට අඥානකම අධිකවීම නිසා බලවත් කෝපය ද ඉස්මතු වේ.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1980 ජනවාරි 15

ආගම

ඔබ සත්‍යය යැයි පිළිගෙන සිටි ආගම ධර්මය ගැන ඔබ ඉගෙන ගෙන නැත්නම් ඔබට ආගමක් ඇතැයි කියා කියන්නේ මුසාවකි.

ඔබේ ආගම් කර්තෘවරයාට හෝ ධර්මයට කෙනෙකු නින්දා පරිභව කරන විට ඔබේ සිතට කෝපය නැඟේ නම් ඔබට ආගමක් නැත.

කරන්නන් වාලේ යමක් කීමට විශේෂ ඥානයක් හෝ බුද්ධියක් අවශ්‍ය නැත. කරන්නන් වාලේ ආගම් අදහන අය තමන්ට ආගමක් නැතිබව නොදනිති.

-සුමනදාස සමරසිංහ

මිනිසුන් රජයට සාප කරන්නේ ඇයි?

මෙරට වාමාංශික පක්ෂ මහජනයාට තිත්ත කළේ මහජනයාගේ සහෝදරයින් ලෙස පෙනී සිටි වාමාංශිකයින්ය. දැන් දක්ෂිණංශික රජයට වින කරන්නේ ද විරුද්ධ පාක්ෂිකයින්ට වඩා රජයට හිතැති මෝඩ සේවකයින් විසිනි.

වාමාංශිකයන් බලයේ සිටි අවදියේ බස් කොන්දොස්තරවරුන්ගෙන් ඇනුම් බැනුම් නොඅසා ගමනක් ගිය අයෙකු නොවීය. එකල ඔව්හු මිනිසුන් පෝලිමේ වැස්සට තෙමෙමින් සිටිය දී හිස් බස් බාගෙට නවතා මගීන් ගොඩවීමට පෙර අද්දනු ලැබීය.

මෝඩකම නිසා වාමාංශික සහෝදරවරු නිතරම මිනිසුන්ට තලා පෙලා කතා කළහ. බස් ව්‍යාපාරය මහජන සේවයකට වඩා මහජනයාට හිංසා පීඩා කරන සේවකයක් විය. එයින් මහජන රජයට සිදු වූ පාඩුව මුදලින් කෝටි ගණනකි. මහජන අප්‍රසාදය නිසා සිදු වූ පාඩුවට අදත් වාමාංශික පක්ෂ වන්දි ගෙවති. බස් සේවකයින් මිනිසුන්ට සැලකූ අන්දම ඉතා පහත් අමානුශික ක්‍රියා වලින් ගහණ විය. ඔවුන්ගේ එම ක්‍රියාවන් නිසා මහජනයා සාප කළේ රජයටය.

එකල රාජ්‍ය හා සංස්ථා සේවයට මිනිසුන් බඳවා ගත්තේ අද මෙන්ම මන්ත්‍රීවරුන්ගේ හා පක්ෂයේ බලපෑම් අනුවය. එසේ සේවයට බැඳුනු අය තම රටට තම පක්ෂයට හෝ සහෝදර රටවැසි ජනතාවට සේවයක් කළේ නැත. ඔවුන් කළ එකම සේවය මහජනතාවට වාමාංශික ව්‍යාපාරය තිත්ත කරවීමයි.

අද තත්වය ඊට වඩා වෙනස්ය. වෙනසක් නැතැයි සිතන්නේ නම් ඔබට වැරදීමක් සිදුවී ඇත. අදත් මන්ත්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ බලපෑම් අනුව ඉඳහිට රැකියා ලබන අය රටට, පක්ෂයට හෝ ජනතාවට සේවයක් සිදු නොකරති. ඔව්හු තම පහත් ගතිය පාරිභෝගිකයින්ට පෙන්වමින් උදම් වෙති.

එකල ඕනෑම සංස්ථාවක හෝ රජයේ ආයතනයකට ගොස් වැඩක් කරවාගත හැකි වූයේ ලොකු ලොක්කන්ට හා ලොකු තැන්වලින් ලියුමක් හෝ මුදල් ඇමතිතුමාගේ අත්සන සහිත ‘ලියුම’ ගෙන ගිය අයට පමණකි. අන් අයට ලැබුනේ දෙවන හා තුන්වන තැනය. විඳින්නට සිදු වූ මදිපුංචිකම් කෙළවරක් නැත.

අද වුවත් බොහෝ තැන්වල සේවක කොටස් කතා කරමින් හා උකුළු මුකුළු කරමින් සිටිනවා මිස පැමිණ සිටින මහජනයා දෙස ඕනෑකමින් බලන්නේවත් නැත.

අලෙවි මධ්‍යස්ථානවලට බඩු මිල දී ගැනීම සඳහා යන පුද්ගලයා බැගෑපත්ව යා යුතුය. තුන්ඩු ලියන අය හා බඩු කිරා දෙන අය වැඩ කරන්නේ “ඕනෑ නම් ගනින් නැත්නම් පලයන්” යන අදහසිනි. සෑම තැනකම සේවකයා ලොක්කෙකි. සමහරු ඔළුබක්කයන්ය. අඩුවට කිරා ඇති බවක් කිවහොත් ඇනුම් බැනුම් හා ඇතැම්විට පරුෂ වචනයෙන් ද සංග්‍රහ කරනු ලැබේ.

රැකියාවක් නැතිව රස්තියාදු වෙමින් සිටි අයෙකුට රජයේ හෝ සංස්ථාවක රැකියාවක් ලැබුනු විගස ඔහු හෝ ඇය වැඩ කරන්නේ රන්මාලය කරට දැමූ බොහොඬා මෙනි.

හිඟන ආණ්ඩුවක් බිහිකරන්නේ අලසව හා අප්‍රසන්න අයුරින් වැඩ කරන ජනතාව විසිනි. ධනපති ආණ්ඩු භංග කර හිඟන ආණ්ඩු පත්කර ගැනීමට සිතන්නේ නොදියුණු රටවල ද්වේෂ සහගත අය විසිනි.

හිතාමතා මහජනයා පෙලන රජයේ සේවකයින්ගේ අමානුෂික ක්‍රියා ගැන නිහඬවීම රටට හිතවත් අයට සුදුසු ක්‍රියාවක් නොවේ. රාජ්‍ය සේවකයා අල්ලසට පුරුදු කරවන්නේ මහජනයා වූ අයමයි.

බොහෝ තැන්වල රජයේ සේවකයින් වැඩ කරන්නේ රජයට ඕනෑ අන්දමින් නොව තමන්ට හොඳ යයි සිතෙන විදියටයි. මේ නිසා දසදහස් ගණන් ජනයා රජය කෙරෙහි දිනපතා කල කිරෙති.

ලෝකයේ රටවල් සමඟ පවත්නා සුහදතාවය නිසා දැනට බලයේ සිටින රජයට ණය පහසුකම් ලැබේ. ලැබෙන ණය මුදල් හරියාකාරව යොදවා රට දියුණු කළ හැක්කේ රජයේ සේවය කරන අයටය. ඔව්හු රජයෙන් පඩි ලබන්නේ ද මහජනතාවට සේවය කිරීම සඳහාය. එහෙත් සැබවින් කරන්නේ මහා හපන්කමක් හැටියට දක්වමින් මහජනයා රිදවීමය.

මෝඩකම නරක දෙයක් නොවේ. එය ස්වභාවික තත්වයකි. මෝඩකම නිසා අහංකාරකම ඉස්මතු වේ. මෝඩයා අහංකාර වූ විට එය රටට, ජාතියට හා ආගමට විනයකි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1982 දෙසැම්බර් 15

කරැම ලෙඩ

ඉස්සර කාලේ වාහන නොතිබුණු නිසා කිසිවෙකු වාහන අනතුරකින් මළේ නැත. වැඩි දෙනා මළේ පණු රෝග, වසංගත, සර්ප විෂ, විෂබීජ නිසා සහ දරැවන් ලැබෙද්දී ය. එසේ මළේ විෂබීජ නාශක, බෙහෙත් විදින කටු, ලේ දීමේ ක්‍රම, ශල්‍යකර්ම සඳහා එක්ස් රේ, යකඩ පෙනහැල්ල යනාදිය නොතිබුණු බැවිනි.

දැන් බෙහෙත් හා උපකරණ නිසා ආයු දීර්ඝ කරගත හැකි වී තිබේ. පෙර කරැමය නිසා වලිප්පුව, පිටගැස්ම ආදී රෝග වලින් ළමයි මිය යන්නේ නැත.

වැසිකිළි ක්‍රමය නිසා පාචන, කොකුපණු හා වෙනත් රෝග රාශියක් අතුරැදහන් වී තිබේ. බොහෝ රටවල මැලේරියා වසංගත හා බරවා යන රෝග ගැන ලකුණක් හෝ නැත.

එහෙත් නූගත් ජනයා තමන්ට ලෙඩ දුක් කරන යකුන්, ප්‍රේතයින්, ග්‍රහයින් හා ඇති පෙර කරැම විපාක ගැන සිතමින් හා කියමින් කාලය කා දමති. නුවණ ඇති ජනයා හදවත් බද්ධ කරමින් මරණාසන්න අයට ජීවිතය දානය කරති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1983 අගෝස්තු 1

හොඳ මිතුරන් ඇතිකරගැනීමට නම්

හොඳ මිතුරන් ඇතිකරගැනීමට නම් තමා වටිනා කියන හොඳ අයෙකු වීම වැදගත්ය. ඔබේ ඇසුර පතන අය වැඩිකරගැනීමට ඔබ විසින් පිළිපැදිය යුතු කරැණු රාශියකි. ඊට පෙර ඔබේ ඇසුරින් අන් අය ඈත්වන කරැණු මොනවා ද කියා තේරැම් ගැනීම වැදගත්ය.

ඉතා කෙටි උත්තර දෙන අයට හා ඉතා දීර්ඝ ලෙස කතා කරන අයටත් යන කොටස් දෙකටම මිනිසුන් අකමැති වේ.

වයසක අය වෙන කියන්නට දෙයක් නොමැතිකමින් තමන්ගේ තරැණ වියේ අත්දැකීම් කියති. එය එක පාරක් ඇසූවිට නැවත ඇසීමට කිසිවෙකු කැමති නැත. ලෙඩ දුක් ගැන, ශල්‍යකර්ම ගැන විස්තර, තම ශාරීරික දුබලතාවයන්, දුගී දුප්පත්කම, අසමත්වීම්, හදිසි අනතුරැ, පවුලේ ඡායාරෑප ඇල්බම් එක, අලුත උපන් බබා, අලුතෙන් ලැබුණු රැකියාව, බඩේ අජීර්ණය, කාලගුණය, ඉකුත් අවුරැද්දේ ගිය වන්දනා ගමන, කෑම ගැන ඔබ දක්වන රැචි අරැචිකම්, සාප්පු ගිය හැටි, මත්පැන් බීමට ඔබට ඇති හැකියාව යනාදී කරැණු ඇසීමට අන් අය සතුටු නැත.

මම ගැන මට කීමට ඇති කරැණු ඇසීමට කිසිවෙකුට ඕනෑ නැති බව දැන දැනත් මම මා ගැන කියන්නේ ඇයි? එසේ කියන්නේ මා ගැන අනුන්ට කීමෙන් ඒ අය “මා වීරයෙක්” යයි සිතනවා ඇතැයි කියා සිතන නිසා යයි මම සිතමි. ඒ නිසා නිතරම ‘මම’ ගැන කීම නතර කරන්න.

පිරිමින් අසන්නට කැමති බොහෝ දේවල් ගැහැණුන්ට විසයි. ගැහැණුන් ප්‍රිය කරන නොයෙකුත් දේ ඇසීමට පිරිමින් අකමැතියි. උගත් අය ඇසීමට ආශා කරන දේවල් නූගතුන්ට ප්‍රිය නොවේ. කලා රසිකයන් සාකච්ඡා කිරීමට කැමති කිසිවක් අන් අයට ගෝචර නොවේ. එම නිසා මිතුරන් වැඩිකර ගැනීමට ඔබේ දැනුම වැඩි කරගත යුතුය.

අන් අයට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් නොදී කතා කිරීම නිසා කෙනෙකු ජනප්‍රිය වෙන්නේ නැත. අනුන්ගේ අදහස් අනුමත නොකළාට කමක් නැත. ඇතැම් අය ඕනෑම දෙයකට “ඒක හරි” යයි පිළිතුරැ දෙති. එසේ කීමෙන් ද ඔබේ ජනප්‍රිය භාවය පළුදු වෙයි. නිතරම හොඳ ප්‍රශ්නයක් මතු කරමින් අන් අයගේ කතාවට සවන් දීමට පුරැදු විය යුතුය. සවන් දීමට තරම් සංසුන්කමක් නැති පුද්ගලයාට කතා කිරීමට ද බැරිය.

මිතුරැන් ඇසුරේ දී ඒ අය පවසන හැම දෙයක්ම සත්‍යය හැටියට පිළිගැනීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හොඳ මිතුරන් දැන හැඳින ගැනීමය. බොහෝ දෙනා තම මිතුරන්ගේ දේශපාලන හා ආගමික අදහස් නිසා භේද ඇතිකර ගනිති. එහෙත් හොඳ මිතුරන් ඇතිකරගැනීමට කැමති පුද්ගලයාට ඕනෑම ආගමක් හෝ දේශපාලන න්‍යායක් ඇති අයෙකු සමඟ සුහදව කතා කළ හැකියි.

අපේ අදහස් අනුමත නොකරන අය වැඩියි. ඒ නිසා වැඩිදෙනා සමඟ අමනාපවීම ඉමහත් අඥානකමකි. මිනිසුන් වැඩි දෙනෙකු කතා කිරීමට සතුටු වන්නේ තමන් දරණ මතයක් හරිය කියා කියනවා නම්ය. ඔබේ අසල්වැසියා හා නෑදෑයන් බහු බූතයන්ට පහන් තබනවා නම් කලබල නොවන්න. එය මිතුරැකම අත්හැරීමට හේතුවක් කරගන්න එපා. බොරැ කීමට, මිත්‍යා මත දැරිමට, පුද පූජා බාර හාර පැවැත්වීමට ඕනෑම කෙනෙකුට නිදහස තිබේ. ඔබට ඇත්තේ ඉතා කරැණාවෙන් ඔවුන් ඇසුරු කරමින් ඔවුනට හෙමින් හෙමින් යථා තත්වය තේරැම් කර දීමය.

මගතොට දී හමුවන අයට සිනා මුහුණකින් සංග්‍රහ කරන්න. බස් කොන්දොස්තරලා සමඟ අනවශ්‍ය වාද භේද වලට යන්න එපා. බස්වල අඩුපාඩු වලට හා කොන්දොස්තොරලාගේ වැරදි හා අමනුෂ්‍යකම් වලට වගකිව යුත්තේ ඔවුන්ට රක්ෂාව දුන් අයයි.

දිනපතා අලුත් අයෙකුව හඳුනාගැනීමට හා කතාබස් කිරීමට බලාපොරොත්තු වන්න. දිනකට විනාඩි දහයක් පමණ කාලයක් (අඩුම වශයෙන්) යම්කිසි අලුත් පොත පතක් කියවීමට යොදවන්න.

ඔබේ ‘මමත්වය’ අනුන්ට ප්‍රදර්ශනය නොකිරීමට වගබලාගන්න. ඔබ අන් අය කෙරෙහි දක්වන සැලකිල්ල දෙගුණ තෙගුණ වී ඔබ වෙත ළඟාවෙන බව අමතක නොකරන්න.

දියුණුවන ධනවත්වන හා සතුටින් ජීවිතය ගෙනයන පුද්ගලයා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩපල පමණක් කරගෙන මුළුගැන්වී සිටින්නෙකු නොවේ. ‘තමන්ගේ පාඩුවේ සිටීම’ යනු අනුන්ගේ වැරදි නොසොයා සිටීමයි.

මේවා කියවා ප්‍රතිඵලයක් ලැබීමට නම් කියවන දහසක් කරැණු අතරින් පහසුවෙන් කළ හැකි එකක් හෝ දෙකක් හෝ ක්‍රියාවට නැගිය යුතුයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1979 නොවැම්බර් 15

මනස නිතරම වෙනස්වන සුළු ශක්තියකි

කෙනෙකුගේ මානසික තත්වය වෙනස් කරගන්නා තුරැ ඔහුගේ ජිවිතය හොඳ අතට හැරෙන්නේ නැත. ඔබ කොපමණ කලක් ස්වයං යෝජනා කළත් එම ස්වයං යෝජනා ඉටුවීමට නම් ඔබ විසින් යමක් ආරම්භ කල යුතුය. ඔබට කිසිම දෙයක් කරන්නට බැරි කෙනෙක් නම් යම් දෙයක් කරන්නට ඉගෙන ගන්න. කිසිම සුදුසුකමක් නැතිව උසස් රැකියාවක් ලැබෙන්නේ නැත.

සමහරැන්ට සුදුසුකම් නැතුව රක්ෂාවල් ලැබී ඇත්තේ මැති ඇමතිවරැන් දන්නා හඳුනන බැවිනි. ඉතින් එයත් සුදුසුකමක් නොවේද? ඔබ කී දෙනෙක් අඳුනනවා ද? ඔබ හමුවීමට එන මිතුරන්ගේ සංඛ්‍යාව කොපමණද? අන් අයට ඔබෙන් වැඩක් තිබේද? එක් වැඩක් කරදීමට බැරි වූ නිසා ඔබ කී දෙනෙක් සමඟ අමනාප වී සිටින්නෙහිද? දෙවියන්ට පඬුරැ බැඳ ඉල්ලා සිටින දෙයක් නොලැබුනොත් අමනාප වී නොවී නැවත නැවතත් නොයෙකුත් ඕනෑ එපාකම් ගැන දෙවියන් යැදීම මිනිසුන්ගේ සිරිතය. එහෙත් මිනිසෙකු ගෙන් යම් උදව්වක් ඉල්ලා එය නොලැබුණහොත් නැවත ඔහු ඉන්නා අසලකට හෝ නොයෑම අපේ සිරිතය. දෙවියන්ට බැරි වැඩ මිනිසුන් කරදෙන බව ඇත්ත නමුත් යම් කෙනෙකුට යමක් කරදීමට බැරිවුනොත් ඒ ගැන අමනාප වීම සුදුසු නැත. ඔබේ ඉල්ලීමක් ඉටුකර නොදීම නිසා ඔබ කී දෙනෙකු සමඟ අමනාප වී සිටින්නෙහි ද කියා සිතා බලන්න.

මිනිසුන් තවත් මිනිසුන්ට නිකම් උදව් කරන්නේ නැත. අඩුම ගණනේ අනුන්ට උදව් උපකාර කිරීමෙන් තමන්ට සතුටක් ලැබෙන නිසා සමහරැ අනුන්ට පිහිට වෙති. කෙළෙහි ගුණ නොසලකන අයට කිසිවෙකු දෙවෙනි වරට උපකාරයක් කරන්නේ නැත. හිත මිත්‍රකම ලබාගැනීමට කෙනෙකු තව කෙනෙකුට උපකාරී වෙයි. ස්තූති හා ප්‍රශංසාව ලබන අටියෙන් කෙනෙකු තව කෙනෙකුට උපකාර කරන්නට පෙළඹේ. අඩුම ගණනේ කරැණාබර වචනයක් හෝ ආදර බැල්මක් හෝ නොලැබේ නම් කෙනෙකු තව කෙනෙකුට උපකාර වීමට ඉදිරිපත් නොවේ. එම නිසා මෙම සත්‍යය යටපත් කරන්නටට වෑයම් නොකර සත්‍යයට මුහුණ දිය යුතුය.

කයිවාරැ

අන් අයගේ පිහිටාධාර නොලැබ අපට සතුටින් ජීවත්වීමට බැරිය. අප කවුරැත් අපේ ජීවිත සාර්ථක කරගැනීම සඳහා ලෝකයාගෙන් යැපෙන්නෝය. මෙම ස්වභාවයෙන් ගැලවීමට මගක් නැත. අන් කෙනෙකු ගෙන් බත් මිටක් හෝ නොලැබ උසස් තත්වයක් ලැබිය හැකි ගිහියෙකු හෝ පැවිදි අයෙකු නැති බව අවබෝධ කරගන්න.

ධනය තිබුන පලියට තනිවම අනුන්ගේ ආධාර උපකාර නොලැබ ජීවත්වීමට බැරිය. අනිත් අතට දුගියාට නිතරම හා සම්පූර්ණයෙන්ම අනුන්ගෙන් යැපෙන්නට සිදුවේ. රෝගාබාධ, වැඩ වැරදීම, මරණ ආදී නොයෙකුත් අවස්ථාවන්හි දී අපට අනුන්ගේ පිහිට, ආධාර, උපකාර හා උපදෙස් ඕනෑ කරයි.

සත්‍යය මෙසේ වුවත් “මට අනුන්ගෙන් වැඩක් නෑ” ආදී වශයෙන් කයිවාරැ කියමින් තනියම ජීවත්වීමට තටමන මිනිසුන් එදිනෙදා ජිවිතයේ දී අපිට හමුවේ. මෙය මානසික ආබාධයක ලක්ෂණයකි. අනුන්ට බියවීම, පිළිකුල් කිරීම හා තනිවීම, මුළුගැන්වී සිටීමට ප්‍රියවීම අස්වාභාවිකය. අස්වාභාවික ඕනෑම දෙයක් හෝ සිතුවිල්ලක් හටගන්නේ ආබාධයක් නිසායි.

අනුන් ඇසුරැ කිරීම, හිතවත්කම පෙන්වීම, කරැණාව දයාව දැක්වීම යනු ණයට මුදල් දීම, ඕපා දූප හුවමාරැ කරගැනීම හා ලිංගික සබඳකම් පැවැත්වීම යැයි ඇතැම් අය වරදවා තේරැම් ගෙන අමාරැවේ වැටී සිටිති. ස්වයං යෝජනාවක් නිසා ඔබට හමුවන පුද්ගලයාගේ බසට අවනත වී හා යටත් වී චරිතය කෙලෙසා ගැනීම මුලාවීමකි. ඔබ වෙනස්වීමට අකමැති අයෙකු නම් එයත් මානසික ආබාධයකි.

මනස නිතරම වෙනස්වන සුළු ශක්තියකි. එහෙත් මිනිසා තමන්ගේ ගතානුගතික සිතුවිලි පමණක් වෙනස්කර නොගෙන බදාගෙන සිටීම රෝගයක් නොවන්නේද? ගමක් වෙනස් නොවේ නම් එහි දියුණුවක් නැත. වෙනස් නොවන දෙයක් ලෝකයේ නැත. එහෙත් අධික වේගයකින් එකම තැනක කරකැවෙන රෝදයක කරකැවීම නොපෙනේ. මිනිසා එකම හණමිටි අදහසක එල්බගෙන සිටින්නේ ද ඔහු වහා වෙනස්වන කරකැවෙන රෝදයක් මෙනි. දියුණුවක් අවශ්‍ය නම් එකම තැන කරකැවෙන්න එපා. සිතුවිලි හා ගතිගුණ වෙනස් කිරීමට ඔබට කිසිදු මුදලක් වැය වන්නේ නැත.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1979 නොවැම්බර් 15

වාද කරන සැමියාට …

ඔබේ සැමියා නිතරම වාද කරන අයෙක් නම් ඔහු කැපී පෙනීමට, ලොක්කා වීමට, අවධානය තමන් වෙත අද්දවා ගැනීමට මාන බලන කෙනෙක් බව තේරුම් ගන්න.

ඔහු වාදයෙන් පරදින්නට සතුටු නැත. පරාජය ඔහුගේ බොරු සෝබනයට, පුහු අහංකාරකමට, මානයට තැබූ ගින්නක් හා සමානය.

එවැනි ස්වාමිපුරුෂයෙක් සමාජ ආශ්‍රයෙන් තොරව හැදුනු වැඩුනු අයෙකි. ඔහු ක්‍රීඩකයෙකු නොවේ. නොයෙකුත් ක්‍රීඩා වලට කැමති පුද්ගලයා දිනුම් පරාද දෙකටම සමසේ මුහුණ දීමට ඉගෙන ගනියි.

වාදයේ දී කටින් ගසා ජය ගැනීමට වෑයම් කරන්නා වාද කිරීම ගැන නොදන්නෙකි. සමහරු තර්කයට පිළිතුරු දීමට බැරි වූ තැන ඒ වෙනුවට “කුණු බිත්තර” දමා ගසති. කුණු බිත්තර දමා ගැසීම තර්කයට පිළිතුර නොවේ.

නිතරම වාදකරන පුද්ගලයා අඥානයෙකි. ඔහු හෝ ඇය තමන් නොදන්නා බව නොදන්නෙකි.

එවැනි අයට අනුකම්පා නොකරමු. මෛත්‍රී කරමු.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

තෑගි දීම

අපේ දරුවන් යොමු කරන්න ඕන ආශාවකින් පාඩම් කරන්න.

පාඩම් කළොත් අහවල් තෑග්ග අරන් දෙනවා. අහවල් කමිසය අරන් දෙනවා. අහවල් බයිසිකලය අරන් දෙනවා යයි කීම වැරදියි. එවිට අර තෑග්ගට ඇති ආශාව නිසා පාඩම් කරනවා මිස ඉගෙනීමට ආශාවක් ඇති වෙන්නේ නෑ.

හුඟක් දෙනෙක් දෙමව්පියන්ගේ බලකිරිමෙන් කරදරයෙන් බේරෙන්නයි පාඩම් කරන්නේ.

ඥානවන්තකම, බුද්ධිමත්කම ලබා ගැනීමේ වටිනාකම දන්නවා නම් අපේ දරුවන් බොහෝ දෙනෙක් ඉතා ඕනෑකමින් ආසාවෙන් ඉගෙන ගන්නවා.

නූගත් අයට සීමා වී තිබෙන්නේ බර වැඩ, එහෙම නැත්නම් මොළය පාවිච්චි නොකර කරන වැඩ කරන්නයි. අනුන් වෙනුවෙන් වැඩ කරන්නයි.  අනුන් ගෙන් ඇනුම් බැනුම් අහන්නයි. දුප්පත් ජිවිත ගෙවන්නයි.

ඉගෙන ගත්තේ නැත්නම් බුද්ධිමත් ඥානවන්ත සරුසාර ජීවිත ගත කරන අයගේ තත්වයට ළමුන් හට පත්වෙන්නට බැරි බව තේරුම් කර දෙන්නට ඕනෑ.

සුමනදාස සමරසිංහ