ඔබේ සිත

  • ඔබේ සිත හදා ගත යුත්තේ ඔබමය.
  • සිත හදාගන්න බැහැයි කීම ඔබේ තීරණයක් මිස සත්‍යයක් නොවේ.
  • දුක් ඕනෑ නම් දුක ගැනම සිතන්න.
  • සැප ඕනෑ නම් සැප ගැන සිතන්න.
  • මරණය ගැන සිතීමට පෙර හොඳින් ජීවත්වීම ගැන සිතන්න.
  • මරණය ගැන නොසිතුවත් මරණය නියමිත වේලාවට සිදුවෙනු ඇත.
  • එක නරක පුරුද්දක් ජයගන්න. එවිට ඉතිරිය පහසු වේ.
  • රෝගයකින් සුවය ලබන තුරු නිරෝගිකමේ අගය වැටහෙන්නේ නැත.
  • සිතේ කරදර අඩුවන තරමට එහි අගය දැනේ.
  • ඔබේ සිත තරම් උතුම් වස්තුවක් වෙන නැත.
  • එසේම එය සියළු දුකට හේතුවන නරකම වස්තුව ද කරගත හැක්කේ ඔබටමය.

-සුමනදාස සමරසිංහ, “මිනිස් හිතේ හාස්කම්” පොත් පෙළෙන්.

තමන් සොයන්න ඇත්තේ තමන්ගෙන් පිටස්තරව නොවේ

අප ඉපිද සිටින සමාජය පුරුදු වී සිටින්නේ සෑම සියළු දෙයක්ම තමන්ගෙන් පිටස්තරව ඇතැයි සිතීමටය. ධන සම්පත්, ඥාන සම්පත් හා ගුණ නුවණ ආදිය අපට ලබාගත හැක්කේ බාහිර කරුමයක, වාසනාවක බලයෙන් යයි සිතීමට අපට පුරුදුකර ඇත. ආගම ධර්මය අතින් පවා දිව්‍ය ලෝක සැප සම්පත්, බ්‍රහ්ම ලෝක හා නිවන ආදී ලෝකෝත්තර තත්වයන් පවා ඇත්තේ අප තුල යයි කියා කිසිවෙකු උගන්වන්නේ නැත.

මේ හේතුව නිසා අවශ්‍යය දෙය එය තියෙන තැනේ දී නොසොයා අන් තැනක සෙවීමට අපි පෙළඹී සිටිමු. ධනය යනුවෙන් අප අදහස් කරන සතුට ලබාදෙන සෑම දෙයක්ම බාහිර වශයෙන් සොයන්නට යෑම නිසා බොහෝ දෙනෙකුට එය නොලැබී යයි. වැඩි දෙනෙකුට ඕනෑ ලොතරැයියකින් ධනවත් වීමටය. සමහරුන්ට කෑම බීම, ඉඳුම් හිටුම්, ගෙවල් දොරවල් ආදිය “නොමිලේ ලබාදෙන” සමාජවාදී රජයක් ඕනෑ කෙරේ.

ලක්ෂ පහක් හයක් පමණ ජනයා ලොතරැයිපත් මිල දී ගන්නේ තමන්ට ඇදෙන බව විශ්වාස කරමිනි. ලොතරැයි මණ්ඩලය දිනුම් අදින්නේ ටික දෙනෙකුටය. දිනුම් අදින සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් නිතරම තමනට දිනුමක් ඇදෙන තුරු බලා සිටියාට දිනුම් ඇදෙන අයගේ සංඛ්‍යාව වැඩි වන්නේ නැත.

එසේ නමුත් හැමදාම ‘දිනුම් ලොතරැයි’ ඇදෙන අය අප අතර සිටිති. ඔවුන් තමන්ගේ ආදායම් මාර්ග ක්‍රමානුකූලව සකස් කරගෙන ඇති බැවින් ලොතරැයි වාසනාවට වඩා ඉක්මණින් ඔවුන් වෙත ධනය ගලා එයි. ඒ තමනට ධනය සොයාගත හැකි මාර්ග ඔව්හු අහම්බෙන් කෙනෙකුට ඇදෙන ලොතරැයියකට ඔවුන් සීමා කරගෙන නොසිටින නිසයි.

බලාපොරොත්තු ඉටුවේ යැයි අවුරුදු ගණන් බලා සිටින්නෙකු නොවී නොයෙකුත් ධන උපයන මාර්ග වලට ඔබේ සිත යොමු කරන්න. නිකං කටට වැටෙන තුරු බලා සිටින කම්මැලියාට කළින් ඔබට ධනවතෙකු වෙන්නට පුළුවන. තමන් තුල හැකියාවක් ඇතැයි කියා එය හඳුනාගන්නා පුද්ගලයා නිතරම දියුණුවක් ලබයි.

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

ඔබ මල් ඇටයකට වඩා ශක්තිමත්

ඔබ පස් යට තැන්පත් කළ මල් ඇටයකට වඩා ශක්තිමත් පුද්ගලයෙකි. එහෙත් නිතරම “මේකෙන් ගොඩ එන්නෙ කොහොමද?” අසමින් ඔබ ලතවෙයි. මල් ඇටයක් එසේ ප්‍රශ්න කරන්නේ නැත. කුඩා මල් ඇටයක් තුල තිබෙන ශක්තියට වඩා ප්‍රබල ශක්තියක් ඇති මිනිසා මල් ඇටය මෙන් තමා තුල ඇති සුවඳ විහිදුවා ගැනීමට හා පස් තෙරපා මතුපිටට එන්නට වෑයම් නොකරන්නේ කාගේ වරදින් ද?

මිනිසෙකුගේ වාසනාව යනු ක්‍රියාශීලීවීමයි. ඔබේ වෑයම කුමක් සඳහා ද?

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

ඔබ නිතර සිතන්නේ ඔබ කවුරැයි කියාද?

ඔබ දිනපතා උදේ හවස සිතන්නේ ඔබ කොහොම කෙනෙක් කියාද? ඔබ අන්න ඒ පුද්ගලයා බවට ක්‍රමයෙන් පරිවර්තනය වෙයි.

නිතරම අනුන් ගැන සිතමින් කාලය ගෙවන පුද්ගලයා ඒ අයගේ තත්වයට වැටේ.

ඔබේ සිතට වංචා නොකරන ඔබව හොර බොරු වංචාවලින් රවටන්නට අන් කෙනෙකුට නොහැකියි.

ඔබ මුළුගැන්නී සිටින්නේ ඔබේම නරක චේතනා නිසාය. හොර බොරු වංචා නොකරන අයට සැඟවී සිටින්නට හේතුවක් නැත. ඕනෑකමක් ද ඇති නොවේ.

ඔබේ දියුණුව ඇත්තේ ඔබ සිතන සිතුවිලි අනුවයි.

-සුමනදාස සමරසිංහ, 1979 මැයි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

දියුණුවට කැමති පුද්ගලයාට

දියුණුවන පුද්ගලයා දියුණුවන මාර්ග කියා දෙන විට එයට සවන් දෙයි.

දියුණු නොවන පුද්ගලයා අනවශ්‍ය හා තමන්ට හෝ අන් කෙනෙකුට පලක් නොවන වාද විවාද වල එල්ලෙයි.

ප්‍රශ්නයට අදාල නොවන විස්තර දැන ගැනීමට ඔහුට ඕනෑ කෙරේ. අඹ ගෙඩියේ ඇඹුල් රස, පලු වීර වල පැණි රස හෝ උක් ගසේ ඇති රසය ඒවාට ලැබුනේ මහ පොළවේ ඇති රසයෙනි. මෙහි ඇත්ත නැත්ත බැලීමට මහ පොළවෙන් පස් ටිකක් දිවේ ගා බලන පුද්ගලයාට කිසිදු රසයක් නොදැනේ!

-සුමනදාස සමරසිංහ, 1979 සැප්තැම්බර් 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය