ඔබ මත් වී සිටින්නෙකි

කෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමට පෙර වෙනත් විදියකින් මත්වන්නේය. මත්ද්‍රව්‍ය ගෙන මත්වීමට පත්වන්නේ මේ විදියට ඊට කලින් මත් වූ මිනිසුන්ය. එම නිසා මත් ද්‍රව්‍ය වලට වඩා භයානක වන්නේ මත්ද්‍රව්‍ය වලට මිනිසා පොළඹවන මෙම මානසික දුබලතාවයයි.

අප අතර ජීවත්වන ජනයා ගෙන් වැඩි දෙනෙක් අහංකාරකමෙන් මත් වී සිටිති. සමහරු අහංකාරකම උත්සන්න වීම නිසා උමතු වී සිටිති. කෙනෙකු සිහි විකල වූවෙකු ලෙස හැසිරවීමට සමත් අහංකාරකම, දැඩි මෝඩකම නිසා සිතක උපදින අධර්මයකි. ගංජා සහ අබින් වැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා උමතු වූ අයෙකු හෝ මත් වූ අයෙකු මෙන් අහංකාරකම නැමති සිතුවිල්ල නිසා මත් වූ අයෙකු හැසිරෙයි.

අහංකාරකමින් මත් වූ පුද්ගලයා ඉතා ටික කලක දී සමාජයෙන් කොන් වෙයි. ඔහු යන එන සෑම තැනක දී ම අන් අයගේ අප්‍රසාදයට පත් වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජයෙන් කොන්වන පුද්ගලයා ස්වකීය පාළුව මකා ගැනීමේ මාර්ගයක් වශයෙන් බෝතලයකට හෝ මත් ද්‍රව්‍යයකට සමීප වෙයි. ඔහු තම ඉදිරි කාලය ගත කරන්නේ මත් වී සිටීමෙනි.

රාගයෙන් මත් වූ අයෙකු ගැන සිතන්න. ඔහු හෝ ඇය එම අවස්ථාවේ සිටින්නේ උමතු වූවෙකු ලෙසිනි. එයට හේතුව රාගය උමතුවක් වීම නිසා නොවේ. නමුත් රාගය උත්සන්න වීමෙන් උමතුවක් ජනිත වීමය. තිරිසන් සතුන් දෙස බැලීමෙන් මෙම උමතුව වටහා ගැනීම පහසුය. මිනිසා තිරිසනාට වඩා වෙනස් වන්නේ තමන්ගේ සිතුවිලි තමන්ට පාලනය කරගත හැකිවීම අතින් පමණකි.

ශාරීරික රෝගාබාධ නිසා ඇතිවන මත්වීම් අතර නිදිමතය ද එකකි. ශරීරයට අවශ්‍ය පමණට වඩා නිදිමත වීම ද අහිතකරය. ස්වභාවික නිදිමත අපට හිතකරය.

මිනිසුන් ශෝකයෙන් මුසුපත් වනු ඔබ දැක ඇතැයි සිතමි. ක්‍රෝධය, කෝපය, ඉරිසියාව හා දැඩි ද්වේෂය මිනිසුන්ගේ සිහි විකල් කරවයි. සිහි මුර්ඡාවීම, උන්මාදය, ඔල්මාදය හා කෝපයෙන් වෙව්ලීම වැනි සිද්ධීන් ඔබ දැක ඇත. ඉහත කී සෑම ඉරියව්වක්ම උමතුවක ලක්ෂණයකි. කෝපය ඉහවහා යෑම නිසා ඇතැම් දේශපාලනඥයන් දත් මිටි කමින්, අත් මිට මොළවා ගෙන වෙව්ල වෙව්ලා කතා කරන අයුරු මා දැක තිබේ.

කෝපය, ක්‍රෝධය, වෛරය හා දැඩි අහංකාරකම මුල් කරගෙන සිහි විකල වූ අය මානසික රෝහල් වල දී හමු වී ඇත. බාහිර වශයෙන් ශරීර ගත කරනු ලබන මත්පැන් හා මත්ද්‍රව්‍ය හැරුණු විට ශරීරය තුලින් ම නිපදවා ගන්නා මත්වීම එක සේ භයානක බව කිව යුතුය.

දුම්පානයට ඇබ්බැහි වූ අය හිටි අඩියේ දුම්බීම නතර කිරීම නිසා දැඩි මානසික අසහනයට පත්ව සුළුවෙන් සිහි විකල වූ අය ලෙස හැසිරෙති. ඔවුනට මානසික සමබරතාවය තබා ගැනීමට සිගරට් දුම් අවශ්‍ය වී තිබුණි. දුම් බීමෙන් සිහි විකල වූ මොළයේ සෛල එය නැවැත්වීම නිසා නැවත වරක් අසංවර වී පුද්ගලයා පෙළන්නට පටන් ගනී. කෙසේ හෝ ඔහු එයට හසු නොවී ඉවසා ගෙන සිටිය හොත් දුම් නැතිව සුවසේ සංසුන්ව සිටීමට සෛල පුරුදු වෙයි. වෙන ඕනෑම මත් ද්‍රව්‍යයක් වුව ද එසේය. ඕනෑම මානසික අධර්මයක් වුව ද එයට ජීවත්වීමට හා උපත ලැබීමට අවශ්‍ය ආහාර නොලැබීමෙන් මැරී යයි.

මත් වූ හෝ කුල්මත් වූ අයෙකුගේ සිත නියම අන්දමින් ක්‍රියා කරන්නේ නැත. රාගයෙන් කුල්මත් වූ තරුණ අය චාරිත්‍ර, ධර්ම, සාර ධර්ම හා වෙනත් සංස්කෘතික අවශ්‍යතාවයන් කුඩුපට්ටම් කරගෙන තමන්ගේ සිතැඟි ඉටුකර ගැනීමට පෙළඹෙයි. එයට ආලය අන්ධ යයි ද කියති. අරක්කු, ගංජා හෝ අබිං ආදියට වහල් වූ අය ද හැසිරෙන්නේ එක් විදියකින් නැත්නම් තවත් විදියකින් උමතු වූවන් ලෙසය.

රජයේ ප්‍රතිපත්ති වලට එරෙහි වීම නිසා සිහිය අවුල් කරගත් උගතුන් රාශියක් මට මුණ ගැසී ඇත. අනුන් විවේචනය කිරීමට වෙනුවට අනුන්ට මඩ ගසන පුද්ගලයින් ඉරිසියාවෙන් මත්වූවන් ලෙස හඳුනාගන්න.

උමතු වූ පුද්ගලයා තමාට උමතුවක් ඇතැයි කියා සිතන්නේ නැත. ඔහු හෝ ඇය තමා සිහි විකල් වූ අයෙකු බව ද දන්නේ නැත. මත් වී සිටින බව වටහා ගනී නම් ඔහු බාගෙට මත් වූ අයෙකි. තමාගේ සිහිය හොඳ මදි බව යම් අයෙකු දන්නේ නම් එම දැනුම ඔහුගේ ගැලවීමට මාර්ගයකි.

මත්වීම හා මුලාවීම අතර ඇති වෙනස ඉතා අල්පය. මත් වූ පුද්ගලයා බාහිර වශයෙන් ඒ බව පෙන්වයි. මුලා වූ පුද්ගලයා හඳුනාගත හැක්කේ ඔහුගේ කියුම් හා කෙරුම් අනුවය. බොහෝ උගතුන් උගත්කමින් මත් වී සිටිති. භෞතික දෙයකින් මත් වූ අයෙකු එයට ඇබ්බැහි වීමෙන් වළක්වා ගැනීම නිසා සුවකර ගත හැකිය. එහෙත් තමන්ගේ ම සිතුවිලි වලින්, තීරණ වලින් හා අන්ධ විශ්වාසයන් ගෙන් මුලා වී මත් වී සිටින අය උගතුන් ද වී නම්, ඒ අය ගලවා ගැනීමට කිසිවෙකුට බැරිය.

බුද්ධාගමට දොස් කියන විට බෞද්ධයාගේ මුහුණේ වර්ණය වෙනස් වෙයි. ඔහු බුද්ධාගමෙන් මත් වී සිටින්නෙකි. වෙනත් ආගමිකයන් ද එසේය. ජාති භේද, කුල භේද ආදිය මිනිසුන් මත් කරවීමට සමත් අධර්මයන්ය. බුද්ධාගම අවබෝධයෙන් දැන සිටින අය කවුරු මොනවා එයට විරුද්ධව කීවත් කෝප නොවෙති. කිතුණු දහම හෝ ඉස්ලාම් දහම අවබෝධයෙන් සිටින අය ද එසේය.

හොඳ සිහියෙන් සිටින කෙනෙකු කිසිකලෙක නරක වැඩක් කරන්නේ නැත. නරක වැඩ කිරීම සඳහා නිතරම මත්වීමක් අවශ්‍ය වේ. එවිට සිහි විකල වන නිසා ඕනෑම පහත් තිරිසන් ක්‍රියාවක් කළ හැකිය. මේ නිසා පහත් මිනිස්සු තමන්ටත් වඩා පහත් වැඩ කිරීමට පහසුවීම සඳහා මත්වෙති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1

ඔබ ගැන ඔබ දරණ මතය හරි ද?

ඔබ ගැන ඔබ දරණ මතය හරි ද? එසේ නම් ඔබ දියුණු වන්නෙකි. කිසිම දියුණුවක් නැත්තේ වැරදි මත දරා සිටින අයටයි.

අනිකුත් බොහෝ පුරුදු මෙන් ප්‍රශ්න වලින් පලා යෑමට පුරුදු වීම ද කෙනෙකුගේ ජීවිතය අසාර්ථක වීමට ප්‍රබල හේතුවකි. විසඳීමට අපහසු ප්‍රශ්න මතු වූ විට අපි ඒවාට මුහුණ දෙන්නේ කෙසේ ද? අපේ ජීවිත හැඩ ගැසෙන්නේ අප ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය අනුව හා ඒවා විසඳන වේගය අනුවය.

සිංහල ජනයා තම කුඩා දරුවන්ට ඉතා සුළු කාරණයක දී පවා පිහිට වෙයි. මෙසේ පිහිට වීම නිසා දරුවා අනුන්ගේ පිහිට බලාපොරොත්තු වන්නට පුරුදු වන්නේය. දරුවෙකුට හෝ වෙනත් වැඩිහිටියෙකුට හෝ ආධාර උපකාර විය යුත්තේ ඔහුට එය තනිවම කරන්නට බැහැයි කියා නොව ඔහුට එය තනිවම කරන හැටි උගන්වා දීමෙනි.

සමහරු ඉතා දුෂ්කර ප්‍රශ්න විසඳීම සඳහා ඉමහත් වෑයමකින් කටයුතු කරති. එහෙත් ඉතා සුළු ප්‍රශ්න වලට බයේ හැකිලී සිටිති. තනිවම තැනකට යන්නට බැරි හා තනිවම යමක් කරන්නට බැරි හැඩිදැඩි පිරිමි දකින විට අපිට ඇතිවන්නේ දුකකි. ඔබත් නිතරම පසුබට වන්නෙක් ද? එසේ පසුබට වීමට හේතුව සොයා එය නැති කරගන්න. බියකින් හෝ හීනමානයකින් පෙලෙන පුද්ගලයා ඒවාට උඩින් ධනය හා දියුණුව ගොඩ ගසන්නට තැත් කළාට අසුවන්නේ ඉතා ටිකකි.

සායමක් පෙවීමට පෙර රෙදිකඩ පැල්ලම් රහිත පිරිසිදු එකක් බවට පත්කර ගත යුතුය. දුබලකම් වසා ගැනීම සඳහා කටින් පමණක් වීරකම් දක්වන සෑම කෙනෙක්ම ක්‍රියාවෙන් වීරකම් නොදක්වන බව අපට පෙනී ගොස් තිබේ.

ඔබේ ප්‍රශ්නය ඉතා හොඳින් දන්නේ ඔබයි. එය විසඳීමේ මාර්ගය ඇත්තේ ඔබේ මනස තුලය. පසුබට වීම, අදිමදි කිරීම, කල්දැමීම, අන් අය පිට දොස් පැවරීම යනාදිය ඔබේ සිරිතක් නම් එම සිරිත ඉතා බාල පහත් පුරුද්දක් බව තේරුම් ගන්න. වීරයෙකු වීමට ඕනෑ කරන්නේ ඉතා සුළු වෙනස්කමකි. එනම්, තමන්ගේ සිත තුල ඇති බිය පහකර ගැනීම පමණකි.

අනුන්ගේ අඩුපාඩු හා දුබලකම් ගැන නිතර නිතර කියන්නේ තමන් ළඟ එයටත් වඩා අඩුපාඩු හා දුර්වලකම් ඇති අයයි. ඔව්හු අනුන්ගේ දුබලකම් හා තමන්ගේ දුබලකම් සසඳා බලමින් තමන් ඔවුනට වඩා හොඳ යැයි තීරණය කරති. ඒ අන්දමින් ඔව්හු තෘප්තියක් ලබනවා මිස කිසි කලෙක තමන්ගේ දුබලකම් ජයගැනීමට කටයුතු නොකරති.

ඕනෑම කෙනෙකුට තමන්ගේ බොහෝ දුබලකම් ජයගැනීමට පුළුවන. ගතවන්නේ සිත වෙනස් කර ගැනීමට යන සුළු කාලය පමණි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1

ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි?

ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි? මිනිසා ආගම හා ධර්මය අවබෝධ කරගන්නවා වෙනුවට බදාගෙන සිටීම නිසාය. ආගම් බදාගෙන, වැළඳගෙන මත් වූ ජනයා ආගම හා ධර්මය වෙනුවෙන් මිනී මරති. මුලාවීමට කැමති ජනයා අතර මෝඩයන්ට විශේෂ තැනක් ලැබේ.

මෝඩයා යනු කල්පනා කිරීමට නොදන්නා කෙනෙකුට කියන වචනයකි. ඕනෑකමින් කල්පනා කර බලන තුරු අක්‍රිය වී පවතින මිනිස් මොළය එසේම අක්‍රිය වී තිබෙන්නට හරින ජනයා සිටිති. ඔව්හු බාහිර වශයෙන් නරයන් ලෙසින් පෙනුනත් ඇත්ත වශයෙන්ම තවම පරිනාමය නොවූ වානරයන්ය.

මත්පැන් බී වෙරි ගතියක් ලබා ගන්නා පුද්ගලයා තමා ළඟ නැති හයියක් හෝ විලිලැජ්ජා නැතිකමක් ලබාගැනීමට මත්පැන් බොයි. ඔහු තමාගේ වේශය ඕනෑකමින් වෙනස් කරගන්නෙකි. වෙස් මාරු කරගැනීමට සිතන්නේ දුබලයෙකි. තමාගේ නියම සැටි අන් අය දැනගත්තොත් හොඳ නැතැයි සිතා ඔහු ගෙදර එන්නේ අසල්වැසි තරහකාරයාට තමා බිය නැති අයෙකු බව පෙන්වීම සඳහා වෙරි වී ගෙනයි. මෙසේ පළමුව තමන් මුලා වී දෙවනුව අනුන් මුලා කළ හැකි යැයි සිතන අය බොහෝ සිටිති.

ඇසට පෙනෙන පියවි ලෝකයට බියක් දක්වන පුද්ගලයා තම ප්‍රශ්න වලින් පැන යාමට මත්වෙයි. ඔහු හා වැල්ලේ හිස සඟවා ගෙන ශරීරය පිටතට රුවාගන්නා පැස්බරා අතර ලොකු වෙනසක් නැත.

මත්ද්‍රව්‍යය නිසා මත් වන පුද්ගලයා කරන්නේ තමන්ගේ ජීවිත කාලය කෙටි කර ගැනීමයි. මිථ්‍යා විශ්වාසයෙන් මත් වී සිටින පුද්ගලයා කරන්නේ තමන්ගේ බුද්ධිය කෙටිකර ගැනීමයි. අන් අය තමන්ගේ ආයුෂ ද දීර්ඝ කරගෙන බුද්ධිය ද පුළුල් කරගනිති.

බියට පත්වීම මත්වීමක් වන්නේ කෙසේදැයි කෙනෙකු අසනු හැකියි. බොහෝවිට අපි දැඩි භීතිය නිසා මුසපත් වෙමු. සතුන් පවා බියට පත්වීම නිසා සෙලවෙන්නට බැරිව ගල් ගැසී සිටිති. ආගමික බියගැන්වීම් වලින් මත් වී නොහොත් මුලා වී මුළුගැන්නී සිටින ජනයා අපමණය. ධනවත්වීම යනු තණ්හාව යැයි සිතා මුලා වී ජීවිත කාලයක් දුගී දුප්පත් අසරණයන් හැටියට නොකා නොබී රෝගීව සිඟාකමින් ජීවත් වී දිව්‍යලෝකයට යන්නට හැකි යැයි සිතන මිනිස්සු අදත් සිටිති.

සමහරු අපායට බියෙන් වැරදි නොකරති. අපායක් නැතිබව දැනගත් විගස ඕනෑ තරම් පව් කරති. මෙහි දී භීතියෙන් වෙරි වී සිටියා මිස ඔව්හු පව් නොකළේ හොඳ සිහියෙන් සිටි නිසා නොවේ. හොඳ සිහියකින් සිටීමින් සාර ධර්මයන්ගේ අගය අවබෝධ කරගැනීම අපායට බිය වී පව් නොකර සිටීමට වඩා වැදගත්ය.

බල ලෝබයෙන් ඇතැම් දේශපාලනඥයන් ක්‍රියාකරන අන්දම බලන්න. බල ලෝබයෙන් මත් වූ අයගේ හැසිරීම හඳුනාගැනීම පහසුය. ඔව්හු යමක් කියන්නේ තමන්ගේ බලය වැඩි කර ගැනීමේ අදහසිනි. ඔව්හු යමක් කරන්නේ එයින් තම බලය වැඩි වේ නම් පමණි. පිරිවර බලය වැඩි කර ගැනීම සඳහා පරස්පර විරෝධී කථා පවත්වනු ලබයි.

ඈත අතීතයේ පටන් බල ලෝභී නොහොත් බලකාමී රජවරු හා යුදකාමී සෙනවියන් විසින් මහජනයාට සෙත සැලසීමටය කියමින් මහජනයා ලක්ෂ ගණනින් මරා දමනු ලැබීය. ආගම පැතිරවීම සඳහා ආගම භක්තියෙන් මත් වූවන් විසින් ආගමට විරුද්ධව කටුයුතු කරමින් මිනිසුන් මරා දැමූහ.

කැමැත්ත, කාම, ලෝබකම, තණ්හාව ආදී විවිධ වචන වලින් හැඳින්වෙන්නේ මිනිසා තුල පවතින මත් කරවීමේ ගතියයි. ටිකක් හා බාගෙට මත් වූවන් අපිට නොපෙනෙන අතර හොඳටම වෙරි වූවන් පමණක් ඉතා හොඳින් කැපී පෙනෙයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1

ධනයට ගැරහූ අයෙකු හමුවිය

මා කුඩා කල පටන් නමින් අසා තිබුනු සුප්‍රසිද්ධ කෙනෙක් මෑත කාලයක දී මට හමුවිය. මෙම උතුම් මනුෂ්‍යයා එදා මෙන්ම අදත් ධනයට ගරහමින් කතා කරන කෙනෙකි. එම නිසාම ඔහු අද සිටින්නේ තමන්ට ය කියා ඉන්නට ගෙයක් හෝ බිම් අඟලක් හෝ නැති කෙනෙකු වශයෙනි. මහළු වයසේ දී අවශ්‍ය පහසුකම් නැතිව ඉතා දුකසේ ඔහු ජීවත්වෙයි.

තරුණ කාලයේ ධනයට ගරහන ඕනෑම කෙනෙකුට මහළු වයසට පත්වන විට එහි විපාක විඳින්නට සිදුවේ. ධනය උපයා එය ගරුසරුවක් නැතිව වියදම් කොට දැන් හිඟාකන අය සිටිති. මිනිසාට ඕනෑ කරන්නේ ගුණ ධර්ම පමණක් යැයි කියමින් ධනයට නින්දා කළ අය දුකට පත්වේ.

ගුණ ධර්ම වලින් පමණක් අපට ජීවත්වීමට බැරිය. අනුන් ගෙන් යැපෙන්නෙකු වී ගුණ ධර්ම රැකීම තමන් රකින ගුණ ධර්ම වලට පවා සමච්චල් කිරීමකි. මම ගුණ ධර්ම රකින්නත්, ඔබ ගුණ ධර්ම රකින්නේ නැතිව කටයුතු කරමින් මුදල් උපයමින් මාව රකින්නට ක්‍රියා කිරීමත් යනු මා තුල ඇති මහා ආත්මාර්ථකාමී ගතියක් ලෙස මම සිතමි.

මොළය පාවිච්චි කරන්නට හැකි මනුෂ්‍යයා ගුණදම් රකින්නේ උසස් ජීවිතයක් ගත කිරීම සඳහාය. මනුෂ්‍යයෙකු උසස් අන්දමින් සමාජයට බරක් නොවී පරපෝෂිතයෙකු නොවී ජීවත්වීම ගුණදම් රැකීමෙන් ලබන විපාකය විය යුතුය. ගුණදම් රැකීම නිසා කෙනෙකු හිඟන්නෙකු හා දුක්ඛිතයෙකු බවට පත්වේ නම් ඔහු ගුණදම් රකිනවා කියමින් රැකගෙන ඇත්තේ මෝඩකම් යැයි කිව යුතුය.

ඔබේ දියුණුවට අකුල් හෙලන්නා එය මිතුරු වේශයකින් යුතුව කරයි. ඉරිසියාකාරයින්ගේ අලුත් උපායන්ට මුලා නොවන්න.

යාන්තම් කාලා ඇඳලා හිටියොත් ඇති යන ධර්මය පතුරුවා හරින ජනයා අපට නිතරම හමුවේ. ධනයේ ව්‍යාප්ත වීමක් නොමැතිව ලෝකය දියුණු නොවේ. වෙළ හෙළඳාම් තහනම් කර තිබූ චීනය දැන් එහි අනර්ථකාරී ප්‍රතිඵල තේරුම් ගෙන චීන ජනතාවට වෙළඳාම් කිරීමේ නිදහස දී තිබේ.

චිත්ත ධර්ම විද්‍යාව අනුව කටයුතු කිරීම නිසා ධනවතුන් බවට පත් වූ අය බොහෝය. ඔවුන් අතර ධනවතුන් වූ පසු චිත්ත ධර්ම විද්‍යාව අමතක කළ අය ද කිහිප දෙනෙකු සිටිති. ඒ ටික දෙනා ධන තණ්හාව නිසා ධනයෙන් ලද හැකි යහපත වෙනුවට ඉරිසියා, ක්‍රෝධ හා වෛර නැමති ඍන වේග වලින් පීඩා විඳිති. ඔවුනට විශාල ධනයක් ලැබීම සාපයක් වී තිබේ. මේ හැර ධනයේ නරක පැති තව බොහෝ ඇත. එහෙත් ඒවාට වඩා එහි හොඳ පැති වැඩිය. දුගී දුප්පත්කමේ එක හොඳ පැත්තක් මා නුදුටුවෙමි.

වෙළඳාම රජය යටතට ගත් පසු පාරිභෝගිකයා සමූපාකාරයට හා සංස්ථාවලට ගොස් බයාදු හිඟන්නන් බවට පත් වූහ. රජය විසින් එකල පාරිභෝගිකයා සූරා ගනු ලැබීය.

වෙළඳාම මිනිසා අතට ගත් පසු පාරිභෝගිකයා රජ වී සිටී. ඔහුට ඕනෑ දේවල් ලබාගත හැකි ස්ථාන බොහෝය. විවෘත ආර්ථිකයේ අඩුපාඩු තිබෙන්නට පුළුවන. එහෙත් අතේ මුදල් වැයකොට ආඩම්බර බැලීමට හා පෝලිම්වල වේලෙමින් සිටීමට වඩා එම අඩුපාඩු දරුණු නැත.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1

රටට වැඩ කරන්නට සිතමු

ධනවාදය භංග කිරීමට හා අධිරාජ්‍යවාදය තුරන් කර දැමීමට සටන් කරන්නට සිතීමට වඩා සැල්වීනියා වඳ කර දැමීමට හා මදුරුවා විනාශ කර දැමීමට වෙහෙසීම රටට ප්‍රයෝජනවත්ය.

*

රටට වැඩ කරන්නට හිතන අවංක අය රටේ වැඩ කඩාකප්පලක් කර දමන්නේ නැත.

*

ඇමෙරිකාව හා යුරෝපය උදාහරණ වලට ගන්නේ ඒවායේ ධනවත් අය සිටින නිසාය. ධනයට විරැද්ධ හිඟන රටවල් ගැන කීමට ඇත්තේ ඒවායේ මිනිසුන් ඉඩක් ලැබුණු විගස අන් රටවලට පැනගන්නා බවයි.

*

ඇත්ත හෙළි කිරීම හා මෝහන නිද්‍රාවෙන් අවදි කරවීම කත් ඇදීමක් නොවේ. හිඟන්නෙකුට කත් ඇදීමෙන් වෙහෙසට පත්වේ. ධනවතෙකුට කත් ඇදීමෙන් වෙහෙසට සරිලන ගාස්තුවක් ලැබේ.

*

තමන් ළඟ බෙන්ස් කාර් නැති නමුත් ඕනෑම කාර් එකක් අලුත්වැඩියා කරන්න දක්ෂ අය සිටිති. තම නිවස අතු පැලක් වුවත් මාලිගා වැනි මහා මන්දිර ඉදි කරන්නට දන්නා දක්ෂ මේසන්වරු සිටිති. ඔබට ඕනෑ දෙය දක්ෂයා ලවා කරගන්න. ඔහුගේ අඩුපාඩු බැලීමෙන් ඔබේ කාර්යය ඉටුකර ගැනීමට නුපුළුවන.

*

කාල් මාක්ස් හෝ වෙන ඔබ කැමති ඕනෑම කෙනෙක් කියන දේ පිළිගන්න. එය ඔබට ඇති එකම නිදහසයි. මම කියන්නේ මොනවා පිළිගත්තත් කමක් නෑ ඔබෙයි ඔබේ බිරිඳ හා දරුවන් ඇතුළු පවුලේ අය සඳහා අනුන්ට වහල් නොවී තමන්ගෙ උත්සාහයෙන් යම් ධනයක් හම්බ කරගන්න කියලයි.

-සුමනදාස සමරසිංහ

මෝඩයා

තමන්ට නොවැටහෙන දෙයට වහල් වෙයි. එසේ නැත්නම් සිනාසෙයි. තමන්ට නොවැටහෙන දෙයට බියවෙයි. එසේ නැත්නම් විශ්මයට පත්වෙයි. තමන්ට ඉගෙන ගන්නට බැරි දෙයට පුද සත්කාර කරයි. එසේ නැත්නම් එය අවඥාවට ලක් කරයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 අගෝස්තු 15