ජීවිතය යනු තිත්ත කසායක් නොවේ

උසස් මනසක් ඇතිව උපන් මිනිසාට ඕනෑම ගැටළුවක් විසඳා ගැනීමේ සහජ හැකියාව ඇත.

ජීවිතය ගැන විවිධ දෘශ්ටි කෝණ වලින් බලන මනෝවිද්‍යාඥයන්, චින්තකයන්, ආගමික නායකයන්, විද්‍යාඥයන් එදත් අදත් ලොව පහළ වී ඇත. සමහර අයට ජීවිතය එකම එක රස ගුලාවකි. මී විතකි. සුර ලොවකි. සමහර අයට එම ජීවිතයම තිත්ත කසායකි. මෙලොව අපායකි. එකම පුද්ගලයා වුව ද ජීවිතය ගැන දරන මතය වරින් වර වෙනස්කර ගනියි. උගත්කම, ධනවත්කම, රූමත්කම ආදී කරුණු වලින් එක සමාන ලෙස අපට පෙනෙන දෙදෙනෙකු වුව ද ජීවිතය පිළිබඳව දරන මත එකිනෙකට වෙනස්ය.

ජීවත්වීම මහා කරදරයක් ලෙස, බරක් ලෙස, සිතන පුද්ගලයන් අප සමාජයේ බහුලය. එකම ජීවිතය කෙනෙකුට මහා කරදරයක් ලෙස දැනෙන්නේත් එයම තව කෙනෙකුට සැහැල්ලු සැනසිලිදායක තත්වයක් ලෙස දැනෙන්නේත් ඇයි? මේ වෙනස ඇත්තේ කොතැනක ද? එයට හේතුව කුමක් ද? යනු විමසා බැලිය යුතුයි. මහා චින්තකයන්, දාර්ශනිකයන්, බුද්ධිමතුන් ඉතා පුදුම සහගත අගනා දේ ලෝකයාට ලබා දුන්නේ කුමන බලයක් නිසා ද? අන් කිසිවක් නොව විශ්වාසයේ ඇති මහා බලය වන අසීමිත චිත්ත බලයේ හාස්කම නිසයි.

ජීවත්වීම මහා කරදරයක් සේ ඒ අය සිතුවා නම් ඔවුන්ගේ ප්‍රයත්නයන් සාර්ථක නොවේ. තම දස්කම් ලොවට පෙන්වීම සඳහා ඉදිරියට යාමේ දී ඔවුන්ට කොතරම් බාධක හමුවන්න ඇති ද? “රේඩියම්” සොයා ගත් මාරි කියුරි නම් විද්‍යාඥවරිය ගැන ඔබ අසා ඇති. ඇය පරීක්ෂණය කරගෙන ගියේ කොතරම් දුෂ්කරතා මධ්‍යයේ ද? ඉන්න හිටින්න තැනක්, කෑමට පෝෂ්‍යදායක ආහාරයක්, අඳින්න සුදුසු ඇඳුමක් නැතිව දින ගණන් එක දිගට නිදි වර්ජිතව පරීක්ෂණ කරන්නට ඇයට සිදුවිය. ඒ කිසිවක් කරදරයක් යැයි ඇය සිතුවේ නැත. ඇයට ජීවත්වීම කරදරයක් වූයේ නැත.

ජීවිතය කරදරයක් ලෙස සිතන අයට ජීවත්වීම සඳහා කරන හැම දෙයක්ම දැනෙන්නේ කරදර ලෙසය. ධනවත් පවුලක ඉපදී සියළු සැප පහසුකම් මැද අතට පයට මෙහෙකරුවන් ලවා කිසිම දෙයකින් අඩුපාඩුවක් නැතිව ජීවත්වන්නට ඇත්නම් කොතරම් වාසනාවක් දැයි සිතන පතන අය අප සමාජයේ හිඟ නොවේ. අප ඔවුන්ගේ ජීවිත අගය කරන්නේ අපට පිටතින් පෙනෙන හැටියටයි. නමුත් ඒ සැප සම්පත් විඳින අය සමඟ කතාකර බැලුවොත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කියන්නේ තම තමන්ට ඇති නොයෙකුත් කරදර ගැනයි.

උපන් නිසා කෙසේ හෝ ජීවත් වී මැරී යාම ජීවිතය නොවේ. අප ජීවත්වන කාලය තුල අප ලැබූ මිනිසත් බවෙන් ගතහැකි උපරිම ප්‍රයෝජනය ගැනීමට සිතට ගතහොත් මන උසස්කමේ නියම ඵලය ලැබිය හැකියි. මිනිසාට නොකළ හැකි දෙයක් ඔහුගේ බුද්ධියට ගෝචර නොවෙන දෙයක් මේ විශ්වයේ නැත. එහෙත් අපට පහසුවෙන් කළ හැකි දෙයක් ගැන වුවත් අප සිතන්නේ අපට නොකළ හැකි කරදරකාරී වැඩක් ලෙසටය.

එදිනෙදා ජීවිතයේ දී මඟතොටේ දී කාර්යාලයේ දී අපට හමුවන අයගේ අදහස් ගැන මඳක් සිත් යොමු කරමු. සියේට අනූ නවයක් දෙනා කතා කරන්නේ තම තමන්ට ඇති නොයෙකුත් කරදර ගැනය. වැඩිදෙනා තම රැකියාව මහා කරදරයක් සේ සිතන බව පෙනේ. රැකියාව ඉතා කරදරකාරී බවට නොයෙක් හේතු දක්වති. වැඩ වැඩිවීම, කාර්යාලයේ හෝ ආයතනයේ සැප පහසුකම් මදිවීම, වැටුප් මදිකම, පාලකයාගේ නීති රීති වැඩිවීම, උසස්වීම් නොලැබීම, අනෙක් සේවකයන් තමන්ගේ සිත් නොගැනීම, ආදී නොයෙකුත් හේතූන් නිසා “මේ රක්ෂාව මහා කරදරයක්, කොහොම හරි වෙන රක්ෂාවක් සොයාගන්න ඕනෑ,” කියා සිතමින් වරින් වර රැකියා මාරු කරමින් යන පුද්ගලයා කිසි දිනෙක කිසිම රැකියාවකින් සතටු නොවන්නෙකි.  ඔහුගේ රැකියාවෙන් ඔහුට වත් වෙන කෙනෙකුටවත් සේවයක් සිදු නොවේ. හැම කෙනෙකුටම හැම සැප පහසුකමක්ම ලබාගෙන රැකියාවක් කිරීමට අවස්ථාවක් නොලැබේ. බොහෝ විට තමන් ආසා කරන හෝ බලාපොරොත්තු වූ රැකියා නොලැබෙන්න පුළුවනි. නමුත් ලැබුන රැකියාව කුමක් හෝ වේවා එයට ආදරයෙන් තම හදවතට එකඟව අවංකව සේවය කළොත් කිසි දිනෙක රැකියාව කරදරයක් ලෙස නොසිතේ. ඇත්තෙන්ම ඔබ යම් රැකියාවකින් ඉවත් වූවත් ඔබේ අඩුව පිරවීමට තවත් අය ඕනෑ තරම් සිටින නිසා එම ආයතනයට අඩුපාඩුවක් සිද්ධ නොවේ.

අවිවාහකව සිටින සමහර අය සහකරුවෙකු හෝ සහකාරියක නැතිකම කරදරයක් සේ සිතති. එම අයම විවාහ වී ටික කලකින් සිතන්නේ විවාහය යනු මහා කරදර ගොඩක් ළං කරගැනීමක් බවයි.

තම අසල්වැසියන්ගෙන් තමනට කරදර ඇති බව කියන අය තමා ඔවුන්ට කරදරයක් බව සිතන්නේ නැත.

කළ යුතු වැඩ රාශිය දිහා බලා “මේවා කවදා ඉවර කරන්න ද? කොහොම කරන්නද? හරිම කරදරයි,” කියා සිත සිතා ඉන්න එපා. සැහැල්ලු සන්සුන් සිතින් හැම දෙයම හැකි තරමින් කරන්න. ඔබ නොදැනුවත්වම සියළු වැඩ සාර්ථකව කෙරෙනු ඇත. උදාසීනව ජීවත්වීමෙන් ඇති ඵලය කුමක් ද? වේගයෙන් ඉදිරියට ඇදෙන ලෝකයක අප එතැනම නොසෙල්වී සිටින්නේ මේ උදාසීන බව නිසාම නොවේද?

ඔබ නොදැන සිටිය ද ඔබට කරදර සේ සිතෙන ඕනෑම බරපතල කරුණක් සුළු මොහොතකින් අමතක කරදමා බාධක තුලින් ජය මාවත කරා යාමේ බලවත් ශක්තියක් ඔබේ යටි සිතේ ඇතිබව අමතක නොකරන්න.  “මට පුළුවන්,” කියා මතක් කරගෙන කොතැනකින් හෝ පටන් ගන්න.

-සුමනදාස සමරසිංහ

දුක් විඳීම යනු සැප ලැබීමට අවශ්‍ය සුදුසුකමක් නොවේ

දුක් විඳීමේ පරමාර්ථයක් තිබිය යුතුය. පරමාර්ථයක් නැත්නම් පරමාර්ථයක් ඇතිකර ගත යුතුය. නොකා නොබී ඉතිරි කළාට කම් නැත. ඉතිරි කළ දෙයින් පසු කලෙක ප්‍රයෝජනයක් ගත යුතුය.

හරියට කන්න අඳින්නවත් නැතිව දුක් විඳිමින් ඉස්කෝලේ ගිය පමණින් විභාග වලින් සමත්වෙනවා ද? අනෙකුත් සෑම දුක් විඳීමක් ලෙසින්ම විභාගයෙන් සමත් වීම අරමුණු කරගෙන ඊට සූදානම් විය යුතුය.

අප බොහෝ දෙනාගේ නිගමනය වී ඇත්තේ දුක් විඳීම යනු සැප විඳීමට සුදුසුකමක් ලෙසයි. දුක් විඳිමින් අහම්බෙන් සිදුවන සැප සම්පතක් බලාපොරොත්තු වූවාට එවැනි දෙයක් සිදුවිය හැකිද? චිත්ත ධර්ම විද්‍යාව අනුව එසේ සැප සම්පත් ලැබුන ද ඒවා ලැබෙනුයේ ඔබ දුක් වින්ඳාට ලැබෙන ත්‍යාග ලෙසින් නොවේ. සැකයෙන් තොරව බලාපොරොත්තු වීමෙන් ලැබෙන ස්වයං යෝජනාවක ප්‍රතිඵලයක් වශයෙනි.

අරමුණක් ඇතිව දුක් විඳි අය පසු කලෙක සැප විඳින්නේ දුක්විඳි කාලයේ ලද අත්දැකීම් ජිවිතය සාර්ථක කරගැනීම සඳහා යොදා ගැනීමෙනි. දුක් මහන්සි වී මුදල් ඉපැයූ අයෙකු වියදම් කරන්නේ ඉතා ප්‍රයෝජනවත් දෙයට පමණි. දුක්විඳි කාලයේ ඔහු මුදල් පාලනයට හුරු වී තිබුණ නිසා අමුතුවෙන් පාලනයක් ඔහුට අවශ්‍ය නොවේ.

දුක් විඳීමෙන් මම සියළු දුකින් මිදෙමි යන දැඩි අධිෂ්ඨානය සිතෙහි තැන්පත් වෙයි. එම අධිෂ්ඨානය පෙරටුකොට ජයග්‍රහණය කරා නොසැලී ඉදිරියට ගියවුන් ධනවතුන් බවට පත්වෙති. එසේ නොමැතිව දුක් විඳපු නිසා සැපත කවදා හෝ ලැබේවි කියා කිසිම උත්සාහයක් නොගෙන සිටියහොත් කිසිවක් නොලැබී යයි. මෙහි දී ප්‍රධාන වන්නේ අධිෂ්ඨානය සහ හිතේ විශ්වාසයයි.

ඔබ ගමන් ගන්නේ දුක නැමති මාර්ගයයේ නම් එහි කොතෙක් දුරට ගියත් සම්පතක් ඔබට ලබාගත හැකියාව ඇත්තේ අධිෂ්ඨානය සහ අත්නොහරින ධෛර්යය නොසැලී පවතිනවා නම් පමණයි.

ධෛර්යය නතර කරන එකම බලය මිථ්‍යා විශ්වාසයයි. ධෛර්යෙන් යුතුව යන ගමනේ දී යම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් ඔබව නතර කරන බැව් හෝ නතර කිරීමට හැකි යැයි ඔබ විශ්වාස කළහොත් එම ගමන අවසානය තෙක් යා ගත නොහැක. ඔබව නතර කිරීමට හැකි එකම බල වේගය ඔබේම චෛතසික බලවේගයයි. අදෘශ්‍යමාන බලවේගයක් වශයෙන් නොයෙක් වර අප වෙත ළඟා වෙන බාධකයන් සියල්ල චෛතසික ස්වභාවයන්ය. යම් කාර්යයක් වැරදී ගියේ පෙර කර්මය හෝ ග්‍රහ අපලයක් නිසා යයි ඔබ සිතා සිටින තුරු ඔබ පසුපස එම බලවේගයන් දෙක ලුහුබඳී. එසේ සිද්ධ වනුයේ එවැනි දේ ඇති නිසා නොව එවැනි දෙයක් ඇතැයි ඔබ විශ්වාස කරන නිසාය. එවිට ඇත්ත වශයෙන්ම කිව යුත්තේ බාධකයන් සිදූවවා කියා නොව සිදුකරගත්තා කියාය.

දුක් විඳීම නිසා අපේ දියුණුව නතරකර සිටින ප්‍රධාන සතුරාගෙන් ජය ගැනීමට ද අපට අවස්ථාව සැලසේ. මිනිසාගේ දියුණුව අවුරා සිටින ප්‍රධාන සතුරා අලසකමයි. අලස බව හඳුනාගැනීම ඉතා අපහසුය. එයට හේතුව ඔහු වෙස්වලාගෙන පැමිණෙන්නෙකු බැවිනි. අලස බව බොහෝ විට පෙර කරුමය හා ග්‍රහ අපල යන දෙදෙනාගේ වෙස්වලා ගනී.

-1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

බිත්තරයක් කතා කරයි

මම බිත්තරයක් වෙමි. කවුරුත් එය රකිනවාට මම කැමති නොවෙමි. අනිත් බිත්තර වලින් නම් පුළුන් ගුලි වැනි පැටවුන් එළියට එති. උන්ට තැනින් තැන යෑමට ද හැකිය.

මට ඕනෑ දිගටම බිත්තරයක් මෙන් සිටීමටය. ගිය අවුරුද්දේ පටන් එක තැනක ලැග සිටි බිත්තරයක් තිබුණි. එය රවුමට සිනිඳුවට තිබුනා. පසුව එයින් ගඳක් ආවා. එය ඇතුලේ මරණයක් වෙන්න ඇති.

මට බියක් දැනේ. මේ කටුව තුලින් එළියට යන්නට මා කැමති නැත. එවිට අන් හැමෝම මා දෙස අමුතු විදයකට බලනු ඇත. ඒ වුනත් කටුව ඇතුලේ මැරෙන්නට ද මම කැමති නොවෙමි. මේ කටුවෙන් එළියට ගියොත් මට කුමක් වෙයි ද? කුකුල් කරියක් බවට පත්වේ ද?

අනේ! කවුරු හරි මට උදව් කරන්න. මාව මැරෙන්න පුළුවනි. මේ කටුව ඇතුලේ මම ඉන්න තරම් සැප පහසුවට මට කටුවෙන් පිටත දී ඉන්නට ලැබෙන එකක් නැත. මටත් අර තරබාරු කිකිළිය වගේ ඝෝෂා කරන පැටවුන් රංචුවක් බලාගෙන ඉන්න සිදුවේවි ද? ඒක මහ වැඩ රාජකාරි අධික තත්වයක්.

ඒ වුනත් එතකොට මටත් අර කුකුලන් වගේ දුවන්න පනින්න නිදහස ලැබේවි. අර වැටේ කණුවට නැඟලා ලොක්කෙක් වගේ කොක්! කොක්! ගාන්නට මටත් පුළුවනි. ඒ වගේ ආඩම්බර කුකුලෙක් වෙන්න මමත් ආසයි. එයා බය කුකුල් කොටුව අයිතිකාරයට විතරයි.

අයිතිකාරයා අපි ඔක්කොගෙම අයිතිකාරයා. මෙහෙ හැම දෙයක්ම කෙරෙන්නෙ එයාගේ ඕනෑකමටයි. කුකුළන් කොටා ගන්න කොට එයා උන් පන්නා දානවා. උන්ට ඒකෙන් රිදෙන්නෙ නැහැ. උන්ගෙ අහංකාරකමට පහර වදිනවා. මේ කුකුලෝ හරිම අහංකාරයි.

මොනවා! අහංකාරයි. මමත් අහංකාරකම නිසා නොවේද මේ කටුව තුලට වෙලා ඉන්නෙ? මෙහෙම හිටියොත් මට වෙන්නෙත් පරණ කුණු බිත්තරයක් වෙන්නයි.

නැහැ! මම කටුවෙන් එළියට එනවා. තමුසෙලා ඒකට අකමැති නම් ඕන කුදයක් ගහගන්නවා. මම ඉපදිලා ඉන්නෙ කටුවක් ඇතුලට වෙලා හැමදාම අකුලාගෙන ඉන්න නොවේ.

ඕන් මම එළියට ආවා!

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

මා අනුගමනය කර හරි මාවතේ යන්න

මම රියැදුරෙක්මි. මා පදවන වාහනය පණ ගන්වා ඉදිරියට තල්ලුවන විට මගේ සිත ඉදිරිපසින් ඇති මහා මාර්ගය දෙසටම එල්ල වී තිබේ.

මට යන්නට ඇති මාර්ගය පුරා රෝස මල් අතුරා නැත. තැනින් තැන ගල්මුල්ය. ඇතැම් විට මාරක වංගු හමුවේ. කඳු මෙන්ම පල්ලම් ද එමටය. ගලක හැපෙන සුක්කානම පසෙකට හැරේ. දුක් කරදර නැමති ගල්මුල් හා වල ගොඩැලි වලට රෝද වැටෙන විට මම මහා මහ පාරට රථය යොමු කරමි. ගල්මුල් වලට යොමුකර හැරියොත් වාහනය මා සමඟම පාරෙන් පිටත විසි වී ගොස් දුකින් දුකටම පත්වෙනු නිසැකය.

හිටි අඩියේ පාර හරහා බාධක වැටේ. එවිට මම කෙඳිරි ගාන්නේ නැත. බාධක ඉවත්වන තුරු නිසොල්මන්ව රථය නවතාගෙන සිට නැවත මගේ ගමන යමි.

කොපමණ හදිසි වුවත් මම මගේ ගමන යන්නේ ඊට අවශ්‍ය වේගය අනුවයි. ඉතා හෙමින් හෝ ඉතා අධික වේගයකින් හෝ මා රථය පදවන්නේ නැත.

මගේ සිත වෙනත් දේවලට දුවයි. එහෙත් මගේ මූලික චේතනාව ඒ නිසා වෙනස් නොවේ. මා යන ගමන වෙනස් කළ හැක්කේ මටයි. අතරමග දී වෙහෙස බව දැනුන හොත් මම නතර වී ගිමන් හරිමි. රත් වූ ඇන්ජිමට වතුර දමා සිසිල්කරගෙන නැවත ගමන අරඹමි.

හරවන්නට ඕනෑ තැන දී හරවමි. නතර වන්නට ඕනෑ කළවිට නතර වෙමි. ශබ්ද කළ යුතු තැන දී නළාව හඬවමි. මේ මොනවා කළත් මගේ ඉලක්කය වෙත යෑම නතර නොකරමි.

මා සමඟ පැමිණි සමහරු දුර තියා කඳු දැක ආපසු හැරී ගියහ. ඇතැම් අය පල්ලම් දැක බියට පත්වූහ. සමහරු දුක් කරදර නැමති වලක රෝද වැටුනු ගමන් රථය ඉන් ඉවතට නොගෙන වලේම වැටී සිටියහ. සමහරුන්ගේ හුළං බැස තිබුණි.

මගේ මිතුරෙක් ගමන පිටත් වූයේ හතරවෙනි ගියරයෙනි. ගියර් දැමිය යුත්තේ එකින් එක හෙමිහිට කී නමුත් ඔහු පිළිගත්තේ නැත. “ටොප් ගියර්” එකේ රථයක් මුලින්ම ධාවනය කිරීම පහසු නැත. එය වැරදි ක්‍රමයයි. මා කුමක් කීවත් ඔහු ඇසුවේ නැත. එක පාරටම වේගයෙන් යන්නට බැරි නම් “මෝටර් රථයෙන්” වැඩක් නැතිලු.

දුම්රිය හෝ අහස්යානය හෝ එක පාරටම වේගයෙන් ධාවනය කළ නොහැකි බව මා පෙන්වා දුන් නමුත් මගේ මිත්‍රයා මහාචාර්යවරයෙක් වන නිසා මා වැනි රියැදුරෙක් කියන උපදෙස් පිළිපදින්නේ නැත. දැන් ඔහු රථය කොට උඩ තබා බුම්මාගෙන සිටියි.

මගේ තව මිතුරෙකුට තවම රථය පණගන්වා ගැනීමට බැරිව සිටී. තවත් කෙනෙකු හිත එක ඉලක්කයක නැති හෙයින් පාර පුරා යයි. තවම කෙළින් යෑමට බැරිය.

මේ කවුරුත් පාරේ වරද හා රථයේ වරද ගැන කියමින් කාලය ගෙවති. සමහරු රිවස් ගියර් එක දාගෙන ඉස්සහරට යන්න හදති. එවිට රථය ඉදිරියට නොයන්නේ බාල පැට්‍රෝල් දැමීම නිසා යැයි කියති. ඉස්සහරට යෑමට නම් ඉස්තරම් පැට්‍රෝල් දැමිය යුතුලු.

දක්ෂ රියැදුරෙක් වීමට ඉවසීම ඕනෑය. යන ගමන ගැන දැනීමක් තිබීම ද අවශ්‍යය. පාර ගැන සැකයෙන් මුසුව හැම හන්දියක් ගානේම දකින දකින අයගෙන් ප්‍රශ්න අසමින් යන්නේ පාර ගැන සැක ඇති අයයි. සැක නැතිව පාර හරි බව නිගමනය කර කෙළින්ම යන්න. වටපිට බලන්නට යෑමෙන් ඉලක්කයෙන් පිට හිත ඇදී යන්නට හැකියි.

නුවරට යන්නට ගිය අයෙකු කුරුණෑගල දී පාරෙන් පිට ඇති දේවල් නරඹන්නට විය. ඔහුගේ නෙතට ලස්සෙන කෙල්ලෙක් හසුවිය. ඔහු ගමන නතර කොට ඇය සමඟ දැන් පැල්පතක් අටවාගෙන සිටියි. වැඩිය වටපිට බලන්නට ගියොත් ගමන කෙළවර වන්නට පෙර ඔබටත් අතරමග පැල්පතක් අටවා ගන්නට සිදුවිය හැකිය. ගමන කෙළවර වෙනතෙක් ඍජුව ගියොත් පැල්පත වෙනුවට මාලිගයක පදිංචි වීමට ලැබෙන බව සිතන්න.

හෝව්! පොඩ්ඩක්! බ්‍රේක් පාගාගෙන යන්න අමාරුයි. බිය නොවී බ්‍රේක් අත්හැර ඉදිරියටම යන්න. ඔබ සමඟ යෑමට ඔබේ සිත ද එක්වෙන නිසා ඔබට තනියක් දැනෙනු නැත.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය