අනුන්ට රිදවා තමන් සතුටුවීම මානසික ලෙඩකි

තමන්ට වඩා දුබලයින්, ස්ත්‍රීන්, බාල වයසේ සිටින අය හා තමන් යටතේ සිටින මෙහෙකරුවන් වැනි අයට තර්ජනය කරමින් බිය ගැන්වීම මානසික ආබාධයක ලක්ෂණයකි.

කුඩා ළමුන් බිය වද්දා තමන් සතුටුවෙන වැඩිහිටි අය සිටිති. බිය ගන්වා කුඩා දරුවෙකු අඬවා ඉන්පසු “අඬන්න එපා,” කියමින් සිඹීමට හා සුරතල් කිරීමට සමහරු දැඩි ආශාවක් දක්වති. මෙම මානසික තත්වය වහා වෙනස්කර ගත යුතුයි. නැත්නම් තමන්ගේ ජීවිතය එකම කරදරකාරී “ලෙඩක්” වන්නේය.

කොනිත්තන හා වේදනා දෙන ක්‍රියා වලින් ඔවුන් කරන්නේ තමා කැපී පෙනීමට, ඉස්මතු වීමට හා අවධානය තමා වෙත යොමු කරවා ගැනීමට දරන වෑයමක ප්‍රතිඵලයක් වශයෙනි.

කුඩා දරුවන්ට එසේ හිරිහැර කොට සතුටක් ලබන පුද්ගලයා කලක් ගත වූ පසු එම පුරුද්දට වහලෙකු වේ. ඔහු හෝ ඇය විවාහ වූ පසු බිරිඳට හෝ සැමියාට හෝ තර්ජනය කොට සිත රිදවා බොරු කියා එසේ නැත්නම් අඬ දබර වලින් බොරු රණ්ඩු කර සතුටක් ලබයි. ඒ සතුට වැඩි කලක් යන්නට පෙර අනිත් අයට මහා කරදරයක් බවට හැරේ.

අනුන් රිදවා තමන් සතුටු වෙන අය ඇතැම් විටෙක සිත රිදවා සතුටු වෙති. සිත් රිදවීම සඳහා අව කැපෙන වචන, දෙපැත්තට තබා ගැරහීම, කේලාම් කීම, සියුම් උපහාස, බොරු රණ්ඩු ගැනීම, පරණ කෝන්තර ඇද ගැනීම ආදි වශයෙන් මේ අයට පුදුම නුවණ පහළ වේ.

මිනිසුන් එල්ලා මරණ අන්දම නැරඹීමට රුපියල් සියයක් අය කරන බව කිවහොත් නියමිත දිනට පෙර අවසර පත විකිණී යනු ඇත. විවිධ මත දරන, විවිධ ආශාවන් ඇති, විවිධ බහුභූත විශ්වාස කරන අයගෙන් සමාජය සෑදුම් ලද්දේය. එසේම ඕනෑම පොළව පැලෙන බොරුවක් සත්‍යය යැයි විශ්වාස කරන අය හා එසේ විශ්වාස කිරීමට සූදානම් අය ඕනෑ තරම් සොයාගත හැකිය.

මෙම මානසික ආබාධය සුවකර ගත හැක්කේ තමන්ටමය. මුලින්ම තමා අනුන් රිදවා සතුටක් ලබන අයෙකු බව වටහා ගත යුතුයි. ඉතා සතුටෙන් සිටින දරුවෙකුගේ නැහැය මිරිකා අඬවා සතුටක් ලබන්නෙක් දැයි දන්නේ තමන්ය.

මෙවැනි අය හඳුනාගත් පසු ඔවුන් සමඟ වැඩි දැන හැඳුනුම්කම් පැවැත්වීම කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙනි. එයට හේතුව ඔවුන් දැඩි මිතුරුකම් පෙන්වමින් මුලින් ඇසුරුකම් පටන්ගන්නා නිසාය. බොහෝවිට තමා ගැන සියළුම විස්තර කියයි. ඊට පසු ඔබේ වතගොත අසා ගනියි. රිදවන්නට සිතුණු පසු ඔබ කී රහස් නැවත ප්‍රචාරය කරමින් ඔබේ සිත රිදවයි.

ඔවුන් තමන්ගේ වරදින්ම නොයෙකුත් ලාබ හානි කැඳවාගෙන ඉන්පසු අනුන් පිට වරද පැටවීමට අති දක්ෂහ.

-සුමනදාස සමරසිංහ

Advertisements

එපාවීම සහ ඕනෑවීම

දකින දකින සැරේට “පාඩම් කරපන්,” “පොත ගනින් අතට,” “ඔහොම ඉඳලා හරියන්නේ නැහැ,” කියන නිසා ළමයින්ට පොත්පත් කියවීම, පාඩම් කිරීම එපා වෙනව. සංසුන්ව පොත පතට සිත් යොමු කරවීමයි කළ යුත්තෙ.

දුර්වලකම් යනු දුර්වලකම් හැටියට හඳුනාගෙන ඒවා ජයගන්න උත්සාහ කිරිම කළ යුතුයි. එහෙම නැතුව බැනුම් අවලාද කරන වැඩිහිටියන් දැකල බාල අයත් ඒ වැරදි මගට පිවිසෙනව. ඊට පස්සෙ “මූ මෝඩයා,” “මුගෙ පෙර කරුමෙට ඉගෙන ගන්න බෑ,” කියන එක තරම් අඥාන කියමනක් තවත් ඇත්තෙ නෑ.

ළමයි ඉගෙන ගන්නෙ වැඩිහිටියන් ගෙන්. වැඩිහිටියන් උගන්වන කරුණු කරුණාවන්ත විදියට ආදරයෙන් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් විදියට කියලා දෙනවා නම් දරුවන්ගේ ඉගෙනීම ඉක්මන් වෙනවා.

ඒත් වැඩිහිටියන් කරන්නේ අඥාන විදියට මේ ළමයට ඉගෙන ගන්න බෑ රාහුගේ දශාව නිසා යැයි දකින දකින අයට කීමයි. ළමයාගේ හිතට ඇතුල් කරනවා පිටස්තර හේතුවක් නිසා එයාට ඉගෙන ගන්න බෑ කියල අදහසක්. නිතර නිතර ‘ගොනා’ කියල කිව්වම ඒ විදියට හැඩ ගැසෙනවා.

නමුත් කෙනෙකුට නිතර නිතර මෙයාට මොළේ තියනවා කියල කියනවා ඇහුනම ඒ දරුවගෙ හිත යොමු වෙනවා මොළය පාවිච්චියට, ඉගෙනීමට.

-සුමනදාස සමරසිංහ, 1979 අගෝස්තු 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

ඔබේ අදහස් ඉටුකරගන්න මේ උපදෙස පිළිපදින්න

ඔබ කවදා හරි ඔබේ එදිනෙදා වැඩ කටයුතු නතර කොට මීට වඩා දියුණුවීමට ඕනෑ යයි සිතුවේද?

මහා ධනවතෙකුගේ මාලිගයක් වැනි නිවසකට ගිය ඔබ “මොහු පෙර පිංකල කෙනෙක් මම පෙර පිං නොකළ කෙනෙක්,” යයි සිතුවාද? ලොකු ගෙයක්, වාහනයක්, දැසි දැස්සන් ඕනෑ යයි සිතුනාද? සාප්පුවක ඇති සාරියක් දැක මේවායින් දෙක තුන බැගින් මිල දී ගන්නට ඇත්නම් යයි සිතී ඇත්ද? පිටරට යන එන අය දැක මටත් විදේශ සංචාරයක යන්නට ඇත්නම් යැයි සිතුවාද?

ඔබට නොයෙක් විදියෙන් පහළ වූ අදහස් ඉටුකර ගැනීම සඳහා ඔබ කළේ මොනවාද?

ඔබට නැති දේවල් අන් අය භුක්ති විඳිනවා දකින කොට ඔබේ ඉරිසියාව ඉහවහා ගියේද? එසේ නැත්නම් ඒ අය එම දේවල් ලබාගැනීම සඳහා මෙලෝ වශයෙන් කුමන ක්‍රියා මාර්ගයක් අනුගමනය කළාද කියා සොයා බැලුවේද?

ධනවත් වී අදහස් ඉටුකරගෙන සැපසේ ජීවත්වෙන සෑම කෙනෙක්ම සාමාන්‍ය මිනිසෙකි. මෙය කියවන ඔබත් කොයිතරම් කෙරුම්කාරයෙක් වුවත් සාමාන්‍ය මිනිසෙකි. ඔබට ඇත්තේ සාමාන්‍ය ඥානයකි. ඒ සාමාන්‍ය ඥානය දියුණු කරගැනීමෙන් ඔබට ධනවතෙකු විය හැකියි.

ලක්ෂයක මුදලක් අතට ලැබුනත් එය ඉතා ඉක්මණින් වියදම් කර හමාර කළ හැකියි. එහෙත් එයින් මිල දී ගන්නා දේ වලින් ඔබට ධනයක් හම්බ කළ හැකිද?

ලක්ෂයක් ලැබුනොත් එය දෙලක්ෂයක් කර ගැනීමට තරම් ඥානයක් ඔබට තිබේද?

ධනය වැඩි කරගන්නා අන්දම ගැන සිතන්නට කාලය වැය කිරීම නිසා ඔබේ මනස ප්‍රබෝධමත් වෙයි. මෙතෙක් ‘නිදි කිරමින්’ සිටි සිත දැන් අවදි වේ. ඉතින් ලක්ෂයක් ලැබෙන තුරු ඉන්න එපා. දැන් සිත මෙහෙයවන්න.

වියදම් කරන හැටි හා විනෝදවන හැටි ගැන සිතන්නේ ධනවත් නොවන අයයි. ධනවතා වියදම් කරන්නේ තවත් ධනය රැස් කිරීම සඳහාය. ධනවතාට සැප කාර් හා වෙනත් පහසුකම් අවශ්‍ය වන්නේ සැප විඳීමට නොවේ. ධන සම්පත් වැඩිකර ගැනීමටයි.