ඉරිසියා නොකිරීම

ප්‍රතිපත්තියක පිහිටුවීමට අපේ සිත යම් අරමුණකට ගොනු කරගත යුතුය. අපි නිතරම ඉරිසියා කරන්නේ අප ළඟ නැති යමක් තවත් කෙනෙකු ළඟ තියෙනවා දැකීමෙනි. “මං කාටවත් ඉරිසියා කරන්නේ නැහැ,” කියා යම් කෙනෙක් කියනවා නම් එය බොරුවකි.

එසේම අපේ ඉරිසියාව නිතරම අප හොඳින් දන්නා අඳුනන අය වෙත පමණක් එල්ල කිරීම සිදුවේ. අප නාඳුනන අයට නිතරම හැම ලොතරැයියක දී ම මුල් දිනුම ඇදේ. එහෙත් ඒ අය කවුද කියා නොදන්නා නිසා අපට ඉරිසියාවක් හටගන්නේ නැත. එහෙත් අප හොඳින් දන්නා හඳුනන අයෙකුට ලොතරැයියක් ඇදුනොත්? එවිට අපට ඉරිසියාවක් පහළ වේ.

අපි යම් කෙනෙකුට ඉරිසියා කරන විට අපේ ස්වයං යෝජනාව වනුයේ “මට නැහැ,” යන චේතනාවයි. මේ අනුව කර්ම විපාක ලබන්නේ ඉරිසියා කරන පුද්ගලයාටය. අනිත් පුද්ගලයාගේ යස ඉසුරු වර්ධනය වීම නතර නොවේ.

ඔබ අනුන්ට ඉරිසියා කළ තරමට ඔබ පිරිහේ. ඉරිසියා නොකර ඒ අයට යහපතක් වීම ගැන ඔබත් සතුටුවුවහොත් ඒ අයගේ මෙන්ම ඔබේ යස ඉසුරු ද වර්ධනය වේ.

අල්ලපු ගෙදර අයෙක් මෝටර් රථයක් මිල දී ගැනීම නිසා ඔබ ඉරිසියා වුනාට වැඩක් නැත. ඔබ ඉරිසියා කරන්නේ ඔබට මෝටර් රථයක් නැති නිසාය. ඔබේ සිතේ තවත් වර්ධනය වෙන්නේ “මට නැත,” යන සිතුවිල්ලයි.

තම පුතා අළුත විවාහ වූ ඔහුගේ බිරියට ආදරයෙන් සංග්‍රහ කරනවා දකින මෑණියන්ට ඉරිසියාවක් පහළ වේ.මෙසේ මෝඩ විදියට තම දූ දරුවන්ට ඉරිසියා කරන මෑණිවරු තමන් රෝගීන් බවට පත්වෙමින් අනුන්ගේ සතුට බාධා පමුණුවති.

ඉරිසියාව මානසික රෝගයකි. එය ඔබේ ශරීරයට හා හදවතට දැඩි බරකි. හිතට වදයකි. ශරීරයේ ඉන්ද්‍රියයන් මනා ලෙස ක්‍රියා නොකරන තත්වයට පත්වේ.

ඇතැම් සිල්ගත් උපාසකම්මලා තමන්ට වඩා තරුණ හා රූමත් අය දකින විට “ඔය ලස්සන කන්ඩ ද? කුණු ශරීරෙ පොළවට පස්කරන්නට සිද්ධ වෙනවා,” ආදී වශයෙන් ඇනුම්පද කියති. එය ඉරිසියාව තමන්ටත් හොරා ධර්මයක වේශයෙන් තමන්ට ආරූඪ වී සිටීම බව ඒ අයට වැටහෙන්නේ නැත.

සමහරු ගමේ කෙනෙක් පොලිසීයට හෝ ග්‍රාමසේවක තනතුරකට ඉල්ලුම් කර ඇති බව දැනගත් විට ඔහු වෙත ගොස් එම රැකියාවල ඇති දුෂ්කරතා කියන්නේ ඒ පුද්ගලයාට බලවත් ආදරයක් අනුකම්පාවක් ඇති අයෙකු මෙනි. එහෙත් සත්‍යය නම් ඔහු එවැනි රැකියාවක් අනෙකෙක් කරනවාට ඇති ඉරිසියාව තම වදන් වලින් පිටකරන බවයි.

අනුන්ට ඉරිසියා කිරීම සඳහා ඔබ ප්‍රයෝජනයට ගන්නේ ඔබේම වටිනා සිතයි. එනිසා එය බලවත් සේ අපිරිසිදු වේ. ඔබට ඉරිසියා කරන අන් අයට ඔබ සමාව දිය යුතුයි. ඔබේ සිතේ කිසිම කෙනෙක් ගැන හෝ කිසිවෙකුගේ ක්‍රියාවක් ගැන හෝ කිසිම ඉරිසියාවක් තියා නොගන්න. එය ඔහුට යහපතක් වේවා යන ධනවේගයෙන් පැතීමෙන් ඔබට නිදහස් සිතක් හා පිරිසිදු ඥානයක් ලැබේ.

-1979 මැයි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

මනුස්සකම රැකගන්න

  • මෙතෙක් කල් ඔබට කරන්නට බැහැ යනුවෙන් සිතා සිටි වැඩක් කරන්න.
  • කතා නොකර සිටි පුද්ගලයා සමඟ කතා කරන්න.
  • යන්නට බිය වූ තැනට යන්න.
  • එක හොඳ ගතිගුණයක් වගා කරන්න.
  • එක වැරදි වැඩක් නතර කරන්න.

මේවා මනුස්සකම් වෙති. ඕනෑම ධර්මයක් හෝ අධර්මයක් ක්‍රියාත්මක කරන තුරු ධර්මයක් හෝ අධර්මයක් වන්නේ නැත. ඒ නිසා මනුස්සකමේ ධර්මය ක්‍රියාත්මක කරන්න.

දිනකට විනාඩි පහක් සතුටින් ඉන්න. එවිට මනුස්සකමේ අගය හඳුනාගැනීම පහසු වන්නේය.

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

මහා වර්ජනයක් වහා අරඹන්න

මනුෂ්‍යයා මිනිස්කම රැකගත යුතුය. තිරිසනා තිරිසන් වීම ස්වභාවිකය. මනුෂ්‍යයා තිරිසන් වීම භයානයකය. මිනිසා මෙන්ම තිරිසනා ද ලෝකයෙන් තුරන් වීමට මිනිසා තිරිසන් වීම හේතුවිය හැකිය.

තිරිසන් සතුන් (බල්ලන්, කපුටන්) උනුන් කන කෑම උදුරාගෙන කති. මනුස්සයා ද අනුන් සතු දේ බලහත්කාරයෙන් උදුරා ගනී. එය තම මනුෂ්‍යකමට නිගාකර ගැනීමකි.

උනුන් දුටු තැන පොරකා ගැනීම බල්ලන්, කුකුලන් යනාදී සතුන්ගේ ස්වභාවයකි. ගෙදර දී, කාර්යාලයේ දී, පොලීසියේ දී, බන්ධනාගාරයේ දී හෝ විශ්ව විද්‍යාලයේ දී අනුන්ට වද දීමෙන් අනුන් රිදවා තමන් සතුටක් ලැබීම මිනිස්කමට තමන් විසින්ම නින්දා කර ගැනීමකි.

ඔබ මනුෂ්‍යයෙකි. එය තරම් වටිනා අගේ ඇති තත්වයක් වෙන නැත. අනිකුත් මිනිසුන්ට හිරිහැර වධහිංසා පමුණුවා මිනිසත් බවට නිගා කිරීම මනුෂ්‍යයෙකුට වටින්නේ නැත.

මුදල් නොගෙවා බස් රියේ හෝ දුම්රියේ ගමන් කොට රුපියලකට දෙකකට මිනිසත්කම බාල්දු නොකළ යුතුය. හොර බොරු නැතිව ටිකට් ගෙන ගමනාගමනයේ යෙදෙන රටවල ඉතිරි මුදල් වංචා කරන්නට කොන්දොස්තරලා නැති ස්වයං ක්‍රියාකාරී ටිකට් මැෂින් දකින්නට ලැබේ.

මනුෂ්‍යයාට මිනිස්කමට ඔබින අයුරින් නොසලකන කඩ සාප්පු හිමියන් ඉන්නා රටවල බාල බඩු විකුණා මිනිසුන් රැවටීම ද සිද්ධ වේ. සැඩ පරුෂ ගති පෙන්වන වෙළඳුන්, කුලීරථ රියැදුරන්, හෝටල් හිමියන් සේ ම එවැනි රාජ්‍ය සේවකයන් ද වර්ජනය කිරීම වහා ඇරඹිය යුතුයි.

තිරිසනා තිරිසන්කමේ ඉන්නේ එය වෙනස් කරගන්නට නොහැකියාවෙනි. මිනිසා තම මිනිසත්කම රැක ගැනීමට නම් ඉගෙන ගත යුතු වීම බරපතල තත්වයකි.

මිනිසා පෙළඹවිය යුත්තේ තමන්ගේ වළ තමන්ම කපා ගැනීමට නොව තමාගේ සුබ සිද්ධියට කටයුතු කිරීම සඳහාය. ආගම් මුවාවෙන් දුප්පත් මෝඩ මිනිසුන් පිංකැට කාරයන් විසින් වර්ජනය කිරීම කාගේත් යහපත පිණිස වන්නේය. ජාති භේද, ආගම් භේද හා කුල භේද වර්ජනය ආරම්භ කළ යුතුය. මීට පෙර අපේ රටේ කරන ලද සියළුම වර්ජන වලට වඩා මෙකී වර්ජන වලින් පුද්ගලයාටත් රටටත් වැඩක් සිදුවනවා ඒකාන්තය.

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය