මනස නිතරම වෙනස්වන සුළු ශක්තියකි

කෙනෙකුගේ මානසික තත්වය වෙනස් කරගන්නා තුරැ ඔහුගේ ජිවිතය හොඳ අතට හැරෙන්නේ නැත. ඔබ කොපමණ කලක් ස්වයං යෝජනා කළත් එම ස්වයං යෝජනා ඉටුවීමට නම් ඔබ විසින් යමක් ආරම්භ කල යුතුය. ඔබට කිසිම දෙයක් කරන්නට බැරි කෙනෙක් නම් යම් දෙයක් කරන්නට ඉගෙන ගන්න. කිසිම සුදුසුකමක් නැතිව උසස් රැකියාවක් ලැබෙන්නේ නැත.

සමහරැන්ට සුදුසුකම් නැතුව රක්ෂාවල් ලැබී ඇත්තේ මැති ඇමතිවරැන් දන්නා හඳුනන බැවිනි. ඉතින් එයත් සුදුසුකමක් නොවේද? ඔබ කී දෙනෙක් අඳුනනවා ද? ඔබ හමුවීමට එන මිතුරන්ගේ සංඛ්‍යාව කොපමණද? අන් අයට ඔබෙන් වැඩක් තිබේද? එක් වැඩක් කරදීමට බැරි වූ නිසා ඔබ කී දෙනෙක් සමඟ අමනාප වී සිටින්නෙහිද? දෙවියන්ට පඬුරැ බැඳ ඉල්ලා සිටින දෙයක් නොලැබුනොත් අමනාප වී නොවී නැවත නැවතත් නොයෙකුත් ඕනෑ එපාකම් ගැන දෙවියන් යැදීම මිනිසුන්ගේ සිරිතය. එහෙත් මිනිසෙකු ගෙන් යම් උදව්වක් ඉල්ලා එය නොලැබුණහොත් නැවත ඔහු ඉන්නා අසලකට හෝ නොයෑම අපේ සිරිතය. දෙවියන්ට බැරි වැඩ මිනිසුන් කරදෙන බව ඇත්ත නමුත් යම් කෙනෙකුට යමක් කරදීමට බැරිවුනොත් ඒ ගැන අමනාප වීම සුදුසු නැත. ඔබේ ඉල්ලීමක් ඉටුකර නොදීම නිසා ඔබ කී දෙනෙකු සමඟ අමනාප වී සිටින්නෙහි ද කියා සිතා බලන්න.

මිනිසුන් තවත් මිනිසුන්ට නිකම් උදව් කරන්නේ නැත. අඩුම ගණනේ අනුන්ට උදව් උපකාර කිරීමෙන් තමන්ට සතුටක් ලැබෙන නිසා සමහරැ අනුන්ට පිහිට වෙති. කෙළෙහි ගුණ නොසලකන අයට කිසිවෙකු දෙවෙනි වරට උපකාරයක් කරන්නේ නැත. හිත මිත්‍රකම ලබාගැනීමට කෙනෙකු තව කෙනෙකුට උපකාරී වෙයි. ස්තූති හා ප්‍රශංසාව ලබන අටියෙන් කෙනෙකු තව කෙනෙකුට උපකාර කරන්නට පෙළඹේ. අඩුම ගණනේ කරැණාබර වචනයක් හෝ ආදර බැල්මක් හෝ නොලැබේ නම් කෙනෙකු තව කෙනෙකුට උපකාර වීමට ඉදිරිපත් නොවේ. එම නිසා මෙම සත්‍යය යටපත් කරන්නටට වෑයම් නොකර සත්‍යයට මුහුණ දිය යුතුය.

කයිවාරැ

අන් අයගේ පිහිටාධාර නොලැබ අපට සතුටින් ජීවත්වීමට බැරිය. අප කවුරැත් අපේ ජීවිත සාර්ථක කරගැනීම සඳහා ලෝකයාගෙන් යැපෙන්නෝය. මෙම ස්වභාවයෙන් ගැලවීමට මගක් නැත. අන් කෙනෙකු ගෙන් බත් මිටක් හෝ නොලැබ උසස් තත්වයක් ලැබිය හැකි ගිහියෙකු හෝ පැවිදි අයෙකු නැති බව අවබෝධ කරගන්න.

ධනය තිබුන පලියට තනිවම අනුන්ගේ ආධාර උපකාර නොලැබ ජීවත්වීමට බැරිය. අනිත් අතට දුගියාට නිතරම හා සම්පූර්ණයෙන්ම අනුන්ගෙන් යැපෙන්නට සිදුවේ. රෝගාබාධ, වැඩ වැරදීම, මරණ ආදී නොයෙකුත් අවස්ථාවන්හි දී අපට අනුන්ගේ පිහිට, ආධාර, උපකාර හා උපදෙස් ඕනෑ කරයි.

සත්‍යය මෙසේ වුවත් “මට අනුන්ගෙන් වැඩක් නෑ” ආදී වශයෙන් කයිවාරැ කියමින් තනියම ජීවත්වීමට තටමන මිනිසුන් එදිනෙදා ජිවිතයේ දී අපිට හමුවේ. මෙය මානසික ආබාධයක ලක්ෂණයකි. අනුන්ට බියවීම, පිළිකුල් කිරීම හා තනිවීම, මුළුගැන්වී සිටීමට ප්‍රියවීම අස්වාභාවිකය. අස්වාභාවික ඕනෑම දෙයක් හෝ සිතුවිල්ලක් හටගන්නේ ආබාධයක් නිසායි.

අනුන් ඇසුරැ කිරීම, හිතවත්කම පෙන්වීම, කරැණාව දයාව දැක්වීම යනු ණයට මුදල් දීම, ඕපා දූප හුවමාරැ කරගැනීම හා ලිංගික සබඳකම් පැවැත්වීම යැයි ඇතැම් අය වරදවා තේරැම් ගෙන අමාරැවේ වැටී සිටිති. ස්වයං යෝජනාවක් නිසා ඔබට හමුවන පුද්ගලයාගේ බසට අවනත වී හා යටත් වී චරිතය කෙලෙසා ගැනීම මුලාවීමකි. ඔබ වෙනස්වීමට අකමැති අයෙකු නම් එයත් මානසික ආබාධයකි.

මනස නිතරම වෙනස්වන සුළු ශක්තියකි. එහෙත් මිනිසා තමන්ගේ ගතානුගතික සිතුවිලි පමණක් වෙනස්කර නොගෙන බදාගෙන සිටීම රෝගයක් නොවන්නේද? ගමක් වෙනස් නොවේ නම් එහි දියුණුවක් නැත. වෙනස් නොවන දෙයක් ලෝකයේ නැත. එහෙත් අධික වේගයකින් එකම තැනක කරකැවෙන රෝදයක කරකැවීම නොපෙනේ. මිනිසා එකම හණමිටි අදහසක එල්බගෙන සිටින්නේ ද ඔහු වහා වෙනස්වන කරකැවෙන රෝදයක් මෙනි. දියුණුවක් අවශ්‍ය නම් එකම තැන කරකැවෙන්න එපා. සිතුවිලි හා ගතිගුණ වෙනස් කිරීමට ඔබට කිසිදු මුදලක් වැය වන්නේ නැත.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1979 නොවැම්බර් 15

Advertisements

වාද කරන සැමියාට …

ඔබේ සැමියා නිතරම වාද කරන අයෙක් නම් ඔහු කැපී පෙනීමට, ලොක්කා වීමට, අවධානය තමන් වෙත අද්දවා ගැනීමට මාන බලන කෙනෙක් බව තේරුම් ගන්න.

ඔහු වාදයෙන් පරදින්නට සතුටු නැත. පරාජය ඔහුගේ බොරු සෝබනයට, පුහු අහංකාරකමට, මානයට තැබූ ගින්නක් හා සමානය.

එවැනි ස්වාමිපුරුෂයෙක් සමාජ ආශ්‍රයෙන් තොරව හැදුනු වැඩුනු අයෙකි. ඔහු ක්‍රීඩකයෙකු නොවේ. නොයෙකුත් ක්‍රීඩා වලට කැමති පුද්ගලයා දිනුම් පරාද දෙකටම සමසේ මුහුණ දීමට ඉගෙන ගනියි.

වාදයේ දී කටින් ගසා ජය ගැනීමට වෑයම් කරන්නා වාද කිරීම ගැන නොදන්නෙකි. සමහරු තර්කයට පිළිතුරු දීමට බැරි වූ තැන ඒ වෙනුවට “කුණු බිත්තර” දමා ගසති. කුණු බිත්තර දමා ගැසීම තර්කයට පිළිතුර නොවේ.

නිතරම වාදකරන පුද්ගලයා අඥානයෙකි. ඔහු හෝ ඇය තමන් නොදන්නා බව නොදන්නෙකි.

එවැනි අයට අනුකම්පා නොකරමු. මෛත්‍රී කරමු.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

තෑගි දීම

අපේ දරුවන් යොමු කරන්න ඕන ආශාවකින් පාඩම් කරන්න.

පාඩම් කළොත් අහවල් තෑග්ග අරන් දෙනවා. අහවල් කමිසය අරන් දෙනවා. අහවල් බයිසිකලය අරන් දෙනවා යයි කීම වැරදියි. එවිට අර තෑග්ගට ඇති ආශාව නිසා පාඩම් කරනවා මිස ඉගෙනීමට ආශාවක් ඇති වෙන්නේ නෑ.

හුඟක් දෙනෙක් දෙමව්පියන්ගේ බලකිරිමෙන් කරදරයෙන් බේරෙන්නයි පාඩම් කරන්නේ.

ඥානවන්තකම, බුද්ධිමත්කම ලබා ගැනීමේ වටිනාකම දන්නවා නම් අපේ දරුවන් බොහෝ දෙනෙක් ඉතා ඕනෑකමින් ආසාවෙන් ඉගෙන ගන්නවා.

නූගත් අයට සීමා වී තිබෙන්නේ බර වැඩ, එහෙම නැත්නම් මොළය පාවිච්චි නොකර කරන වැඩ කරන්නයි. අනුන් වෙනුවෙන් වැඩ කරන්නයි.  අනුන් ගෙන් ඇනුම් බැනුම් අහන්නයි. දුප්පත් ජිවිත ගෙවන්නයි.

ඉගෙන ගත්තේ නැත්නම් බුද්ධිමත් ඥානවන්ත සරුසාර ජීවිත ගත කරන අයගේ තත්වයට ළමුන් හට පත්වෙන්නට බැරි බව තේරුම් කර දෙන්නට ඕනෑ.

සුමනදාස සමරසිංහ

ඔබටත් පුළුවනි ලොක්කෙකු වන්නට

සුමනදාස සමරසිංහ ශූරීන් පාසැල් ළමුන් සඳහා කළ දේශනයක් ඇසුරිනි.

ඔබ පාසැල් යන්නේ ඉගෙන ගන්නයි. ඉගෙන ගන්න යන ළමයා තමන්ට අයිති ඒ කටයුත්ත හරියට ඉටු නොකළොත් පාඩු වෙන්නේ තමන්ටමයි. අනිත් අතට ඔබ පාසැල් ගිහින් ඔබට අයිති ඉගෙන ගැනීමේ කටයුත්ත හරියට කළොත් ඔබට වාසියි. හැමෝම සලකනව. කාටත් නම්බුයි.

ඥානවන්ත ළමයා කවුරැ මොනවා කීවත් තමන් දියුණු වෙන්නමයි කල්පනා කරන්නේ. පුංචි සත්තු උපන් හැටියෙට ඉඳලම ඉගෙන ගන්නව. හැම දෙයක්ම හඳුනගන්න ඉව කරල බලනව. පුංචි ළමයිනුත් එහෙමයි. උපන්දා සිට ඉගෙන ගන්න ආසයි.

අපි නටන ක්‍රීඩා කරන වේලාවල් වලට හොඳට නටන්න ක්‍රීඩා කරන්න ඕන. අපි කෑම කන වේලාවට හොඳට විකලා කෑම කන්න ඕන. නාන වේලාවට කම්මැලි නැතිව නාන්න ඕන. මොනව හරි කරන වැඩේ කරන වේලාවට හොඳට ඕනකමින් කළොත් ඒකෙන් වැඩක් සිද්ධ වෙනව.

පුංචි කාලේ හිතට ගත්තොත් අපට පුළුවනි ලොකු ලොක්කෝ වෙන්න. එදා පුංචි අය තමයි අද ලොකු ලොක්කො වෙලා ඉන්නෙ. දොස්තර කෙනෙක් වෙන්න හිතට ගත්තොත් පමණයි දොස්තර කෙනෙක් වෙන්නෙ. මාළු අල්ලන්න හිතට අරගෙන දොස්තර කෙනෙක් වෙච්ච කවුරැත් නැහැ.

රණ්ඩු අල්ලමින්, හිතුවක්කාරකමෙන්, පොත පත පාඩම් කරන්න කම්මැලි කමින් ඉඳල ලොකු ලොක්කෙක් වෙච්ච කවුරැත් නැහැ. අනිත් අය සෙල්ලමට හිත යොදවන කොට තමන් පාඩමට හිත යොදවන ළමයා තමයි විභාගයෙන් සමත් වෙන්නෙ. ඒක දකින සෙල්ලම් කරපු ළමයි කියන්නේ අර ළමයා හරි වාසනාවන්තයි කියල. එතකොට එහෙනම් වාසනාවන්තයා කියන්නේ අනිත් අයට වඩා කම්මැලි නැති කෙනෙක්.

ඕනෑම දෙයක් අනිත් අයට වඩා ඩිංගක් හෝ හොඳින් කරන්න උත්සාහ කරන ළමයා අනිත් අයට වඩා දක්ෂයෙක් වෙනවා. නොදන්නා දේවල් අහලා ඉගෙන ගන්න ළමයාටත් අනිත් අයව පරාද කරන්න පුළුවන්. කීකරැකමින් කියන දේ අහන ළමයින්ට කවුරැත් ආදරෙයි.

ධෛර්ය කියන්නේ බලවත් ඕනෑකමටයි. වීර්ය කියන්නෙත් ජයගන්නට ඇති දැඩි ආශාවෙන් වෙහෙසීමටයි. බලවත් ඕනෑකමක් තියෙන, ජයගන්නට දැඩි ආශාවෙන් වෙහෙසන අයට හුඟක් දුෂ්කර දේවල් කරන්න පුළුවනි. ධෛර්ය සහ වීර්ය කඩෙන් මිල දී ගන්න බැහැ. තමන් ළඟමයි තියෙන්නෙ. ධෛර්ය හා වීර්ය නැති මිනිහෙක් නෑ. මිනිස්සු තමන් ළඟ මේ තරම් බලගතු ශක්තියක් ඇති බව දන්නෙ නැහැ. අහම්බෙන් කෙනෙක් ඒවා තමන් ළඟ ඇති බව සොයා ගන්නවා. එහෙම සොයා ගත්ත අය ලෝක පූජිත වෙනවා.

ඔබට ඕනෑ කරන විදියේ ලොකු ලොක්කෙක් වීමට අවශ්‍ය ධෛර්ය හා වීර්ය මේ දැන් ඔබ ළඟ තියෙනව. ඒ වුනාට හැමෝම ඔබට කියා දෙන්නේ ඔබේ සිත තුල ඇති වෙනත් අනවශ්‍ය ආශාවන් අවුලුවා ගන්න හැටියි.

සැබෑ වීරයන් තමන් ළඟ උසස් ගතිගුණ වර්ධනය කරගන්නා අයයි. තමන්ගේ ඥානය දියුණු කරගන්නා අයයි. අනුන්ට හිංසා කරන, චණ්ඩිකම් කරන අය නියම වීරයෝ නොවේ. මිනිසුන් මරා දමන වීරයෙකුට වඩා හොඳයි මැරෙන්න යන මිනිසුන් ගොඩ ගන්න වීරයා.

හොඳ දක්ෂ දොස්තර කෙනෙකු වී ඔබට පුළුවන් මිනිසුන් මරණයෙන් ගලවා ගෙන වේදනා අඩු කර යහපත සලසන වීරයෙකු වෙන්න.

හොඳ දක්ෂ ගුරැවරයෙකු වී ඔබට පුළුවන් නරක මිනිසුන් හොඳ මිනිසුන් බවට හරවන ගුණ නැණ නුවණ දෙන වීරයෙකු වෙන්න.

ඔබ කුමන අංශයකින් දක්ෂයෙකු වුවත් ඒ අංශය මිනිසාට යහපතක් කළ හැකි අංශයක් නම් ඔබ වීරයෙකි. ඔබේ සිත තුල වීරයෙකු වීමට ඕනෑ කරන සියල්ලම අඩුවක් නැතිව තිබේ. එය පොළව යට ඇති මැණික් හාරා අවුස්සා උඩට ගන්න විදියට හාරා අවුස්සා මතුකර ගන්නට ඕනෑ.

මොන කරදරයක් ආවත්, බාධාවක් ආවත්, හිතේ ධෛර්ය අඩුකරගන්න එපා. ඔබේ සිත අධෛර්ය කරන අය ඔබට හිතවත් අය නොවේ. ඒ හතුරන්. පසු බැස්මෙන් තරණය කළ කන්දක් නැහැ. කම්මැලිකමින් උපයාගත් ධනයක් නැත. ඉගෙන නොගෙන සමත් කළ විභාගයක් ද නැත.

අපි ඉන්නේ ඉගෙනීම අතින් හා දැනුම ලැබීම අතින් ඉතා ඉක්මණින් වෙනස් වෙන ලෝකයකයි. අපට ඉගෙන ගන්න සිදුවන විෂයයන් හැමදාම වැඩිවෙනවා. ඒ නිසා අපිට හැමදාම ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගැනීම නතර කළ හැටියේ නුවණ වැඩීම නතර වෙනවා. නුවණ වැඩීම නතර වුන හැටියේ ඒ අය මෝඩයෙකු වීම පටන් ගන්නවා.

1979 ඔක්තෝබර් 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

මෝහනයෙන් රට අවදිකරවමු

මෝහනයෙන් මුලා වී සිටින ජනයා එයින් මුදාගැනීම “සියළු දානයන් පරදවා ධර්ම දානය ජයගනී,” යන බුදු වදනට එකඟ වූ ක්‍රියාවකි. පටන් ගත් යමක් අතරමග දී අත්හැර දමන, සෝඩා බෝතල් ප්‍රතිපත්ති රකින කුසීත ජාතියක් හැටියට සිංහලයා ලබා සිටින අවනම්බු නාමය පළමු කොට මිථ්‍යාවක් බව ඔප්පු කරමු. ඒ සඳහා ප්‍රතිඵල ලබමින් ඉදිරියට යනවා මිස බාධක ඉදිරියේ පසු බා යෑමට දිරිමත් වෙමු.

අධර්මයට (මුලාවට නොහොත් මෝහනයට) විරුද්ධව සටන් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන ඉවසීම, කරුණාව හා මෛත්‍රිය නැමති අවි ආයුධ වලින් පළමුවෙන්ම සන්නද්ධ වෙමු.

ආගම් හා ධර්මයන් යන මුවාවෙන් තනතුරු, කුලමල, නිලතල හා නායකකම රැකීම යනු ධර්මය රැකීම නොව මානය රැකීම බව වටහා ගනිමු. තමන්ගේම බුද්ධියට තමන්ම නිගාකර නොගනිමු.

සියැසින් නොදුටු හාස්කම් හා රැස් විහිදීම් ගැන විස්තර ඇසින් දුටුවාක් මෙන් එක හතර කොට කියමින් මෝඩයින් මුලා නොකරමු. ඍර්ධියෙන් යෑමට හැකි යැයි කියන “ධාතු” ඕනෑම හොරෙකුට හොරකම් කරගෙන යෑමට පුළුවන. එම නිසා හොරැන්ට හා හොරකමට “සපෝට්” කරන “ධාතු” යනු මිනිසුන් මුලා කරන ජාතියක් බව අඥාන අයට පහදා දෙමු.

චේතනාව කර්මය බව නොදැන “පෙර කර්මය” ගැන විශ්වාස කරමින් දැන් දුක් විඳින ජනතාවට චේතනාව වෙනස් කිරීමෙන් කර්මය වෙනස්වන බව පහදා දීමට ඉදිරිපත් වන්න. එයින් ඔවුන් මෙතෙක් මුලා වී සිටි අන්ධ විශ්වාසයෙන් මුදාගත හැකි වන්නේය.

ධර්මය යනු අවබෝධ කරගත යුතුම වූ සත්‍යයකි. අන්ධ භක්තිය නිසා, පුද පූජා පැවැත්වීම නිසා ප්‍රාතිහාර්ය නිසා ගීත ස්වරය මිහිරි නිසා හෝ අවබෝධ වන ධර්මයක් නැති බව නොදන්නා මෝඩ අයට වටහා දෙමු.

දැන් අවබෝධ කරගත යුතු ධර්මයක් මී ළඟ ජාතියට කල් දැමීම මෝඩ ක්‍රියාවක් බව නොහොත් “අප්පමා දේන සම්පේද්තබ්බං” යන්න කුමක් දැයි කියා පහදා දෙමු.

මී ළඟ ජාතියේ කරන්නට හිතා සිටින කිසිවක් කිරීමට තමන්ට දැනුමක් නොලැබෙන බවත් ඊ ළඟට උපදින්නේ තමන් නොවන බවත් වටහා ගැනීම නොහොත් නච සෝ නච අඤ්ඤෝ කුමක් දැයි කියා පහදා දෙමු.

භූත ලෝකයෙන් අරිෂ්ඨ, තෙල් බෙහෙත් හා කල්ක ගෙනැවිත් දෙන භූතයින් ලංකාවේ සිටිනවා නම් ඒ භූතයින් ගෙන් වැඩ ගන්නා අයට නොබෙල් ත්‍යාගයන් ලබා දීමට කටයුතු කරමු. ඊට පෙර භූත විද්‍යාධරයින් ශාරීරික වශයෙන් පරීක්ෂා කර බැලීමට හා භූත කාමර සෝදිසි කර බැලීමට අවසර ඉල්ලමු.

දෙවිවරුන්ගේ තැරැව්කාර කපුමහත්වරුන්ගේ දූ දරුවන් අංග විකලව හා ලෙඩ දුක් වලින් පීඩිත ව සිටිය දී වෙනත් අසරණ නරපණුවන්ට සෙත් ශාන්ති ලබා දෙන දෙවිවරුන් සමඟ බොරු වංචා නොකරන මෙන් ඉල්ලීමක් කරමු. ඒ සැමට බුදුගුණාලංකාරය කියවීමට දෙමු.

නොයෙකුත් ක්‍රම වලින් අනාගතය ගැන පේන කියන අයට මැණික් හොරකම් හා මිනීමැරැම් වලට ආධාර අනුබල දෙන අපරාධකරුවන් අල්ලා දෙන මෙන් කියමු. මෝහනයට පත්කර පෙර ජාතිය කිව හැකි අයට මේ ජාතිය කීමට අභියෝග කරමු. හැම බොරු “ජාතියක්ම” දමමින් සිංහලයා මෝඩයා කිරීමට තව දුරටත් ඉඩ නොදෙමු. සිංහලයනි අවදිවන්න, බුද්ධිය බේරාගන්න.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

සිංහලයනි අවදිවව්! කී කල ඔව්හු අවදි වී නිකං බලා සිටිති

නායකත්වය පමණක් ධර්මිෂ්ඨ වී අනිකුත් උසස් නිලධාරීන්, සේවකයින් හා ව්‍යාපාරිකයින් අධර්මිෂ්ඨ වී නම් රටේ සැබෑ දියුණුවක් ඇතිවිය නොහැකිය.

වචන ලක්ෂණ වූවාට ක්‍රියාව ලක්ෂණ නොවේ නම් ක්‍රියාව ලක්ෂණ වන තුරැ ලස්සන වචන වලින් වැඩක් සිදු නොවේ.

නිදා සිටි සිංහලයන්ට “සිංහලයනි අවදිවව්!” කියා කූද්දනු ලැබීය. ඔව්හු අවදි වී නිකං බලා සිටිති.

“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” යයි කියමන ඉතා ලස්සනය. එහෙත් මිනිසා මිනිසාට සේවය කරන හැටි බලා ගැනීමට බස් රියකින් යා යුතුය. වාඩි වී යෑමට මුදලක් අය කරන නමුත් මුදල් ගෙවා හිටගෙන යෑමට සහ හිරිහැර විඳීමට සිදුවන්නේය.

රජයේ හෝ සංස්ථාවකින් වැඩක් කරවා ගන්නට යන සාමාන්‍ය කෙනෙකුට මිනිසා මිනිසාට සේවය කරන ලස්සන බලාගන්නට පුළුවන. කඩේකින් හෝ රජයේ වෙළඳ සැලකින් හෝ මුදල් දී බඩුවක් මිල දී ගන්නට යන අයෙකුට ලැබෙන සැලකිලි!

නිලධාරීන්, සුළු සේවක මහතුන් හා මුරකරැවාගේ පටන් සියල්ලන්ම සේවය කරන්නේ අනිත් මිනිසුන් “වහලුන්” යයි සලකා ගෙනය. පිංසෙන්ඩු නොවී, බැගෑපත් නොවී, බොරැ චාටු නොදා, අඳුරන කියන අයෙකුගේ පිහිටක් නොලබා වැඩක් කරගත හැකි කාර්යාලයක් ධර්මිෂ්ඨ ලංකාවේ තිබේද?

මිනිසා මිනිසාට සේවය කරන්නේ  තමන් වෙත එන පුද්ගලයා ලොක්කෙක් නම් ය. පුංචි අය මිනිස්සු නොවේ. ඉඩක් ලැබෙන සෑම විටකම මිනිසුන් ගසා කෑම, වංචා කිරීම ජාතික සංස්කෘතිය වී ඇත.

මැද පෙරදිග රැකියා දෙන බවට පොරොන්දු වී එක් අයෙකුගෙන් රුපියල් දෙදාහ බැගින් රැගෙන රිසිට් පත් නොදී, රැකියා ද නොදී විශාල ගොඩනැඟිලිවල වැජඹෙන අයට ධර්මිෂ්ඨ නායකත්වයට විහිළු කරන්නට ඉඩ නොදිය යුතුය.

පිටරට රැකියාවල නියුතු වී උපයාගත් විදේශ විනිමය වලින් මෝටර් රථ වාහන ගෙන්වා දෙන්නට පොරොන්දු වී ලක්ෂ ගණන් වංචා කරමින්, නීතියේ රැහැනට අසු නොවන විදියට සූක්ෂම කපටිකම් කරන “වැදගත්” පෙනුමින් සිටින අධර්මිෂ්ඨයින් ධර්මිෂ්ඨ සමාජයට තර්ජනයකි.

ධර්මිෂ්ඨ යන වචනය තවත් ලස්සන වචනයක් වීමට පමණක් සීමා නොකර එය අර්ථවත් හරබර ක්‍රියාවක් බවට පරිවර්තනය වනතුරැ සමාජයට වැඩක් සිදු නොවේ.

අප සිටින්නේ ආගම, ධර්මය, දෙවි දේවතාවුන් පමණක් නොව අපේම මළගිය ඥාතීන්ගේ නාමය පවා විකුණාගෙන බඩගෝස්තරය සොයා ගන්නා සමාජයකයි. එවැනි සමාජයක් තුලින් බිහි වී සිටින මිනිසුන් ධර්මිෂ්ඨකම් යනු තමන්ගේ මල්ල පුරවාගත හැකි උපාය මාර්ගයක් හැටියට සැලකීම පුදුමයක් නොවේ. එහෙත් මෙම තත්වය හොඳ අතට හරවන තුරැ ලෝකය පිළිගත් දියුණු වැදගත් රටක් හැටියට පෙනී සිටීමට අපිට හැකි නොවනු ඇත.

විශාල ගොඩනැඟිලි, යෝධ ජලාශ ව්‍යාපාර, පළල් මහා මාර්ග කොපමණ ඉදි කළත් ඒවා ප්‍රයෝජනයට ගන්නා මිනිසාගේ සිතුම් පැතුම් බකල් ගසන, පරණ හණමිටි හා ඉරිසියා ක්‍රෝධ සහගත සිතුවිලි වලින් දූෂණය වී ඇත්නම් එම මඩ ගොහොරැ මොළ පිරිසිදු කරන තුරැ සංවර්ධනය සම්පූර්ණ නොවේ.

අපිට ලැබී ඇති ධර්මය ලෝකයෙන්ම ශ්‍රේෂ්ඨ විද්‍යානුකූල ධර්මයකි. එය පිළිපැදීම හා අවබෝධ කරගැනීම පසෙක තබා අපි එයට වඳිමු. පුදමු. එහි ගුණ කියමු. එය ලෝකයටම දීමට සූදානම් වෙමු. අපි පිළිනොපැද්දාට කම් නැත. අනුන්ට දෙමු.

අප ජීවත්වන දිවයින ලෝකයෙන්ම උතුම් රටකි. දේශගුණය උතුම්. පොළව සාරවත්. එහෙත් එහි මදුරැවා මිනිසාට තර්ජනයකි. කුණු කසල වලින් සෑම නගරයක්ම හා මහා මාර්ගයක්ම “අලංකාර” වී ඇත. අපේම හැටි! අපි හරි ඥානවන්ත දැහැමි මිනිසුන් යැයි කියමු. එහෙත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට දහස් ගණනින් මිනිසුන් එක්රැස් කරගැනීම ඉතා පහසුයි. හොඳ ගුණ යහපත් වැඩේකට එකතු වෙන්නේ අඩිය ඉස්සරහට තබමින් හිත පස්සට තබමිනි. අපේ කාර්මික ඥානය ජර්මනියේ හදන ටිකට් මැෂින් එක කම්බි කෑල්ලෙන් විවෘත කරන්නට සමත්ය. අපේ රසායනික දැනුම අනුව ඉවත දමන දේවලින් සහ කැරපොත්තන් හා කටුස්සන් යොදා කසිප්පු නිපදවීමට සමත්ය. අපි හිතන්නේ බස් කඩා දමා, පාලම් බිඳ දමා, ආණ්ඩු පෙරළා, රට හැදීමටයි. පාලකයන් යනු මහජන සේවකයන් යයි පිළිගන්නා අය අප අතර නැත.

අපි දියුණුවීමට සිතන්නේ අපේම මිනිසුන්ගේ දේපල උදුරා ගැනීමෙනි. තමන්ගේම ගේ දොර කොල්ල කා දියුණුවීමට නොහැකි බව අපට වැටහෙන්නේ නැත.

මිනිසුන්ට සේවය කිරීම සඳහා දෙනු ලබන ලොකු වේතන ලබමින් අසරණ ජනතාවට තමන්ගේ නිල බලය පෙන්නා සැර දමන කටකාර, අහංකාර, බොරැකාර, මාන්නක්කාර හා කේරැම්කාර “උතුමන්ට” මේ ලිපිය කියවීමට සලස්වා අඩු ගණනේ තවත් එක් අයෙකු හෝ ධර්මිෂ්ඨ කරවා ගැනීමට වෑයම් කරන්න.

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 1 වැනිදා චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

සමච්චල්

දෙමාපියන් හැරෙන්නට සිටින වැඩිහිටියන් සිරිතක් වශයෙන් අප සමාජයේ ළමයින්ව සමච්චලයට භාජනය කරනවා.

ඉගෙන ගන්න වයසේ අයට පවා අඩුපාඩු පෙන්වමින් අඩුපාඩු සකස් කරගන්න නෙමේ පාච්චල් කරල සමච්චලයට ලක්කරලා එයාට හීනමානයක් දීම ප්‍රශ්න විසඳීමට මාර්ගය නොවේ. ප්‍රශ්න විසඳීමට නම් කරුණාවන්ත විදියට වැරැද්දක් බව අවබෝධ කරලා දරුවන්ට මග කියා දෙන්න ඕන. බොහෝ වේලාවට කෙරෙන්නේ මනෝවිද්‍යාව හෝ මිනිස් සිත පිළිබඳව කිසිම දැනීමක් නැති අය තමන්ට ඕන විදියට නැත්නම් තමුන් හැදිච්ච විදියට, තමන්ට විඳින්නට සිදුවුන ගැහැට තවත් කෙනෙක් පිට පැටවීමයි.

අපට විඳින්නට සිදුවන කරදරයක් තවත් කෙනෙකුට විඳින්නට සැලැස්වීම වැරදියි. බොහෝවිට “අපි මේ තරම් කටයුතු කරන්නේ ඉගෙන ගෙන නෙමෙයි,” කියන දෙමව්පියන් ඉන්නවා. අද අපි ජීවත්වෙන්නේ ඉගෙනීම අතිශයින් දියුණු යුගයක. මේ වගේ බුද්ධිය මෝරන්න, මේ තරම් ගැඹුරු විෂයයන් රාශියක් ඉගෙන ගන්නට හැකිවුන කාලයක් මිනිස් ඉතිහාසයේ සඳහන්ව නෑ. ඒ උගත්කම එන්න එන්නම වැඩි වශයෙන් ගැඹුරට හදාරන්න අවශ්‍ය යුගයකට පිවිසලා අපි ඉන්නේ.

-සුමනදාස සමරසිංහ, 1979 අගෝස්තු 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය