කවුරුත් කැමති ලොක්කා

1. අවශ්‍යයෙන්ම කළ යුතු රාජකාරිය කුමක්ද කියා දැන ගෙන, එය පැහැදිලි කොට කියා දී නැවත අදහස් වෙනස් නොකරන පුද්ගලයාට කාගේත් සහයෝගය ලැබේ.

2. හැම සේවක සේවිකාවක්ම උසස් පහත්කම් හෝ පඩි විෂමතා වලින් හෝ වෙනසක් නොමැතිව, ඔවුන් සපයන සේවයට අවශ්‍ය පුද්ගලයන් ලෙස ඔවුන්ව සලකා ගරුකරන ලොක්කාට කවුරුත් කැමතියි.

3. උසස් සේවය දැක දැක නිහඬ නොවී පැසසුම් හා උසස්වීම් ලබාදෙන ලොක්කා නියම ලොක්කෙකි.

4. එඩිතරව හා කාරුණිකව හරි වැරදි පෙන්වා දී විනය ආරක්ෂා කරන්නේ ලොක්කෙක් වීමට තමාට සුදුසුකම් ඇති ලොක්කෙකි.

-සුමනදාස සමරසිංහ, 1979 මැයි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

නරක පුරුදු

ඔබ ළඟ ඇති නරක පුරුදු නැති කරන්නට අවශ්‍ය යැයි කියමින් හැමදාම පසුතැවිලි වනවා වෙනුවට වෙනත් හොඳ පුරුදු ඇතිකර ගන්න. එවිට ඒ හොඳ පුරුදු විසින් අර නරක පුරුදු වනසා දමනු ඇත.

-සුමනදාස සමරසිංහ, 1979 ජූනි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

අපි නිතරම ආදරය කරන්නේ අපිටමය

අපි නිතරම ආදරය කරන්නේ අපිටමය. අන් කෙනෙකු පිළිබඳ ආදරයක්, පිවිතුරු ප්‍රේමයක් කියා අප රැවටෙන්නේ අපේම සිතේ අන් කෙනෙක් ගැන පහළ වූ සිතිවිල්ලකටය. අපි දරුවෙකුට ආදරය කරන්නේ ඔහු සුරතල් කිරීමෙන් අපි ලබන වින්දනය නිසායි. අනුන්ට පිහිට වීමේ මුවාවෙන් අපි සමාජසේවා කටයුතු කරන්නේ අපේම සතුට සඳහාය. මම දේශන පවත්වන්නේ කරුණු කියා දීමට ඇති තදබල ආශාව නිසාය. එයින් මා සතුටක් ලබන්නේ නැත්නම් දේශන පැවැත්වීම නොකෙරෙනු ඇත. අප දෙමව්පියන්ට ආදරය කිරීම අපේ යුතුකමක් යැයි අපිට සිතෙන නිසා අපි යුතුකමට සලකමු.

රාගයෙන් තොර, ලාභාපේක්ෂාවෙන් තොර කාහටත් එක සේ මෙත් කිරීමේ දී එක් අයෙකුට, එක් පවුලකට, එක් ජාතියකට ආදී වශයෙන් සීමාවෙන්නේ නැත. සීමාවන් ඇත්තේ එය ස්වකීය සතුට සඳහා වෙන්වී ඇතිවිට පමණයි.

-සුමනදාස සමරසිංහ, 1979 ජූලි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

නිවැරදි ගමන් මග

ලෝකයේ හරි මැද කොතැනක දැයි කෙනෙකුගෙන් ඇසූ විට තමා ඉන්නේ ලෝකයේ මැද යයි ඔහු පැවසුව හොත් එය වැරදි යයි කිව නොහැක. තවත් කෙනෙකුට ද එය එසේම කිව හැකිය. ඒ හැම දෙනාටම ලෝකය සතු හෙයිනි. ඒ එක් කෙනෙකුටවත් වෙන විශේෂ සුදුසුකම් අවශ්‍ය නැත.

අත්තන, වහ කදුරු, නියඟලා, සුදු හඳුන්, වැල් මී, සමන් පිච්ච ආදී ගස් වැල් මල් කියා වෙන් කර කියතත්, අවශ්‍ය හා අනවශ්‍යතාවය උඩ ඒ ඒ වේලා වල දී හොඳද නරක ද මිසෙක හැම විටෙකම ඒවා හොඳයි හෝ නරකයි කියා හෝ වෙන් කළ නොහැකි හේතු තමන් දැනගත යුත්තකි. අවශ්‍ය දෙයක් අවශ්‍ය විටෙක අවශ්‍ය ප්‍රමාණයකට අවශ්‍ය ප්‍රයෝජනයක් ගෙන සතුටු වීම බුද්ධි මට්ටමේ තත්වය අනුව සිද්ධ වන්නකි.

පොදු ධර්මතාවන් පිටු දැකීම, විකෘති කොට සිතීම යනු උසස් මනසක ලක්ෂණයක් නොවේ. අනවශ්‍ය හා වැරදි ලෙස පරිහරණය කොට ආපදාවන්ට ගොදුරු වීම හෝ නිසි අයුරින් ප්‍රයෝජනය ගෙන යහපත් ප්‍රතිඵල ලැබීම හෙවත් ප්‍රාර්ථනාවන් ඉටු කරගැනීම තම තම බුද්ධිමත්කම අනුව විය යුත්තක් මිස ඒ ඒ වහ කදුරු, නියඟලා, සුදු හඳුන්, වැල් මී, සමන් පිච්ච යනාදියේ හොඳ හෝ නරක නිසා නොවන බව නොවැටහෙන්නේ ද?

කෙනෙකු තව කෙනෙකුව පිළි නොගැනීම, හෙළා දැකීම, ගණන් නොගැනීම, වර්ණනා කිරීම, ස්තූති කිරීම, වැළඳ ගැනීම යනාදීන් හි දී සිත කලබල වීම යනු තම දැකීම අනුව සිද්ධ වෙන්නක් නිසා විනා අන් කිසිවෙකුගේ හොඳක් හෝ නරකක් නිසා නොවෙන බව වැටහී යතොත් උසස් ජීවිතයකට පිවිසුනා යයි කිව හැකියි.

තමාගේ සිත තමාට පාලනය කරගත හැකියාව නැත්නම් පැටලිලි සහිත ඍන වේගයන්ට ගොදුරු වී දියුණු වීමේ වෙගය අඩුවීම වැළැක්විය නොහැකියි. හැම කෙනෙක් විසින් හැම කෙනෙකුගේම සිතුවිලි හා එකට බැඳී පවතින එකම සිතුවිලි ලෝකයක අපි ජීවත්වෙමු. මේ සෑම සිතක්ම විශ්වයේ කොටසකි.  ලෝක පාලක ජීව බලය, විශ්ව ඥානය නමැති මේ සර්වබලධාරී දෙවියා කවරෙක් දැයි මෙහිදී අපි මනාව හඳුනා ගනිමු.

විදුලි තරංග එක් එක් ආකාර වලින් වැඩට සුදුසු පරිදි යොදා ගැනීමේ දී එකම කොටසක් වත් උසස් හෝ පහත් යැයි නිගමනය කළ නොහැකියි. එය සුදුසු පරිද්දෙන් යොදවා වැඩක් ගන්නකි. කොතනත් ඇත්තේ එකම විදුලි බලවේගයයි.

මිනිසා ක්‍රියා කරන කල්හි මානය නිසා චිත්ත බලය හීන කරගනියි. එකම නිවසක ඇති එකම විදුලිය යම් කාමරයක දී අහිමි කරගන්නේ කාර්මික අදක්ෂතාවයෙනි. භාවිතයේ වරදිනි.

“මම අනුන්ට ඊර්ෂ්‍යා නොකරමි. සියළු තරහ මරහ සිතින් පන්නා දමමි. මගෙන් වරදක් වූ අයගෙන් මම සමාව ඉල්ලමි. මට වරද කළ අයට මම සමාව දෙමි. සියළු අමනාපකම් සිතින් අස්කර මගේ සිත නිරෝගී කරගනිමි .. මගේ නිරෝගී සිතින් නිකුත් වන කරුණා, මෛත්‍රී රැස් ධාරා සියළු දෙනාම වෙත නිකුත් කරමි,” යනාදී සෙත් පැතීමේ සිතුවිල්ල අවංක හරි දැකීමකින් ක්‍රියාත්මක කෙරේ නම් ජීවතය නිරැප්‍රදිතව හැඩ වැඩ වේවිදැයි කියා ඔබම අත්හදා බලන්න.

-සුමනදාස සමරසිංහ, 1979 මැයි 1, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය