තමන්ගේ අදක්ෂකමට වෙන අය පලි නැත

ඉගෙන ගන්නා වයසේ දී හරියට ඉගෙන නොගෙන කාලය නාස්ති කල අය විභාග වලින් අසමත් වී තමන්ගේ කරැමයට හෝ ග්‍රහයෙකුට දොස් කියති. යාන්තම් සමත් වී රැකියාවක් සොයා ගැනීම දුෂ්කර වූ අය රජයට හා ධනපති ආර්ථික ක්‍රමයට දොස් කියති. ඉහළින් සම්මාන ඇතිව සමත් වී සිටින නමුත් කිසිවක් කිරීමට දැනුමක් නැති අය අධ්‍යාපන ක්‍රමයට බනිති. තමන් තෝරාගත් විෂයයන් රැකියාවක් කිරීම සඳහා නුසුදුසු හෝ අවශ්‍ය ඒවා නොවන බව ඔව්හු දනිති. එහෙත් දොස් පවරන්නේ රජයට, සමාජයට හෝ දේශපාලන ක්‍රමයටය. රැකියා කරන බොහෝ දෙනා තම රැකියාව හරියාකාරව ඉටු නොකර හා අලසව සිටිමින් වැඩි පඩි හා උසස්වීම් ඉල්ලති. ඉහත සඳහන් කළේ නොදියුණු මිනිස් ගති වලින් ස්වල්පයකි. දියුණු මනසක් ඇති අය තමන්ගේ නොදියුණුකමට හේතුව තමන් තුලින් දකිති. අ.පො.ස. සාමාන්‍ය පෙල හෝ උසස් පෙල හෝ උපාධිය යනු රැකියාවක් සඳහා ලබන පුහුණුවක් නොවන බව උගත් දරැවන් දනිති. එම නිසා ඔව්හු තම උගත්කමට ගැලපෙන රැකියා පුහුණුව සඳහා කටයුතු කරති. වෛද්‍ය හෝ ඉංජිනේරැ උපාධියක් ලැබීම යනු රැකියාවකට, වෘත්තියකට නොහොත් සමාජයට අත්‍යාවශ්‍ය යම් වැඩ කොටසක් කිරීම සඳහා පුහුණුවක් ලැබීමකි. ඕනෑම උපාධියක් ඒ උගත් විෂයයෙන් වැඩ කොටසක් කිරීම සඳහා පුහුණුවක් ලැබීමක් නොවේ. අපේ රටට අවශ්‍ය තරමට අවශ්‍ය උගතුන් හා පුහුණු අය නැත. වෙනත් රටවල ද එය එසේමය. එම නිසා රැකියා පුරප්පාඩු ඇති රටවල් සොයා බොහෝ උගතුන් හා පුහුණුව ලැබූ අයට යා හැකියි. ඔබ කම්කරැවෙක් නම් එයින් මිදීමට ඇත්තේ එකම එක මාර්ගයකි. එනම් තමන්ගේ උත්සාහයෙන් ඉගෙන ගෙන හෝ පුහුණුවක් ලැබ තමන්ගේ තත්වය උසස් කරගැනීමයි. එසේ වෑයම් නොකරද්දී කුමන රජයක් යටතේ වුව ද ඔබට කම්කරැවෙක් ලෙසම ඉන්නට සිද්ධ වේ. එක කාර්මික විද්‍යාලයක මා පැවැත් වූ දේශනයකින් පසුව මා වටා රැස් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මගෙන් විවිධ ප්‍රශ්න ඇසූහ. වැඩි දෙනෙක් තම මුල් ගුරැවරයාගේ දේශපාලන පක්ෂපාතකම ගැන කලකිරී සිටි අයයි. රජයක් බලයට පත් වූ පසු එම පක්ෂයේ අදහස් අනුව රට පාලනය කිරීම සඳහා පක්ෂයේ අය උසස් තනතුරැ වලට පත් කර ගනිති. එසේ නැතිව විරැද්ධ පක්ෂයේ අයට උසස් නිලතල හා තනතුරැ දුන්නොත් ඔවුන් රජයේ ප්‍රතිපත්තියට වඩා තමන්ගේ ප්‍රතිපත්තිය හොඳ යයි සිතා කටයුතු කරන්නේ රජයට ඕනෑ කරන අන්දමට නොවේ. ඔබේ අත් උදව්වට පත් කරගන්නේ හිතවතුන් ද? හතුරන් ද? සිසුන්ට තත්වය පැහැදිලි වූහ. ඊ ළඟට එම සිසුන් විදුහල්පතිවරයාගේ විවිධ අඩුපාඩුකම් අතර සමහර සිසුන්ට දැක් වූ හිතවත්කම ගැන කීහ. අපි මනුෂ්‍යයන්ය. බුදු හිමියන් කොතරම් මෛත්‍රී කරැණාව ඇති උතුමෙකු වුව ද තම හතුරන් සමඟ එක පංසලක විසූ බවක් කොතැනක වත් සඳහන් නොවේ. එසේම ආවතේවකම් කිරීමට හා ආරක්ෂකයා ලෙස තමන්ගේම ළඟ නෑයෙකු වූ ආනන්ද හිමි පත් කරගත්හ. අපට ඕනෑ රජයට හෝ විරැද්ධ පක්ෂයට හෝ හිතවත්කම් පෙන්වීමට නොවේ. සත්‍යය ඉස්මතු කර පෙන්වීමටය. සත්‍යයට බය මිනිස්සු නිතරම සත්‍යය වසා තැබීමට වෑයම් කරති. සත්‍යය නම් තමන්ගේ ප්‍රතිපත්ති දියත් කිරීම සඳහා පත් කරගන්නේ තමන්ට හිතවත් තමන්ගේ අයයි. තමනට නිසි තැන ලැබුනේ නැති නිසා සිසුන්ට හරියාකාරව උගන්වන්නේ නැති ගුරැවරැ හා කථිකාචාර්යවරැ සිටිති. විදේශීට රටවලින් මුදල් ගෙන නොයෙකුත් විදේශීය දේශපාලන මතවාද පතුරැවන අය ද සිටිති. තමන්ට මුදලක් හෝ තැනක් ලැබෙන්නේ නම් රට, ජාතිය හා ආගම වුව ද විනාශ කර දැමීමට සූදානම් අය අප අතර සිටිති. ඔවුන් අතර ජීවත්වෙමින් එහෙත් ඔබේ තත්වය උසස් කරගත හැකියාව ඇත්තේ ඔබටය. අදක්ෂයන් හා අලසයන් කියන නැති බැරිකම් හා අගහිඟකම් අහමින් කාලය නාස්ති නොකර, ද්වේශ සහගත ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය සිත් සතන් වල නිධන් කර නොගෙන තමන්ගේ දක්ෂකම් වර්ධනය කරගන්නේ කෙසේදැයි සොයන්නට උද්‍යෝගීමත් වන්න. -සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1983 අගෝස්තු 1

Advertisements

ඔබේ අගය වැඩි කරගන්න

උගත්කමින් හා පුහුණුවෙන් ඕනෑම කෙනෙකුගේ අගය වැඩිවේ. තම උත්සාහයෙන් දැනුම වැඩිකර ගැනීම නිසා ද ඔබේ අගය දැනට වඩා වැඩි වන්නේය. තම වෑයමෙන් ධනයක් හරි හම්බ කරගැනීමෙන් ද මිනිසාගේ වටිනාකම වැඩිවේ.

ගමේ ගොඩේ නූගත් තරැණ තරැණියන්ට උගත්කම හා පුහුණුව ලැබුනු විට ඔවුන්ගේ වටිනාකම ඉහළ යයි. එහෙත් තමන්ගේ වටිනාකම වැඩි කරගන්නා බොහෝ දෙනා එය රැක ගැනීමට දන්නේ නැත. ඉතා පහත් අඩියක සිට රාජ්‍ය බලතල හා උසස් නිල තනතුරු ලබන අය ඇතැම් අවස්ථා වල දී තම පහත් ගති පෙන්නුම් කරති.

වරක් මගේ නිවස ඉදිරිපිට ඇති මහා මාර්ගය පුළුල් කිරීමේ දී පාරේ වතුර බැස යන කාණුව පස් වලින් හා කළු ගල් වලින් පිරවීම නිසා කාණුව පිටාර ගලා වත්තට වතුර ගලාවිත් අළුතෙන් ඉදිකළ තාප්පයක් කඩා වැටුණි.

මා මේ ගැන මහා මාර්ග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ විට ලොකු ලොක්කන් කිහිප දෙනෙක් පැමිණ පරීක්ෂණයක් ඇරඹීය. ඔවුනට ඕනෑ කළේ මට සිදු වූ අලාභ හානිය ගැන හෝ මගේ පැමිණිල්ල ගැන විභාග කර බැලීම හෝ නොවේ. පැමිණිල්ල කළ පුද්ගලයා කවුදැයි සොයා බැලීමයි.

මගේ ප්‍රශ්නය ඉතා ඉහළින් විසඳුණි. එහෙත් නූගත් අසරණ මහජනයා අතරින් කෙනෙකු රජයේ හෝ පොලීසියේ හෝ අක්‍රමිකතාවයක් ගැන පැමිණිලි කළහොත් සිදුවන්නේ පැමිණිල්ල විභාග කිරීම නොවේ. පැමිණිලිකරැට තර්ජනයයි. අපේ රටවල් නොදියුණු හිඟන රටවල් ලෙස ඉතිරිව ඇත්තේ මිනිසුන්ගේ මෙවැනි ළාමක නොදියුණු මානසික තත්වයන් නිසාය.

ඇඳුමෙන් සහ පාසැල් අධ්‍යාපනයෙන් සීලාචාර මනුෂ්‍යයන් බව පෙන්වීමට බැරිය. මෑතක දී අප රටේ විනිසුරැවන් බිය කොට නඩු තීන්දු වෙනස් කිරීමට හැකි යැයි සිතූ ඇතැම් පිරිසකගේ මෝඩ ක්‍රියාවක් ගැන පුවත්පත්වල විස්තර පළ වී තිබුණි. මහජනයා වෙනුවෙන් නීති රීති ක්‍රියාත්මක කරවීමට පත් කරගත් විනිසුරැවන්ට තර්ජනය කිරීම නූගත්කම පෙන්වීමකි. රෙදි ඇඳගෙන විළිවසා ගන්නට තරම් ශිෂ්ඨ සම්මපන්නව සිටියත් බුද්ධි මට්ටමෙන් ඇතැම් අය ජීවත්වන්නේ ඈත අතීතයේය.

තමන්ට ආචාර කරන අයට පෙරලා ආචාර සමාචාර කිරීම උතුමන්ගේ සිරිතය. නුසුදුසු පහත් පුද්ගලයෙකුට උසස් තනතුරක් දී බලන්න. ඔහු තම පහත් ගතිය පෙන්වන්නේ සුළු සේවකයන්ගේ ආචාර සමාචාර නුදුටු ලෙස මඟ හරිමිනි. මිනිසුන්ගේ උසස්කම මනින මිම්ම වනුයේ නිලතල හා සමඟ සංයෝග වූ සදාචාර ශිෂ්ඨ ගතිගුණ බව මතක තබා ගන්න.

සුළු මිනිසුන්ට ගරැසරැ දැක්වීම නිසා ලෝකයට ශ්‍රේෂ්ඨ උත්තමයන් පහළ වේ. සුළු මිනිසුන් පාගා ගෙන ගාණකට නොගෙන සිටීම නිසා උසස් නිලතල ලදවුන් පවා ඇද වැටේ. පහත් මිනිසුන් යැයි කියා තමනට වඩා අසරණ අය පහත් කොට සලකන්නේ පහත් අයෙකි.

උසස් මිනිසාට පහත් යැයි කියා මිනිසුන් කොටසක් නැත. නොදියුණු හා නූගත් අසරණයන්ට සේවය කොට පසු කලෙක ඉතා උසස් තත්වයක් තමන්ට ලබාගත් අය සිටිති. ඔව්හු තම මට්ටම ඉහළ ගිය පසු ඒ තැනට එන්නට උපකාරී වූ සුළු ජනයා අමතක කොට නිතරම ඉහළ මට්ටමේ අය පමණක් ඇසුරැ කරති.

ඉහළ මට්ටමේ සිටින සෑම කෙනෙක්ම පහළ මට්ටමේ සිටින අයගේ මෙහෙකරැවන් වෙති. මෙය අමතක නොකරන මනුෂ්‍යයා මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ මිනිසෙකු වෙන්නේය.

සැඩ පරැෂ වීමෙන් ඔබේ තත්වය තුට්ටුවට බහී. ඔබ ඉතා සැඩ පරැෂ අවිනීත අයෙකු නම් දැනට සිටින තත්වයෙන් ඉහළට යෑමට ඔබට නුපුළුවන. යම් විදියකින් ඔබට ඉහළ තැනක් ලැබුනොත් ඔබේ සැඩ පරැෂ ගතිය ද තව තවත් ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබට උසස් තනතුරැ දරාගෙන සිටීම මහා කරදරයක් වී එයින් විශ්‍රාම ගන්නට සිදුවේ.

අසීමිත දියුණුව සඳහා අසීමිත විනීත භාවයක් අවශ්‍ය වන්නේය. නපුරැ ගති ඇති දුෂ්ඨයන් කිසිම තනතුරක හෝ දියුණු තත්වයක හෝ වැඩිකල් ඔරොත්තු නොදේ. ඔබේ උගත්කම හෝ වැදගත්කමට වඩා ඔබ හැසිරෙන ප්‍රසන්න ස්වභාවයට නිතරම ජය අත්වේ. මෝඩ හා දරදඬු ස්වභාවය නිසා දිළිඳු තත්වයේ පසුවන අය තමන්ගේ නොදියුණුකමට හේතුව ග්‍රහ බලපෑම යයි විශ්වාස කරති.

විනීතකම නිසා ඔබේ අගය වැඩිවෙන බව මතක තබාගන්න.

වැඩිදුර ඉගෙන ගැනීමෙන් හා නිතර වගකීම් බාර ගැනීමට සූදානම්ව සිටීමෙන් හා තමන්ට අයත් වැඩ කොටස් ඉහළින් ඉටු කිරීම නිසා තමන්ගේ අගය වැඩිකර ගත හැකියි.

බොරැව, චාටුව හා අවංක නොවීම නිසා ඕනෑම කෙනෙකුගේ අගය අඩුවේ. තමන්ගේ ප්‍රමාණයට, ලැබෙන පඩියට හා බොරැ උජාරැවට කටයුතු කරන්නට යෑමෙන් ද තමන්ගේ වටිනාකම අඩුවේ.

වෑයම් කරන්නෝ වීරයෝය

ප්‍රශ්නය: වස්තු සම්පත් ඇති අය ආඩම්බර ඇයි?

පිළිතුර: වස්තු සම්පත් නැති අයට පෙනෙන්නේ ඒවා තියෙන අය ඉතා අහංකාර බවයි. ද යන්න මෙන් දෙකට නැවුනු ගම්බද තරැණයෙක් පිටරට ගියේය. ඔහු ආපසු ගමට පැමිණි පසු අලුත් මෝටර් බයිසිකලයක් මිල දී ගෙන ගමන් බිමන් යන්නට විය. හැමෝම දැන් ඔහු ඉතා ආඩම්බර බව කීහ. එසේ කීවේ ඔහු මෝටර් බයිසිකලයේ නැග යද්දී දෙකට නැවුනු ගතියක් නැති නිසාය. මෝටර් බයිසිකලයක ඍජුව වාඩි වී යෑම අහංකාරකමක් යැයි මෝඩ ඉරිසියාකාරයන් දකිති. මිනිසුන් කොන්ද කෙළින් තබාගෙන මිනිසුන් මෙන් ඉන්නවා දැකීමට මෝඩ ඉරිසියාකාර සිත් වලට වදයකි. ධනය නිසා කෙනෙකු ටික දිනක් යන තුරැ අහංකාර විය හැකියි. එහෙත් එයින් පසු නුවණ පෑදී නැවත නිරහංකාර නූනොත් ඔහු ධනවෙතක් නොවී සම්පත් අහිමි කරගන්නා මෝඩයෙකි.

ප්‍රශ්නය: හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ. ධනවත් වන මිනිසෙකු යැයි දැනගන්නේ කෙසේද?

පිළිතුර: කතා බහෙන් හා හැසිරීමෙන් කෙනෙකු ආර්ථික අතින් දියුණුවක් ලබන කෙනෙක් ද? එසේ නැත්නම් දුගියෙක් වෙන කෙනෙක් දැයි කිව හැකිය. වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් දේශපාලන වාද විවාද කරමින් කාලය ගෙවන පුද්ගලයා නිර්ධන පංතියේ දුගියෙකි. ආගම හා දර්ශනය විවේචනය කරමින් කාලය කා දමන්නා නිතර අගහිඟකම් වලින් පෙලෙන්නෙකි. සූදුව සුරාව හෝ ක්‍රීඩා හෝ අනුන්ගේ ඕපාදූප ගැන පමණක් කතා කරමින් කාලය කන්නේ දුගියෙකි. විනෝදය, ආදරය, චිත්‍රපටි ගැන කතා කරන්නේ දියුණුවක් නොලබන අයෙකි. ධනවත් වන පුද්ගලයා තමන්ගේ කතාව මුල් කරගන්නේ පිටරට යෑම, ආනයන අපනයන, සංචාරක කර්මාන්තය, ගොවිතැන, සත්ව පාලනය, වෙළඳාම, බැංකු කටයුතු හා මැණික් ආදිය ගැනයි.

ප්‍රශ්නය: හැමෝටම එක වගේ බුද්ධිය නැහැ. ඉතින් මෝඩ ජනයා බෝධි පූජා පැවැත්වීම, මල් පහන් පිදීම හා ගස් වලට කිරි පිදීම නිසා ඔවුන්ගේ සිතට සහනයක් ලැබේ. එහි ඇති වරද කුමක් ද?

පිළිතුර: කුඩා ළමයි සෙල්ලමට වැලි බත් උයා සිතට සතුටක් ලබති. එහි වරදක් නැත. එහෙත් එයින් බඩ පිරෙන්නේ නැහැ.  ඔවුන් ආහාර වේලක් ගත්තා යැයි අපි කියන්නේ නෑ. ඉතින් මෙවැනි වතාවත් කරද්දී එයට බුද්ධාගම යැයි කීම වැරදියි.

සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා 1983 අගෝස්තු 1

මිතුරන් වැඩි කරගන්න උපදෙස් දහයක්

1. පැමිණිලි, මැසිවිලි, කෙඳිරිලි අඩු කරන්න

2. කටින් ජයගැනීම හා රණ්ඩු කිරීමේ ආශාව ඉවත දමන්න

3. අනවශ්‍ය වාද විවාද වලට නොගොස් උපේක්ෂාව රකින්න

4. සැලකිලිමත් වන්න. සවන් දීමට සූදානම් වන්න

5. ඔබේ පෙනුම දියුණු කරගන්න

6. ඇති තැන එකකුත් නැති තැන තව එකකුත් නොකියන්න

7. තමන්ගේ වැඩ ගැන සෙවීමට ඉගෙන ගන්න. අනුන්ගේ වැඩට ඇඟිලි නොගසන්න

8. ප්‍රශංසා කළ යුතු තැන දී නිහඬ නොවන්න

9. ප්‍රසන්න අයෙකු වෙන්න. ආත්මාර්ථකාමී නොවන්න

10. හොඳ මිතුරෙක් (මිතුරියක්) වන්න

සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 ඔක්තෝබර් 1