මෙන්න මෙයා හඳුනාගන්න

මෙයා හිතන්නේ මෙයාට වැඩියෙන් දන්න අය වෙන නැත කියාය. මෙයා තරම් පන්ඩිතයෙක්, වැදගතෙක්, උගතෙක් නැතෙයි කියා මෙයා හිතේ තියාගෙන සිටී.

මෙයා මහා කුලවතෙක් යයි සිතා අන් අය තුට්ටු දෙකක් නොවටිනා අය හැටියට සිතයි. මෙයා පොත පතට ගරහයි. වෙන එකක් තබා මෙයාගේ ලෝකය කොයි තරම් පුංචි ද කියාවත් මෙයා දන්නේ නැත.

මෙයා අනුන්ට ගරහා සතුටු වෙයි. වාද කරනවා මිසක් අනුන්ට කන් දීමට තරම් ඉවසීමක් මෙයාට නැත. මෙයාගේ උගත්කම පොත් කිහිපයකට සීමා වී ඇත. මෙයා කියවන්නේ එකම ජාතියේ පත්‍රයක් පමණයි. අන් අය රේස් කොලයට වශී වී සිටින ආකාරයට මෙයා එම පත්‍ර කබලට වශී වී සිටී. එහෙත් එය වශියක් බව දන්නේ නැත.

රේස් කොලයට වශී වූ අයට ඉන් එහා වෙනත් දේ ගැන දැනුමක් හෝ උවමනාවක් හෝ නැත. මෙයාටත් වෙනත් දේවල් ගැන දැනුමක් නැත. එහෙත් සිතා ඉන්නේ එයා තරම් බහුශ්‍රැතයෙක් මේ ලෝකයේ වෙන නැතෙයි කියාය.

මෙයාගේ මෝඩකම් නිසා අපට සිද්ධ වූ දියුණුවක් නැත. මෙයා නිසා අපට සෑහෙන අයගේ ඇසුර අහිමි විය. මෙයා මෙන් අපත් දැන් සමාජයෙන් කොන් වී ඈත් වී සිටිමු.

මෙයා හඳුනාගත හැකි ලකුණු මෙන්න. කතා කරන්නේ එකම දෙයක් ගැනමයි. එයට විරුද්ධ පැත්තේ යමක් තිබේදැයි බැලීමට මෙයා සූදානම් නැත.  ගෙදර සිටින වේලාවට බුම්මාගෙන සිටී. නිතරම සිතේ සතුටක් ඇති බවක් නොපෙනේ. මිනිසුන් රුස්සන්නේ ද නැත. එහෙත් බොරු හිනාවක් දමා දත් විලිස්සා රුස්සන බවක් පෙන්වා යන්නට හැර ඇනුම්පදයක් කියයි.

මෙයාගේ පැත්ත අරන් මෙයා කියන දේ අනුමත කරන “එහෙයියන්ට” හා “හෙංචයියලාට” මෙයා රැවටේ.

මෙයා උඩින් හොඳ මුහුණක් පෙන්නා යටින් හීන් නූල් අදින්නට ඉතා දක්ෂයෙකි. එහෙත් ඒවා මෝඩ අමන ක්‍රියා මිස සැබෑ වීර වැඩ නොවන බව මෙයා දන්නේ නැත.

මෙයා කරන රස්සාවට තරම් මෙයාට සුදුසුකම් නැත. ඒ වැඩියෙන්ම උසස් ගති නැති නිසයි. මෙයා උසස් තනතුරු ලබා සිටින්නේ හැකි තරම් “එහෙයි” කීමෙන්, දෙකට තුනට නැමීමෙන් හා බොරු ගොතා කීමෙනි. මෙයා ළඟ උසස් ගතිගුණ නැති නිසා උසස් අය ගැවසෙන තැන්වල මෙයා නැත.

මෙයා “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” කියමන අකුරටම සනාථ කරන්නෙකි.

අනුන්ගේ පහනින් මිස එළිය බැලීමට මෙයාට පහනක් නැත. මෙයාට මොළය පෑදේවා යැයි නිතර සෙත් පතනවා මිස වෙන කළ හැකි දෙයක් දැනට නැත.

-(එයා) සුමනදාස සමරසිංහ, 1979 මාර්තු 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

Advertisements

වෙන්දේසියක් -ඕනෑ කරන අයෙක් වේ නම් නොමිලේ වුවත් දෙන්නම්

මෙතෙක් කල් ඉතා ආදරයෙන් ආරක්ෂා කරමින් රැක බලාගත් අනුන්ගේ කුලමල භේද තොගයකි. එක මිටියකට බැඳ තැන්පත් කර තිබේ.

නෑයින්ගේ වැරදි, උස් මිටිකම්, ඇද පළුදු, අල්මාරියකින් එකක් පමණ (ඉතා සුරක්ෂිතව තිබූ නිසා) අළුත්ම තත්වයේ ඇත.

අහළ පහළ උදවියගේ සිත රිදවීම සඳහා උපයෝගී කරගත් ඇනුම්පද (කැසට් කළාට වඩා හොඳින් නැවුම් තත්වයක) තිබේ.

හිතවතුන් දියුණුවනවාට බියෙන් උඩින් හොඳ මුහුණ පෙන්වා යටින් අදින ලද යටි උගුල් සංඛ්‍යාව දහසකට අධිකය. (පණුවන් සලා ඉතා හොඳ තත්වයක ඇත.)

ගෙදර පැමිණි අයට යන්න හැර කියන ලද පහත් කතා සියයකට අධිකයි. නැති තැන කියපුවා නිසා හඬ බාලය. අවමංගල්‍යයක දී පාවිච්චි කිරීමට තරම්වත් හොඳ නැත. (සොහොන් පිටියේ දී වෙන්දේසි කරනු ලැබේ.)

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

ද්වේෂය හඳුනාගන්න, ඉන්පසු එයට බැටදීම පහසුය

වායුව, ජලය, ගින්න, විදුලි බලය ආදී බලවේගයන් ක්‍රියා කරන්නේ ඒවාට අයත් නීති රීති වලට යටත්වය. රටින් රටට ගෙන ගිය පලියට හෝ දුප්පත් අය පරිහරණය කරද්දී හෝ ධනවත් අය පරිහරණය කරද්දී හෝ කියා ඒවායේ නීති වෙනස් නොවේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේ යෙදී සිටින නිලධාරියෙකුට යම් ගතමනාවක් දී නීතිය සැහැල්ලු කිරීමට හෝ වෙනස් කිරීමට හැකි වුනත් ලෝක සම්මත නීති එසේ බලපෑම් වලට, පගාවට, හිතවත්කමට හෝ වෙනත් හේතුවක් නිසා වෙනස් වන්නේ නැත.

මුළු ලෝකයේම ජනයා එකහෙලා පිළිගන්නා ආගමක් බිහිකළ නොහැක. කාටත් එකසේ පිළිගත හැකි පාලන ක්‍රමයක් බිහිකළ නොහැක. හැමෝම සතුටු කළ හැකි සංගීතයක් හෝ ආහාර පානයක් නිපදවීමට බැරිය. මේ බව නොදැන මිනිසා තමාට නොගැලපෙන දේශපාලන ක්‍රම වලට දොස් කියයි. තමා සිතන විදියට අන් අය සිතන්නේ නැති නිසා අසහනයෙන් පෙළෙයි. ස්වකීය ආගම උතුම් නිසා අන් ආගම් අදහන අය අඥානයන් යැයි මිසදිටුවන් යැයි නම් කරයි.

මිනිසා ගින්නෙන් වැඩ ගන්නේ ගින්නේ ස්වභාවය වෙනස් කිරීමෙන් නොවේ. එහි ස්වභාවය වෙනස් කිරීමට බැරිය. එහි ස්වභාවය හඳුනාගෙන එයින් වැඩ ගන්නවා මිස එය ප්‍රතික්ෂේප කිරීමෙන් ද වැඩක් ගත නොහැකිය.

කැලෑ සතෙකු හීලෑ කරගන්නේ උගේ ශක්තියෙන් වැඩ ගැනීමටය. උගේ ශක්තිය මොට කළොත් උගෙන් වැඩක් නැත.

ඔබ අකමැති පුද්ගලයන්, නෑයන්, යහළුවන් සමාජයේ සිටීම අවශ්‍යයය. ඔවුන් ගැන ඇති ද්වේෂයෙන් ඔබේ සිත පුරවාගෙන ඉන්න එපා. ද්වේෂය මනස හකුලා තබන ධර්මතාවයකි. ද්වේෂ නොකරන්න. එහෙත් මෛත්‍රී කිරීම යනු ඔවුන්ව බදාගෙන සිඹීම නොවන බවත් සිතට ගමු.

-සුමනදාස සමරසිංහ, 1979 මාර්තු 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

ආත්මඅනුකම්පාව නැතිකර ගන්න

අපි වැඩි දෙනෙක් අනික් අයගේ අනුකම්පාවත් සැලකිල්ලත් බලාපොරොත්තු වෙන වේලාවල් බොහෝ ඇත. එය සාමාන්‍යයෙන් කා තුලත් ඇතිවෙන පොදු ආශාවකි.

එහෙත් මේ ආශාව හරියට පාලනය නොකළහොත් සිදුවන්නේ විශාල හානියකි. මේ අනුකම්පාව ලබාගැනීමේ ආශාව දිගින් දිගට පැවතුනහොත් එය ආත්මානුකම්පාව නැතහොත් තමා ගැනම දුක්වීමේ පුරුද්දක් බවට පත්වේ.

හිතක උපදින එඩිතරකම, උනන්දුව දුර්වල කරමින් මිනිසා එකතැනම වැතිරගන්නේ මේ ආත්මානුකම්පාව බලවත් වූ විටයි. මෙය පලවා හරින්නට බැරි දෙයක් නොවේ. තමාගේ හිත ගැන තමාම තේරුම් ගැනීමත්, මනෝවිද්‍යානුකූල උපදෙස් පිළිපැදීමත් නිසා මිනිස් හිතේ ධනවේග වලට හානි කරන මේ ‘විෂ’ නසාලිය හැකියි.

මෙහි දී ඉතාම වැදගත් කොන්දේසිය නම් තමා තමාට අවංක වීමයි.

ආරයට යාම, පරිසරය, හරි ඉගෙනීමක් නොලැබීම, අනුකරණය, අංග විකලවීම යනාදිය නිසා කෙනෙකු ආත්මානුකම්පාවට ගොදුරු වීමට ඉඩ ඇත. ප්‍රශ්න බාධා හමුවේ පෙරට නොයා ඉන්නට තමාට නිදහසට කරුණු වශයෙන් ඉහත දැක්වූ දේවල් පොදි බැඳගෙන තිබීම අපි කරන ලොකුම වරදයි.

සමහර විටක දී, කෙනෙකුගේ කරදරයක දී අනික් අය ඒ ගැන අනවශ්‍ය අනුකම්පාවක් දක්වන්නට යාම නිසා කරුණු තවත් අවුලෙන් අවුලට පත්ව යයි. නැතහොත් ඒ අනුකම්පාව නිශ්ඵල වෙයි. බාධක හිරිහැර රාශියකට මුහුණ පෑ ෆ්‍රාන්සස් හැවරගැල් නම් කිවිඳිය වරක් මෙසේ ලියා ඇත්තේ ඒ නිසාය. “මා හැර අනික් සියළු දෙනාම මා ගැන දුක් වෙති.”

ජීවිතය ජයගත් බොහෝ දෙනාගේ චරිත කතා කියවන විට අපට පැහැදිලි වෙන්නේ ඔවුන් තමා ගැනම දුක්වීම සම්පූර්ණයෙන්ම ඈත් කළ අය බවයි.

දුක්වීමට හේතු දක්වන හැදියාවෙන් මිදීමට සමත් වෙන්නා එදා සිට මිනිස් දිවියේ අගය තේරුම් ගනියි.

තමා ගැනම දුක්වෙන තැනැත්තා බාගෙට මැරුණු අයෙකි. ජීවිතය ජයගැනීමට ඔහුගේ තිබුණු ආශාව, ආත්මානුකම්පාව විසින් හොරකම් කරනු ලබයි. අපි අප ගැනම දුක්වීමෙන් ලබන ලාමක සතුට කුමක් වුවත් එහි වන්දිය වැනෙන වැතිරෙන ජීවිතයකින් ගෙවන්නට සිදුවේ.

මොන පැත්තකින් බැලුවත් ආත්මානුකම්පාවේ අවසාන ප්‍රතිඵලය පරාජය පමණකි.

එයින් මිදෙන්නට ගත යුතු මූලික පියවර වශයෙන් අපේ හිත බාහිර ලෝකයට යොමු කළ යුතුය. අපේ සිතිවිලි අපෙන් පිටතට යොමු කළ යුතුය. අපි අපටම කොටුවීමට ඉඩ නොතබා සටන් කළ යුතුය. එහෙත් ඔබ ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුයි. සෑහෙන උත්සාහයක් නොකඩවා ගෙන යා යුතුය. ඔබේ සිතුවිලි ඔබෙන් ඈතට යත්ම ප්‍රීතිමත් බවේ සෙවනැල්ල ඔබ දෙපා මුල වැතිර ගනියි.

ඔබේ තනිකම නැමති සිරගෙය බිඳ හෙලා වහාම අනුන් ඇසුරු කරන්නට ක්‍රියාත්මක වන්න. දවසට එකක් වත් අනුන් වෙනුවෙන් දෙයක් කරන්න. ඔබට හුරු පුරුදු දිනචරියාවට අමතරව වෙනස් එක දෙයක් හෝ කරන්න. සමාජ සේවා කටයුතු වලට එකතු වන්න.

ආත්මානුකම්පාව තමාට මෙන්ම ඇසුරු කරන්නන්ට ද නරකක් මිස හොඳක් කරන්නේ නැත. බොහෝ දෙනා නිතරම හොයන්නේ දුක හිතෙන කතන්දරයකට කන්දෙන්න සූදානම් අයෙකුයි. එවැනි කතාවකට කන්දෙන එක මොන තරම් අසීරු කම්මැලි වැඩක් දැයි ඒවා අසා පුරුදු අය දනිති. ඒ වගේම තමන්ගේ දුක කියන්නට කෙඳිරීමෙන් වටිනා හිත මිතුරන් පවා ඈත්වෙන වේලාවල් ඇත.

පැතුම් සුන් වී බලාපොරොත්තු බිඳී ශෝකයක් වේදනාවක් ඔබට ඇති වුනා නම් ඒ ශෝක පරාදීසිය තුලම ලැගුම් ගෙන නොසිට බාහිර ලෝකය දෙස බලා ආත්මානුකම්පාව එලවා දමන්න. එය නතර කරගත්තොත් ඔබට ඉතිරි වන්නේ කඳුළු පමණයි.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය