සම්පත් උදාකරන බලගතු වචන හත

පළමුකොට අපි ඔබට එම බලගතු වචන හත කියා දී ඉන්පසු ඒ ගැන විස්තර ඉදිරිපත් කරමු. කෝටිපතියන්ගේ අර්ථ සිද්ධියට උපකාර වූ එම වචන හත මෙසේයි: “මා කරන වැඩෙන් අනුන්ට සිදුවන යහපත කුමක්ද?”

අනුන්ට යහපතක් කිරීම හොඳ වැඩක් බව අප දැන සිටි නමුත් එය මෙලොවම විපාක දෙන බලගතු චේතනාවක් බව වැඩි දෙනෙකු දැන සිටියේ නැත. හැම හොඳ දෙයක්ම පිනක් හැටියට හා පරලොවට වැඩ සැලසෙන දෙයක් යයි බොහෝ දෙනා සිතන බව පෙනේ.

අනුන්ගේ යහපත තකා අවංකව කරනු ලබන ඕනෑම හොඳ වැඩකින් පාඩුවක් සිදුවුවත් ඊට වඩා දස ගුණයකින් යුත් ලාබයක් වැඩි කල් යන්නට පෙර ඔබ වෙත ළඟා වෙන්නේය. ඒ සඳහා ඔබට පාඩු සිදු වූ පලියට ඔබේ හොඳ වැඩය නතර නොකර ඉදිරියට ගෙන ගිය යුතුය. චේතනාව හොඳ නම් කර්ම විපාකය හොඳවීම කිසිවෙකුට වැලැක්වීමට නුපුළුවන.

ඔබේ ව්‍යාපාරය දියුණු වන්නේ ඔබෙන් ගණුදෙනු කරන අයට විශේෂ වාසියක් ලැබේ නම් පමණකි. ඔබේ සේවය අවංක බව පාරිභෝගිකයාට ඒත්තු යා යුතුය. ඔබ ළඟ හොර බොරු වංචා නැති බව තේරුම් ගත් පසු මහජනයා ඔබ වෙත රොක්වෙති.

මහජනයා යමක් මිල දී ගන්නේ තමන්ට වාසියක් ලැබෙන තැනකිනි. එම වාසිය ඉස්තරම් බඩු, නියම හා සාධාරණ මිල මෙන්ම නියමිත ප්‍රමාණයට වඩා අවුන්ස කාලකින් හෝ අඩුනොවීම වැනි මූලික අවශ්‍යතා අනුව මනිනු ලැබේ. අඩු ගණනේ ඔබ අනුන්ට අව්‍යාජ හිතවත්කමක් පෙන්වන කෙනෙක්ද? එසේ නම් ඔබ අත ගසන සෑම වැඩක්ම හරියයි. හොර බොරු වංචා කරන අයගේ දියුණුව ටික කලකින් වැනසී යයි.

හොරට බඩු කිරා දී ධනවත් වීමට බැරිය. ගඩොල් කුඩු දැමූ මිරිස් විකුණා ධනවත් විය නොහැකිය. විශාල වෙළඳ ව්‍යාපාර බවට පත්වී ඇති සෑම වෙළඳ ආයතනයක්ම එසේ දියුණු වී ඇත්තේ මහජනයාට හොර බොරු වංචා කිරීමෙන් නොවේ.

ඔබ කරන සේවය කුමක් වුවත් එයින් අනුන්ට යහපතක් සිදුවේ නම් ඔබට පසුබෑමට හේතුවක් නැත. ඔබේ දියුණුවට අකුල් හෙලන්නට මාන බලන අයගෙන් ඔබ මහජනයාට කරනවාට වඩා යහපතක් සිදුවේද?

ලබන්නාගේ හිතසුව පිණිස දීමට යමක් ඔබ ළඟ තිබේද? ක්‍රිකට් ක්‍රීඩකයා ලකුණු පුවරුව දෙස බලා ක්‍රීඩා කරන්නට ගියහොත් වහාම දැවී යයි. එවන පන්දුව ගැන ක්‍රීඩකයා විමසිලිමත් වන්නාක් මෙන් ඔබද ඔබට ලාබ ලබාදෙන අයට පළමුකොට ලාබයක් ලබාදීමට සිතට ගන්න. එවිට ඔබේ යහපත බලාපොරොත්තු වනවාට වඩා ඉහළින් උදාවනු නිසැකය.

ඕනෑම ව්‍යාපාරයක් සෞභාග්‍යමත් විලාසයකින් වැජඹෙන්නේ මහජනතාව සූරා කෑම නිසා නොව මහජනතාවට හිතහොඳ සේවයක් ඉටුකිරීම නිසාය. බොහෝ ප්‍රසිද්ධ හා ධනවත් ව්‍යාපාරිකයන් ප්‍රතිපත්තියක් රකිති. එනම් “ඉස්තරම් බඩු නිපදවා, වැඩි දෙනෙකුට අඩු මුදලකට දීමට උත්සාහය,” යන්නයි. බඩු මිල ඉහළ යෑම කොයිතරම් සීඝ්‍රයෙන් සිද්ධ වුවත් ඉස්තරම් නිෂ්පාදන විකිණී යෑමට එයින් බාධා සිදු නොවේ.

ඔබේ සේවය කුමක් වුවත් අන් අයට වඩා ඉතා ස්වල්පයකින් හෝ හොඳින් එය ඉටු කරන්න. අන් අයට වඩා කාරුණික වන්න. අන් සැමට වඩා පොඩ්ඩක් හෝ වැඩියෙන් ඉවසන්න. අන් සැමට වඩා නිතර මුහුණ සිනාවකින් හා ලෙන්ගතු කමකින් සරසා ගන්න. ඔබේ එම සෑම ක්‍රියාවකින්ම සිදුවන්නේ ඔබ වෙත සම්පත් උදාවීමයි.

-සුමනදාස සමරසිංහ, 1979 මැයි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

ජාතික දුර්වලකම් ජයගනිමු

සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කළ කාලයේ දී එය කඩාකප්පල් කර දැමීමට ඉදිරිපත් වූයේ පිටරැටියෝ නොව අපේම සිංහල අයියලා බව “දෙල්ගහ යට ගෙදර විප්ලවයෙන්” පැහැදිලි වේ. එහෙත් අද එම ව්‍යාපාරයෙන් ඵල නෙලා ගන්නේ අහිංසක සිංහල ගැමියන්ය.

හොඳ කටයුතු වලට හරස් කපන හා බාධා කරන, සහයෝගය දීමට ඉදිරිපත් නොවෙන සිංහලයා නරක දෙයකට, ලේ සෙලවීමකට විරුද්ධව කතා කිරීමට මැළිවේ.

අසූහාරදහසක් ධර්මස්කන්ධය හැමදාමත් අසා සිටින සිංහල බෞද්ධයා චතුරාර්ය සත්‍යය ධර්මයෙන් එක ධර්මයක් පමණක් අවබෝධ කරගැනීමට වෑයම් කරයි. ඒ දුක්ඛ සත්‍යයයි. ඔහුට හැමදාම දුක ගැන කතා කළත් එපා වෙන්නේ නැත. එහෙත් දුකින් මිදීමේ මාර්ගය හෝ දුකට හේතුව ගැන කියා දෙන විට “ඔය හැමදාම කියන්නේ එකම දෙයයි,” කියා එයට සවන් නොදී නැවත දුක අවබෝධ කරගැනීමට යැයි සිතා දුක හා නැති බැරිකම ගැනම කතාව පටන් ගනී.

එක එක විදියට ගොනුකර අප හැමදාමත් කියවන්නේ හෝඩියේ අකුරු ටිකමයි. එහෙත් අපිට කියවීම එපා නොවේ. හැමදාම බත්කන නමුත් බත් එපා නොවේ. මොහොතක් නෑර හුස්ම ගන්නා නමුත් හුස්ම ගැනීම එපා නොවේ.

එමෙන් සැපත, වාසනාව හා සෞභාග්‍යය ගැන අපි පණ තියෙන තුරු සිතිය යුතුය. “භාවිතෝ බහුලීකතෝ,” යයි කීවේ දන්නා බවක් සිතාගෙන නිදි කිරන්නට නොවේ. දන්නා දෙය නැවත නැවතත් භාවිතා කිරීමටය.

මඩ ගැසීමෙන් හා හෑල්ලු කොට කතා කිරීමෙන් කිසිවෙකුට කිසිම යහපත් ප්‍රතිඵලයක් ලබාගත නොහැකිය.

කුමන හොඳ දෙයක් හෝ හෑල්ලු කොට කතා කරන පුද්ගලයාගෙන් ඔබ ඊට වඩා මානසික සුවයක් හා ජීවිතයට සහනයක් ලැබෙන මාර්ගයක් කියා දෙන ලෙස ඉල්ලන්න. චේතනාව කර්මය නොවේ නම් කර්මය යනු වෙන කුමක්දැයි අසන්න. දියුණුවීමට මාර්ගය අනුන්ට ගැරහීම හා ධනපතියන් භංගවේවා යැයි කීම ද? එසේ නැත්නම් ධනය හම්බ කරගත හැකි මාර්ග වලට සිත යොමු කරවීම ද?

සමාජ ක්‍රමය පෙරලා ඔබේ ප්‍රශ්න විසඳා ගතහැකි යැයි සිතනවා නම් සමාජ ක්‍රමය පෙරලන ලද රටවල පවත්නා සැබෑ තත්වය ගැන සොයා බලන්න.

බුදුහිමියන්ට විරුද්ධ වූයේ සම්බුද්ධ චීවරය දරාගත් ඥාතිකමක් ද තිබූ ගෝල තෙරණුවකි. ජේසු හිමියන් පාවා දුන්නේ උන්වහන්සේගේම ගෝලයෙකි. සිංහලයාට විරුද්ධව කටයුතු කරන්නේ සිංහලයෙකි. කැලෑව නසන්නට කැලෙන්ම එකෙක් ආ යුතුයි. ලෝකය පවත්නා තාක් කල් ඉදිරියට ගමන් කිරීම ද ලෝක නීතියයි. කවුරු “උම්බෑ” ගෑවත් අපි අවදි වී චිත්ත ධර්ම විද්‍යාව තුලින් ඉදිරියටම යමු.

-සුමනදාස සමරසිංහ, 1979 මාර්තු 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

මිනිසුන් රැවටීම මානසික රෝගයකි

කූට උපාය මාර්ග වලින් මහජනයා රවටා බඩ වියත රැක ගන්නා අය සිටිති. ඔවුන්ගේ උපායයන් විවිධය. පාරේ යන අයෙකු සමඟ කතා කරමින් පරණ දැන හැඳුනුම්කම් ගැන කියා හිතවත් දන්නා හඳුනන අයෙක් බව පෙන්වා ඉන්පසු මුදලක් ඉල්ලයි. මුදල ඉල්ලන්නේ හදිසි උවමනාවකට සුළු ගණනක් මදි වූ බව කියමිනි.

මිනිසුන් මුලා කරන අයගෙන් බොරු ශාස්ත්‍රකරුවන්, අත බලා සාප කරන්නන්, මහාචාර්ය පට්ටම් තමන් විසින් තමන්ට ආරූඪ කරගත් අය හා අප්‍රසිරිද්ධ බොරු සරසවියකින් වැදගැම්මකට නැති ආචාර්ය පට්ටමක් මිල දී ගත් අය මුල් තැනක් ගනිති.

මිනිසුන් මුලාකරන ඉන්ද්‍රජාලිකයන් අඩු ගණනේ නරඹන්නාට විනෝදයක් දී පසුව ඉන ඉහ අත ගා ගනිති.

දෙවියන්ගේ නාමයෙන් හා මළවුන්ගේ නාමයෙන් මිනිසුන් මුලාකරන අය තමන් මානසික රෝගීන් බව දන්නේ නැත.

අනාගතය ගැන හොඳක් කියා සතුටු කළ විට හෝ බයවීමට දෙයක් කියා මිනිසුන් බය කළ විට ගාස්තුවක් ලැබේ. ලාබය තකා හෝ බොරු ඇද බෑම මානසික රෝගයකි.

නොදුටු දෙයක් ඇසින් දුටු බව කියා බොරු කියන්නේ අවධානය තමන් වෙත යොමුකර ගැනීමටය. එය ද මානසික ආබාධයකි.

නොදන්නා බව නොකියා දන්නා බව හැඟවීම අහිතකර මානසික තත්වයකි.

සත්‍යය දැන දැන මිනිසුන්ගේ සිත් රිදෙනවාට බයේ කතා නොකර සිටීම බියගුළුකමකි. බියගුළුකම ද මානසික රෝගයකි. එය දායකයන් රැවටීම සඳහා යොදාගත හැකියි. “බයකට එහෙම නෙමෙයි. අපි මොකටද ඕවා ගැන හාර අවුස්සන්නේ?” යයි කීම රැවටීමකි.

අනුන් රවටන්නා තමන් ඊට වඩා සිතින් රැවටී සිටින බව නොදනී.

අනුන් කියන කියන දෙයට තමන් හැරෙන කෙනෙක් වේ නම් ඔහුගේ හෝ ඇයගේ හිත අනුන්ගේ සෙල්ලම් මඩුවකට සමාන කළ හැකිය.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

ධෛර්යය ගෙනෙන සිතුවිලි

කුමන සිතක් හෝ සත්‍යය ලබාගැනීමට සූදානම් වෙනතුරු එය ලබන්නේ නැත.

බලාපොරොත්තුව ජීවිතය සමඟ ගමන් ගනියි. එය නතරවන්නේ මරණයෙනි.

ප්‍රබල හේතූන් ප්‍රබල ක්‍රියාවන් සිදු කරයි.

නිහතමානී බව ඉහළම ගුණාංගයයි.

එක හොඳක් කිරීම තව හොඳක් ලැබීමට සුදුසු වන්නේය.

සෑම මනුෂ්‍යයෙකුගේම ක්‍රියාව යනු ඔහුගේම රූපය පිළිබිඹු කිරීමකි.

ජීවිතයේ එක්තරා නීතියක් ඇත. එනම් එක් දොරක් වැසෙන විට තවත් දොරක් ඇරේ.

වැඩකිරීම උත්තම වූත් පාරිශුද්ධ වූත් ක්‍රියාවකි.

හොඳ වැඩ කිරීමේ දී මහන්සිය ගැන නොතකන්න.

ඔබේ බලාපොරොත්තුව ඉෂ්ඨ නොවූවා නම් දිගටම බලාපොරොත්තු වලින් සිටින්න.

ඔබ සඳහා ඔබට කරගත හැකි දෙයක් අමුත්තෙක්ගෙන් කරගැනීමට බලාපොරොත්තු නොවන්න.

ඥානවන්ත ලෙස බලාපොරොත්තු ඇති කරගන්නාට ඉතා දුෂ්කර අවශ්‍යතාවයක් වුවත් ඉටුකර ගත හැක.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය