ඉන්න තැන කියන්න බැරි දේ නැති තැන දී කියන්න එපා

පණ්ඩිතයා පමණ දැන කතා කරයි. පදම වැඩි වෙන්නට පෙර කතාව නැවැත්වීම හෝ අන් අතකට යොමු කිරීම නුවණ ඇති අයගේ සිරිත ය.

අනුන්ගේ වැරදි ගැන කතා කරන අයගෙන් ප්‍රවේශම් වන්න. එවැනි අයට තමන්ගේ කට නතර කරගෙන ඉන්නට බැරි ය. එම නිසා අනුන් ගැන ඔබ සමඟ කියන විදියටම ඔබ ගැන ඔව්හු අනුන්ට ද කියති.

කේලාම් කීම හා ඇසීම හීනමානයේ ලක්ෂණයකි. සිඟාලයා මේ දෙකටම ඉතා දක්ෂ බව කේලම් කියා රාජ්‍යයන් පවා අහිමි වීමෙන් පෙනී යයි. ඔබ කේලම් අසන්නෙකු නොවන්න. එවිට ඔබට කේලම් කියාගෙන එන්නේ නැත. ඔබ කේලම් කියන්නෙකු නම් එය හීනමානය නිසා ඔබ කරන ක්‍රියාවක් බව අවබෝධ කරගන්න.

හොර රහසේ කේලම් කියා අනුන් කෙටවීම, අනුන්ගේ උසස්වීම් වලට හෝ කීර්ති ප්‍රශංසාදියට අකුල් හෙලීම නිසා ඔබේ දියුණුව ද ඇණ හිටින බව ඔබ දන්නවා ද?

කේලම් කියාගෙන එන අයෙකුට තවත් අයෙකු හොඳ මුහුණක් පෙන්වූවත් කවුරුත් කේලම් කියන්නා කෙරෙහි පිළිකුලක් ඇති කර ගනිති.

කේලම් කියා අනුන්ගේ හිත් දිනා ගැනීමෙන් යහපතක් වේ යැයි සිතන්නේ අඥානයෙකි. එයින් තාවකාලික යහපතක් සිදු වුවත් කේලම්කාරයාට ඉන්පසු එය පුරුද්දක් වශයෙන් ඇබ්බැහි වේ.

සමාජයේ යහපතට ඔත්තුවක් දීම, අපරාධකාරයෙකු අල්ලා ගැනීමට ආධාර කිරීම කේලමක් නොවේ. එය පුරවැසි යුතුකමකි. බොහෝ කේලම්කාරයෝ සමාජයට හිතකර එවැනි දේවල් කියන්නට ඉදිරිපත් නොවෙති. ඔව්හු ඒවා කේලම් හැටියටත් සැබෑ කේලම් හොඳ වැඩ හැටියටත් යුතුකම් හැටියටත් සලකති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 ජනවාරි 15

Advertisements

ඔය තරමට තරහ ගන්න එපා

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සෑහෙන කොටසක් අපි කාහටත් පොදුවේ ටික ටිකවත් බලපවත්වන තරහ යෑම වෙනුවෙන් වැය වේ යැයි කිවහොත් එය ඔබ එකවිටම පිළිගනීවි දැයි දන්නෙ නැහැ. ඒත් බලන්න ටිකක් විමසිල්ලෙන්. අපරාධ මර්ධන උදෙසා පොලීසි උසාවි වලටත් හදිසි පහරදීම් වලට ලක්වන අයට බෙහෙත් කරන්න රෝහල් වලටත් රජය කීයක් වියදම් කරනව ද? ඕවයින් එක සිද්ධියක් මුලටම විමසල බැලුවොත් හේතුව තරහ යෑමක් බව පෙනේවි.

මොකක් ද මේ තරහ?

මම හොඳටම දන්නවා ඔබේ කතාව වැරදි බව. ඒ උනත් ඔබ තර්ක කිරීම නවත්වන්නෙ නැහැ. අපි මුලින්ම තර්ක කළේ අපේ නම් වලින් එකිනෙකාව අමතමින්. ඊට පස්සෙ “තමුසෙ,” “අයිසෙ,” කියල ආමන්ත්‍රණය කරන්නට ගත්ත. තව ටිකක් වෙලා ගියත් ඔබ මගේ මතයට එකඟ වුනේ නැහැ. මගේ ඉවසීමේ සීමාව පැනල ඊට පස්සෙ කතා කළේ අහල පහල කාටවත් ඉන්න බැරි තරම් අසභ්‍ය වචන වලින්. හැබැයි මම ඒක තේරුම් ගත්තෙ පස්සෙයි.

මට තරහා ගියා වෙන්න ඇති.

සිතට සතුටක් නොදැනෙන සිතුවිලි වලින් පෙලෙන නොඉවසිල්ලේ අන්තයට ගිය විට අපි එයට ‘තරහ’ කියනව. තරහ කියන සිතුවිල්ල ගැන ඔබ ටිකක් සිතල බලන්න.

තරහ හදවතට දරා ගන්න බැරි සිතුවිල්ලක් නිසා ඒ ප්‍රචණ්ඩ ශක්තිය සමහරවිට අයහපත් වචන වලින් එහෙමත් නැත්නම් විශාල අකරතැබ්බයකින් මිනීමැරැමකින් අවසන් වෙන්නත් පුළුවන්.

ඔබේ දයාබර බිරිඳ එක්ක මොකක් ද එකකට අමනාප වෙලා කන්තෝරු ගිය දවස මතක ද? එදා ඔබ බස් එකක හැප්පෙන්න ගිහින් අනූනමයෙන් බේරුනා. කන්තෝරුවට ගිහින් මොකක් ද එකකට පහත් සේවකයෙකුට බැන වැදුන. ඒ මිනිහා ලොක්කට රිපෝට් කළා. පස්සෙ යාන්තම් බේරුනා.

කේන්ති සිතකින් පාරට බැහැලා කී පාරක් අමාරුවේ වැටෙන්න ගියා ද?

ඔබේ ජීවිතයේ තරහා ගිය කොතෙකුත් අවස්ථා ඇතිනෙ. එයින් එක අවස්ථාවක් ගැන වත් කල්පනා කරලා දැන් සතුටු වෙන්න පුළුවන් ද? “එදා මට තරහා ගිය එක හොඳට ගියා,” කියනවා ද? නැත්නම් “මට ටිකක් තරහා ගිහිං වැඩේ අප්සෙට් වුනා,” කියනවා ද?

ඇත්තටම තරහ යන්නේ මෝඩයන්ට කීවට ඔබ මා සමඟ අමනාප වෙන්න එපා. තරහ ගිය වෙලේ ඇඟ වෙව්ලුව හැටි මතක ද? ගහන හැටි, මරණ හැටි කී වතාවක් ඒ අවස්ථාවේ දී හිතෙන් මවා ගත්ත ද? පපුව, උගුර හිරවෙලා වගේ ගියා මතකයි නේද?

කාට ද ඒ සේරම දැනුනේ?

එහෙම හිතලා අවංකවම තරහව කියන එක ප්‍රතික්ෂේප කරන්න. හදවත කියන සරු සාර මාතෘ භූමියේ යහපත් සිතුම් ප්‍රාර්ථනා නැමති ධාන්‍ය පැළ තුලින් පැන නඟින ‘තරහ’ කියන වල් පැලෑටි ගලවලා දාන්න. මීට පස්සෙ වැවෙන්න දෙන්නම එපා. තරහ කියන්නෙ නිකම්ම නිකම් වල් පැලෑටියක් නෙමෙයි. ගෑවුන තැන් කහන්න පටන් ගන්න කහඹිලියා වගේ වල් පැලයක්. ඒවට ඉඩ නොදුන්නාම අනෙක් ශූභ ප්‍රාර්ථනා මල් පැල ඵල දරාවි. අන් අස්වනු ගෙන දේවි.

පුරුද්ද අත්හරින්න ටිකක් මහන්සි වෙන්න ඕන. ආයෙමත් හදිසියේම කේන්ති එන්න පුළුවන්. අන්න ඒ වෙලාවට මුල් ප්‍රාර්ථනාව ආයෙමත් මතක් කරගන්න. “කේන්ති යන්නෙ මෝඩයන්ට, මගේ සිත සංසුන්,” කියල කිහිප විටක් සිතට මතක් කරදෙන්න.

කෙමෙන් කේන්ති හැදීම සිතෙන් පළා යද්දී සතුට, සැනසුම විඳිමින් සංසුන්කම වර්ධනය කරගන්න.

එවිට ඔබ නිසා කවදාවත් කවුරුත් පීඩා විඳින එකක් නෑ. කවදාවත් බන්ධනාගාරවල ඉන්න කුකුල් කේන්තිකාරයෝ අතරට යන්න වෙන එකක් නැහැ. පවුල් ජීවිතය, රස්සාව වෙනදා වගේ නැතිව සතුටින් ගෙන යන්නට හැකිවේවි. සැනසුම, සතුට, සාමය තකා තරහව ප්‍රතික්ෂේප කරන්න.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1979 ජනවාරි 15

ජීවමාන දෙවියෙකු වන්නේ කෙසේද?

අපේ සිත පාලනය කිරීමට අප නොදන්නා නිසා අපේ සිත විසින් අප පාලනය කරනු ලබයි. අප සිත, ගත හ වචනය පාලනය කිරීමට නම් යටිසිත පාලනය කළ යුතුය. යටිසිත පාලනය කිරීමෙන් උඩුසිත පාලනය වේ. සිත පිරිසිදු වූ තරමට එහි පාලනය ඉතා පහසුය. අපි අපගේ හැඟීම් වලට පමණක් නොව අන් අයගේ හැඟීම් අනුව ද වහලුන් වී සිටිමු.

මිනිසෙකු මිනීමරුවෙකු වන්නේ මිනීමරැවෙකු වීමේ ආශාවකින් නොව, ඔහුගේ සිත පාලනය කර ගැනීමට නොදත් බැවිනි. මිනිසුන් වශයෙන් අප පුරුදු විය යුත්තේ මිනිසුන් මැරීම නොව මිනීමැරීමට තුඩු දෙන මිනීමරු සිතිවිලි මැරීමටය.

මිනිසා සතු තම මනස යොදවන ආකාරය අනුව ඔහුට තිරිසනෙකු හෝ ‘දෙවියෙකු’ ලෙස ද මෙම ආත්මයේ දී ම ජීවත්විය හැකියි.

ලෝක ව්‍යවහාරය අනුව “දෙවියා” යනු සෑම තැනම වැඩ සිටින, ඕනෑම දෙයක් දැකිය හැකි, උඩින් යා හැකි උසස් කෙනෙකි. මරණින් පසු එවැනි උතුම් තත්වයක් ලබන්නේ ද මිනිසාම යයි මිනිසාගේම අන්ධ විශ්වාසයයි. දෙවියකු වශයෙන් බාහිර කිසිම කෙනෙකු නොමැති නමුත්, එවැනි දේවත්වයක් ලැබිය හැක්කේ මිනිස් මනස හරිහැටියට යෙදීමෙනි. දෙවියකු නිර්මාණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිනිස් මනස තුළම සැඟවී ඇත.

කෝවිල, දේවාලය, බෝධි වෘක්ෂ, දිව්‍යලෝක ආදී තැන්වල දෙවියන් වැඩ සිටිතැයි මෝහයෙන් මුළා වූ අයගේ විශ්වාසය වුවත්, දෙවියන් වැඩ සිටින්නේ මිනිස් සිත තුල බව අවබෝධයෙන් අත්දැකීමෙන් වටහා ගැති බුද්ධියකි. තම සිත තුල සැබෑ දෙවියන් සිටින බව අවබෝධයෙන් වටහා ගන්නා බුද්ධිමතා මනඃකල්පිත දෙවියන් පෙරදැරි කරගත් කපුරාළලා විසින් කරන කන්නලව් වලින් මිනිසුන්ගේ හතර හන්දි කඩා පළිගන්නා දෙවියෙකු විශ්වාස නොකරයි. මනඃකල්පිත සෑම දෙවියෙකුම තම වාහනය වශයෙන් තිරිසන සතෙකු යොදා ගැනීමෙන්ම ඒ දේවත්වය තිරිසන් සතුන්ට නෑකම් කියන පරපුරක් ලෙස පෙනී යයි. තිරිසන් වාහන වෙනුවට නවීන බෙන්ස් කාර් හා හෙලිකොප්ටර් දෙවියන්ගේ වාහන විය යුතුය.

ශක්‍රදේවේන්ද්‍රයා ද යහපත් මිනිසාට නමස්කාර කළ බැව් අසන්නට ලැබේ.

“යෙ ගහට්ඨා පුඤ්ඤක්කරා ශිලවන්තෝ උපාසකා, ධම්මේන ධාරං පෝසෙත්ති තං නමස්සාමි මාතලී.”

දෙවියන්ගේ රජුවන ශක්‍රයා ද ගුණ දහමින් යුත් පුද්ගලයාට වඳින්නේ නම්, මිනිසාට වඳින දෙවියාට මිනිසා වඳින්නේ පුදන්නේ ඇයි? මැටි රූප දෙවිවරුන්ට ඔය තරම් බය ද?

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 ජනවාරි 15