බුද්ධි විකාශය අහුරන මිථ්‍යා විශ්වාස

සත්‍යයෙන් තොර යමක් හරි යැයි විශ්වාස කිරීම මිථ්‍යා විශ්වාසයක් ලෙස හැඳින්විය හැකිය. යමක සත්‍ය තත්වය අවබෝධ කරගත නොහැකි වීම හා යම් යම් දේවල් වලට බිය වීම නිසා මිථ්‍යා විශ්වාස බිහි වී තිබේ.

බමුණන් විසින් හෝ පැරැන්නන් විසින් පුස්කොළ පොත්වල ලියා තබන සියළුම දේ සත්‍ය යයි විශ්වාස කිරීමට බොහෝ අඥාන මිනිස්සු පෙළඹෙති.

යම් ගමනක් ගිය අයෙකුට ඒ ගමන අසාර්ථක වූවා යයි සිතමු. ඒ ගැන අසන තවත් අයෙක් එය සම්පූර්ණයෙන්ම විශ්වාස කළහොත් ඔහු යන ගමන ද අසාර්ථක විය හැකියි.

මාසේ අමාවක පොහොය දිනක රාත්‍රියේ සටන් වැදීමට අවි ආයුධ ගත්තොත් පරාජය අත්වන බව අප්‍රිකාවේ එක් ගෝත්‍රික ජන කොට්ඨාශයක් ඇදහූ විශ්වාසයකි. මෙය දැනගත් වෙනත් ගෝත්‍රිකයෝ මෙම දිනය හොයා ගෙන සටන් ආරම්භ කොට ඉතා පහසුවෙන්ම ජය අත් කරගත් බව අප්‍රිකානු ජන කතාවක සඳහන් වේ.

බමුණා කියා තිබෙන්නේ දෙවියන්ට පින්පෙත් දෙන මිනිසුන් සිටින රටවල් දෙවියන් විසින් ඉතා හොඳින් ආරක්ෂා කරන බවයි. නමුත් ලෝකයේ මුලින්ම පරමාණු බෝම්බයකින් විනාශ වූයේ බෞද්ධයින් වාසය කරන රටකි. බමුණා කියූ කතාවේ සත්‍ය අසත්‍ය එයින්ම අපට පැහැදිලි වේ.

බොහෝ විට අප අනුගමනය කරන යම් යම් චාරිත්‍රවල කිසිම තේරුමක් නැත. එම චාරිත්‍ර මිනිසා අනුගමනය කිරීම නිසා ඔවුන්ට කිසිම යහපතක් සිදුනොවේ. කබරගොයෙක් ගෙට පැමිණියාම ගෙදර කිසිවෙකු හෝ මැරෙන බව සමහර අය විශ්වාස කරති. මෙවැනි මිථ්‍යා විශ්වාස නිසා අපේ මනස මොට වනවා මිස වෙන කිසිවක් සිදු නොවේ.

අප පුරුදු වී සිටින්නේ අපට වටහා ගත නොහැකි යම් දෙයක් සිදු වූ විට එය යම්කිසි බාහිර දෙයක් සමඟ සම්බන්ධ කොට යම් අද්භූත ආකාරයකින් තේරුම් ගැනීමයි. නමුත් මෙලෙස බාහිර දේවල් වල එල්ලී සිටින සමාජයකට, මානසික හෝ භෞතික දියුණුවක් ලැබිය නොහැකිය.

යම්කිසි ගමනක් යන්න ආරම්භ කළ විට ශ්‍රමනයෙකු මුණ ගැසුනොත් බාධා වන බව බමුණා කීය. නමුත් මෙලෙස ශ්‍රමනයෙකු හමුවීම මංගල කාරණයක් ලෙස “සමනා නංච දස්සනං” යනාදී වශයෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළහ.

-සුමනදාස සමරසිංහ ශූරීන්ගේ සතිපතා දේශන ඇසුරෙනි, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 ජනවාරි 1

Advertisements

අඥානකම දුකට හේතුවේ

දැඩි අඥානකම නිසා මිනිසා තුල පහළ වී ඇති ලෝබය මුල් කරගෙන වංචාව, මුලා කිරීම, බොරුව හා නොයෙකුත් ප්‍රයෝගකාරී ක්‍රියා බිහිවන්නේය. එහි ප්‍රතිවිපාක වශයෙන් ශිෂ්ඨ සම්පන්න දියුණු සමාජයක් ඇතිවීම වැළකී යයි.

ඉතා නොදියුණු ම්ලේච්ඡ ජාතීන් අතර බොරුව හා වංචාව නැත. එහෙත් ඊට වඩා ඉක්මණින් පලදෙන කෝපය, අනුකම්පා විරහිත බව හා අඥානකම බහුලය. වනාචාරී යුගයෙන් තරමක් ඉදිරියට පා තබන මිනිසා එයිනුත් ඉදිරියට සීඝ්‍රයෙන් යෑමට සිතයි. ඒ සඳහා ඔහු යා යුතු මාර්ගය හොර බොරු වංචා ඔස්සේ යෑම යැයි සිතයි. මෙය තිරිංග තද කරගෙන වේගයෙන් යන්නට වෑයම් කිරීමක් බව ඔහුට වටහා දීමට රටපුරා දැඩි ප්‍රචාරයකින් මිනිස් දහම් පිළිබඳ යථාවබෝධය පතුරුවා හැරීමෙන් කළ හැකියි.

තමන්ගේ හොඳ නමට කැළලක් වෙනවාට අකමැති සමාජයක් බිහිවෙන තුරු රටක් ජාතියක් දියුණු වෙන්නේ නැත. පොරොන්දු ඉටු නොකරන, වචනය කඩ කරන, සේවය පැහැර හරිමින් වෘත්තියට නින්දා කරන මිනිසුන් ගෝත්‍රික වනචාරී මිනිසුන් මෙන් වඳ වී යෑමට වැඩි කලක් ගත නොවේ. පහසුවෙන් ධනය උපයන මාර්ග යනු හොරකම හා බොරු වංචා කිරීමේ මාර්ග නොවන බව කුඩා කල පටන් පුංචි මොළවල සටහන් කළ යුතුය.

මහා හෝටල් සහ විශාල කඩ සාප්පු පාරිභෝගිකයින්ට හොර වංචා කළහොත් ඒවායේ පහත වැටීම ස්ථිරය. එසේනම් කුඩා හෝටල් සහ කුඩා පුංචි කඩ සාප්පු වලට එසේ කිරීමෙන් සිදුවන්නේ කුමක් ද? යමක් හැමදාම අපිරිසිදු නොදියුණු තත්වයේ පවතින රහස කුමක් ද?

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 අගෝස්තු 15

ඔබ කොයිතරම් සංසුන් ද?

සංසුන් ගති ඇති පුද්ගලයා ආත්ම විශ්වාසය අධික පුද්ගලයෙකි. මහජනයා අතර ගැටී ඕනෑම පුද්ගලයෙකු ඇසුරු කරන අන්දම ගැන ඔවුනට අත්දැකීම් තිබේ.

ඔබ තමන් ගැනම හිතන අයෙකුට වඩා අනුන් කෙරෙහි ද සැලකිලිමත් වන අයෙකු වේ නම් ඔබ ළඟ මනා සංසුන්කමක් ඇති වේ.

වගකීම් බාරගැනීමට සූදානම් පුද්ගලයා මහජන කටයුතු වලින් අධික විනෝදයක් ලබයි නම් සියල්ලෝම ඔහු වටා රොක්වීමට වහා සූදානම් වෙති.

අනුන්ගේ අවධානය ඔබ වෙත දිනා ගැනීම සඳහා ඔබ උස් හඬින් කතා කළ යුත්තේ කලාතුරකිනි.

අන් අය කලබල වී එකට එක කියාගෙන වාද විවාදයට යද්දී ඔබ වැඩියෙන් සංසුන් වීමට මතක් කරගන්න.

නිතරම ප්‍රසන්න මුහුණකින් ඉන්නේ දැයි විමසා බලන්නට අමතක නොකරන්න.

අනවශ්‍ය ලෙස කලබලවීමෙන් පසුව තැවෙන්නට සිද්ධ වේ නම් ඇයි අනවශ්‍ය ලෙසින් කලබල වෙන්නේ?

පටලැවිලි, ආරවුල් සහ අනුන්ගේ ප්‍රශ්න ගැන වැඩියෙන් කාලයක් සිතින් වැය කරන්නේ තමන් තුල සංසුන්බව අඩු අයයි. ඔබ වැඩියෙන් කාලය වැය කළ යුත්තේ ඔබේ ඉලක්කයන් කරා යන ඔබේ සැලැස්ම වෙනුවෙන්.

සංසුන් බව වඩවා ගත යුත්තකි. සංසුන් ව නිසා මුහුණ දෙන ප්‍රශ්න පහසුවෙන් විසඳා ගැනීමේ හැකියාව ලැබේ.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1978 පෙබරවාරි 15

වාසනාවේ දොර ඇර ගැනීමට මෙන්න යතුරක්

අප කෙනෙකු ගෙන් නිතරම අසන්නේ ඔහුගේ ජීවිතය සාර්ථක වීමට හේතු වූ කරුණු මොනවා ද කියාය. ජීවිතය අසාර්ථක කරගත් කාලකණ්ණි අයෙකු ගෙන් ඔහුගේ ජීවිතය අසාර්ථක වීමට හේතු වූයේ මොනවා දැයි අසන්නේ කලාතුරකින් අයෙකි.

ජීවිතයක් අසාර්ථක වීමට හේතු මෙන්න මේවා යැයි කීමට නොදන්නා අයෙකු නැත. එහෙත් වැඩිදෙනා ජීවිතයක් සාර්ථක වීමට හේතුවන කරුණු ගැන දරන්නේ මිථ්‍යා විශ්වාසයන් ය.

සාර්ථක ජීවිතයකට දොර විවෘත කර ගැනීමට අසතුටු කෙනෙකු නැත. හැමෝටම එහි රහස දැන ගැනීමට ඕනෑ කෙරේ. එහෙත් වැඩිදෙනා හිතන්නේ තම ජීවිතය සාර්ථක නොවන්නේ අන් බලවේගයක බලපෑමක් නිසා වෙන්නට ඇතැයි කියාය. ඔබ එසේ සිතා සිටින තුරු ඔබේ ජීවිතය සාර්ථක නොවේ.

අන් කෙනෙකුගේ සාර්ථක භාවය කෙරෙහි ඔබ ඉරිසියා කරනවා නම් එම ඉරිසියා සිත ඔබව හකුළුවා තබයි. ඔබට ඔබේ දියුණුව ගැන සිතන්නට කාල වේලා නැත. ඒ නිසා ද ඔබ පිරිහෙයි. අනුන්ගේ සාර්ථක ජීවිත හා සාර්ථක ව්‍යාපාර ගැන ඉරිසියා කරමින් තමන්ගේ ජීවිතය අසාර්ථක කරගෙන සිටින අය නිතර මෙසේ සිතිය යුතුය.

අන් අයට සාර්ථක වෙන්න දියුණු වෙන්න පුළුවන් නම් මටත් සාර්ථක වෙන්න දියුණු වෙන්න පුළුවන්.

බොහෝ දෙනා සිතින් තැවෙමින් මට විතරක් දියුණු වෙන්න බැරි ඇයි කියමින් ලතවෙති. ඒ අය නිතර නිතර ඇසුරු කරන්නේ ද තමා මෙන් ම තැවෙන හා දියුණුවක් නැති අයමයි.

මොනවා කළත් හරියන්නේ නැතැයි කියන පුද්ගලයා ඇසුරු කරන්නේ තමා මෙන්ම පරාජිත වූ මිනිසුන්මය. ඔහුගේ මිතුරන්ගේ සංඛ්‍යාව සීමාසහිතය. එම නිසා තමාට හරියන දෙයක් ගැන කියා දීමට හැකි අයෙකු ඒ ඇසුරු කරන අය අතුරින් ඔහුට මුණ ගැසෙන්නේ නැත.

බොහෝ විට ඒ නිසා කෙනෙකුට සාර්ථක වීමට මග පාදා දෙන්නේ තමා ඇසුරු කරන අයගෙන් පිට සිටින අයෙකි. ඔබේ දියුණුව අතරමඟ නතර වී ඇත්නම් හා හැමදාම ඔබ එකම තැන සිටින අයෙකු නම් දැන් අවදි විය යුතු වේලාව පැමිණ ඇත.

ඔබේ මිතුරන් සිටින මනෝ ලෝකයෙන් ඈතට යන්න. අලුත් අය දැන හැඳින ගන්න. ප්‍රිය වචනයෙන් හා සිනාමුසු මුහුණින් යුක්ත වන්න. දුකට පත් වෙච්ච මූසල මුහුණක් ඇති අයෙකුට පිහිට වීමට වඩා සතුටු සිතකින් සිටින ප්‍රසන්න අයෙකුට පිහිටවීමට සාර්ථක අය කැමතියි.

දුක කියා අනුන්ගේ අනුකම්පාව ලබන්නට යෑමෙන් ඔබ තව තවත් දුකටම පත්වෙන්නේය.

ඔබ කරන රක්ෂාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන්න. එවිට ඔබේ දියුණුව සැලසේ. “මහන්සි වුනත් නැතත් මාසේ අන්තිමට පඩිය විතරයි,” කියන අය රක්ෂාව සම්බන්ධ දක්ෂතාවයක් හා උසස්වීම් ලැබීමට සුදුසුකම් ඇත්තෝ නොවෙති.

ඔබ කරන රැකියාව නිසා සිදුවිය යුතු සේවයක් ඇත. එය හරියාකාරව ඉටුවෙන්නේ නැතිනම් පඩි ලැබීමට ඔබ සුදුස්සෙකු නොවේ.

ඔබ දැන් ගත කරන ජීවිතය කුමක් වුවත් එය ඔබට වාසනාව උදා කරවීමේ ශක්තියක් ඇති ජීවිතයක් බව සිතන්න. කොහේ හිටියත් ඔබට සිතීමේ නිදහස ඇත. එම නිදහස ඔබෙන් උදුරා ගැනීමට කිසිවෙකුට බැරිය.

නොබෝදා ඉතා අවංක අයෙකු යැයි තමාම කියාගන්නා පුද්ගලයෙකු මට හමුවිය. “අවංක වීමෙන් මට සිදුවුන යහපතක් නෑ,” යැයි ඔහු කීය. මමත් ඔහු හා එකඟ වුනෙමි. අවංක වූ පලියට ධන සම්පත් ගලා එන්නේ නැත. අවංක වී බුම්මා ගෙන සිටියොත්? අවංක වී අලසව සිටියොත්? අවංක වී මහපාරේ නිදා ගත්තොත්?

ඔහුට කාරණය වහා වැටහුනි. ඔහු අවංක වී අහංකාර වී සිටියේය. අවංක වී බුම්මාගෙන සිටියේය. දැන් ඒ දෙකම අවබෝධයෙන් ජයගත් ඔහු සාර්ථක ජීවිතයකට අත්තිවාරම දමාගෙන ඇත.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1978 පෙබරවාරි 15

ලොක්කන්ට ආරූඪ වෙන්න පුළුවන් භූතයෙකු ඕනෑ!

මහජනතාවගේ පින්පෙත් ලබන තිස්තුන් කෝටියක් දෙවිවරුනි! රටපුරා අහිංසක මෝඩ කාන්තාවන්ට හා බුද්ධි හීන පිරිමින්ට වැහෙන භුතයනි! අපේ පාලක පක්ෂයකට ආරූඪ වී රටේ දියුණුවට පේන කියා නොපෙනෙන ධන සම්පත් ඛණිජ තෙල් උල්පත් මතුකර දීමට ඉදිරිපත් වන්න. එයට කාලය දැන් පැමිණ ඇත.

සාමාන්‍ය මිනිසුන්ට වඩා දුර පෙනෙන දිවැස් ඇති දෙවිවරුනි! අපි දෙන පින්පෙත් ලබමින් අප ගැන නොසලකා සිටීම වැරදි බව දැන්වත් තේරුම් ගන්න. දෙවියන් වන ඔබ වහන්සේලා මනුෂ්‍යයන්ට වඩා උත්තම වූ අය විය යුතුය. එම නිසා සිල්වත් කමක් නැති, හරි ඉගෙනීමක් නැති, බුද්ධියක් නොමැති අහිංසක මෝඩයෙකු තෝරාගෙන ඔහුට ආවේශ වීම නතර කරන්න.

මෝඩ මිනිසෙකුට ආරූඪ වී ඔහු ලවා පේන කියනවා වෙනුවට, ඔහු ලවා වැරදි කරුවන්ට දඬුවම් දීම වෙනුවට, නැතිවුනු හරකුන් සොයා දීමට සහාය වෙනවා වෙනුවට, අපි දෙන පින් අරගෙන අපේ රටට යහපතක් වන පරිදි ඛනිජ සම්පත් ඇති තැන් සොයා දෙන්න.

ඔබ වහන්සේලාට පින් නොදෙන පිටරටවල මිනිසුන්ට හැම සම්පතක්ම ලබා දී ඒ පිටරැටියන් ගෙන් අපට අවශ්‍ය කෑම ටික පවා හිඟා ගැනීමට සැලැස්වීම දැන්වත් නතර කරන්න. දෙවියන් වුවත් සාධාරණ යුක්ති ගරුක අය විය යුතුය. පින් දෙන අපටම කරදර ලෙඩ දුක් දී හිඟමනට පත් කිරීම හා පින් නොදෙන පිටරැටියන්ට හැම සම්පතක්ම දීම කුමන දේව ධර්මයක් ද?

පෙර ජාතිය හා මී ළඟ ජාතිය අපිට කියා දෙමින් කාලය නාස්ති කරනවාට වඩා මේ දැන් අපි ඉපදී සිටින ජාතිය දියුණු කරගැනීමට අපට උපදෙස් දෙන්න.

භූතයින් ලෙසින් තවමත් අපේ කුඩා දිවයිනටම කොන් වී සිටින යකුනි! ප්‍රේතයිනි! වැරදි කරන අපරාධ කරන එකම පුද්ගලයෙකුට හෝ තොපි තවම වැහී නැත. භූතයෝ වන තොපි වැහෙන්නේත් අසරණ මෝඩ මන්ද බුද්ධික ගැහැණු පරාණයකටමයි.

ගෙවල් වලට ගල් ගැසීම, මුට්ටි පෙරලීම හා බාල්දි පෙරලීම හැර භූතයන් වන තොපට වෙන වැඩක් නැද්ද?

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1978 මාර්තු 15

පන්සිල් ගන්නවාට වඩා පන්සිල් රැකීම උතුම්

“පන්සිල් ගන්නවාට වඩා පන්සිල් රැකීම උතුම්. නිතර නිතර පන්සිල් සිහි කිරීම නිසා කෙනෙකුගේ චරිත ශුද්ධිය ඇති වේ,” යැයි 1978 අප්‍රේල් 23 වැනි දා පානදුර රංකොත් විහාර දහම් පාසැලේ දී “මිනිස් සිත” මැයෙන් දේශනයක් පැවැත් වූ සුමනදාස සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පන්සිල් වල ඇති මනෝවිද්‍යාත්මක වටිනාකම ඔහු තව දුරටත් මෙසේ විස්තර කරන ලදි.

කෙනෙකු සතුන් නොමරමි යැයි අවංකව සිතට එකඟව නිතර නිතර කියන විට සතෙකු මරන්නට අවස්ථාවක් එළඹුනත් එය කළ නොහැකි කාර්යයක් වන්නේය. එසේ වන්නේ ස්වකීය මනසට කවාගෙන ඇති යෝජනාව අනුව මනස ක්‍රියාත්මක වී ශරීරයේ මාංශ පේශීන් එම ක්‍රියාව කරන්නට ඉඩ නොතබා දුර්වල වීමයි. සතුන් නොමරමි යැයි අවංකව කියන පුද්ගලයාට සතෙකුගේ ඇඟේ වදින විදියට ඉලක්කයට ගලක් හෝ ගැසීමට බැරි ය.

අනුන්ගේ දෙයක් හොර හිතින් ගන්නේ තමන්ට නැති නිසාය. තමන්ට ‘නැත’ යන අදහස සිතට කවා ගන්නා පුද්ගලයා හැමදාම දුගියෙකි. හොරාට යමක් හොරකම් කිරීමෙන් ලැබෙන සතුටට වඩා දුකෙන් හා බියෙන් ජීවත්වීමට සිදුවේ. ඔහුට කෙළින් කතා කිරීමට බැරිය. සිත නිතරම චංචලය. නිතරම මානසික අසහනයෙන් ම කාලය ගෙවන්නට සිදුවේ.

කාමයෙහි වරදවා හැසිරීම යනු පංච කාමයෙහිම වරදවා හැසිරීමයි. චිත්‍රපටියක්, නාට්‍යයක් වැනි දෙයක් මුදල් නොගෙවා හොරෙන් නැරඹීම රූප නොහොත් දර්ශන කාමය වරදවා හැසිරීමයි. එතැන අනුන්ගේ දෙයක් සොර සිතින් ගැනීමක් සිදුවේ. ශබ්දයක් වුවත් වාදන, සංගීත හා කණ පිනවන විහිළු තහළු නියමිත විදියට නැතිව හරොන් සවන් දීමෙන් කාමය වරදවා හැසිරීමක් සිදුවේ.

බොරු කීම යනු සිතේ ඇති සත්‍ය ස්වභාවය වසන් කිරීමකි. කුමන අයුරකින් හෝ සිතේ ස්වභාවය වසන් කිරීම නිසා ඥානය පුළුල් වීම සිදු නොවේ. බොරු කියන්නට පුරුදු වූ පුද්ගලයා ලැජ්ජා බිය නැතිව ඕනෑම බොරුවක් කීමට පෙළඹේ. සිතේ නියම ස්වභාවය වසන් කළ විට, අසත්‍ය කීමට පුරුදු වූ විට ඔහුට සත්‍යාවබෝධයට ඇති ඉඩකඩ සිත තුල ඇහිරී යයි. ඔහුගේ සිත බොරු කීම සඳහා එල්ල වී ඇති නිසා යහපත් දෙයට යොමු කිරීමට බැරිය. බොරු කියන්නා නිතරම තමා කී බොරු හෙළිවේය යන බියෙන් ගැහේ. සමාජයේ පිළිගැනීමක් නැත. ඇත්තක් පැවසුවත් ඔහුව විශ්වාස කරන අයෙකු නැත.

අන්තිමට ඇති මත්පැන් පානය නිසා මුලින් කී පව් හතරම කරන්න කෙනෙකුට පුළුවන. සිහිය වෙනස් වීම නිසා බුද්ධිමත් භාවය අඩුය. ශාරිරික හා මානසික ලෙඩදුක් වලට භාජනය වේ. මත්පැන් බොන්නේ සිතේ සතුට නැති අයයි. එහෙත් මත්පැන් බීම නිසා ලබන තාවකාලික සතුට බොහෝවිට ජීවිතය තිබෙන තුරු දුක් විඳීමට හේතුවන විදියේ සිද්ධියකට තුඩු දිය හැකිය.

1978 මැයි 1 දා චිත්ත ධර්ම විද්‍යා පත්‍රයෙනි.