ඔබ මෙයා අඳුනනවා ද?

එයා හිතන විදියට ම අනිත් අයත් හිතන්න ඕනෑ. එයා කියන දේ අනිත් අය අනුමත කරන්න ඕනෑ. එහෙම නැත්නම් එයාගෙන් කාටවත් උදව්වක් ගන්න බැහැ. එයා ඕන කේලමක් අහනවා. කෙනෙක් තව කෙනෙක් ගැන කේලම් කියන්නේ ඊර්ෂ්‍යාවට බව මෙයා දන්නෙ නැහැ.

එයා හරි කැමැතියි හැමෝම එයාව මුරැංගා අත්තේ තියලා කතා කරනවාට කැමැති නම්.

එයා රටේ ලෝකෙ මිනිසුන්ට හරිම කරුණාවයි. ඒ වුනාට ගෙදර ඉන්නා අයට පෝරිසාදයෙක් වගේ තදයි.

එයා ළඟ බොරු සෝබන හරියට තියෙනවා. ලෝකෙට පේන්න වියදම් කරනවා. හැම දෙයක් ම කරන්නේ අනුන්ට ඕනාවට. අනුන්ට පේන්න. එයා කතා කරන්නෙ නිතරම තමන්ගෙ ම වර්ණනාව.

එයා ඉන්නෙ එයාගෙම ලෝකෙකයි. ඒ නිසා එයා දන්නෙ නැහැ අනිත් මිනිස්සු එයා ගැන හිතන හැටි. පුහු නම්බුව කුල මානයට මෙයා තරම් කැමති වෙන කෙනෙක් නැහැ.

මෙයා ඒ තත්වෙට පත්වෙලා ඉන්නෙ ඇයි? එයා පොත් කියවන්නෙ නැහැ. පොත් වලින් මොනවා ද ඉගෙන ගන්න තියෙන්නෙ කියලා අහනවා. එයා දැන් ඉගෙන ගන්න ඕනා ඒවා ඔක්කොම ඉගෙන ගෙන අවසානලු.

අන්න එයා ඔබට හමු වූවොත් එයාට මේ වචන ටික කියවීමට දෙන්න. එතකොට එයා දැනගනීවි “මම හිතා ඉන්නවාට වඩා ලෝකය විශාලයි” කියල.

-සුමනදාස සමරසිංහ, මනස සඟරාව

සිහිය

සිහිය උපත ලබන්නේ සිහිකල හැකි යමක් මුල් කරගෙන ය. සිතිවිලි නිකුත් නොකර සිහිය උපදින්නේ නැත. සිතිවිලි නිකුත් වීමට ප්‍රාණයක් අවශ්‍ය වේ. පළමු කොට පණ තිබෙන දැනීම යනු සිහිය යැයි කිව යුතුය. සිහිය යනු දැනීමකි. කැත්තක් ගෙන එහි තලය ගලවා ඒ වෙනුවට මිටියක් සවි කල හැකිය. කැත්ත යනු ලී මිටක් හා එයට සවි කරන ලද කැති තලය යන දෙක එකට සම්බන්ධ වූ පසු උපදින උපකරණයකි. මේ සබඳකම වෙනස් කිරීම සඳහා කැති තලය ගලවා එයට මිටියක් සවිකල හැකිය. මෙහි දී වෙනස් වූයේ ගැලවිය හැකි කොටස් ය. ලීයෙන් කල මිට වෙන්වූයේ නැත. මෙහි සිතීමේ හා දැනීමේ ශක්තිය ලී මිට හැටියට සලකන්න. එම දැනීම වෙන්කොට හඳුනාගැනීමට ඇති හැකියාව වූ ලී මිටේ කෙලවර ඇති කැති තලය හෝ තලන්නට අවශ්‍ය මිටිය සිහිය ලෙස තේරුම් ගන්න. සිහියේ ස්වභාවය තේරුම් ගත යුත්තේ සිහිය නිසා උපත ලබන අදහස් අනුව ය. සිහිය උපත ලබන්නට නම් කුමන විදියක හෝ අදහස් එයින් නිකුත් විය යුතුය.

-සුමනදාස සමරසිංහ, මනෝවිද්‍යා ලිපි එකතුව 1989

පසුබෑම තෝරාගන්නේ කවුද?

අපිට විඳින්නට සිදුවන දුක් කරදර හා බාධාවන් අත්දැකීම් හැටියට සැලකීම වැරදි ය. අත්දැකීම් ලබන්නේ අපට මුහුණ දීමට සිදුවන අසහන වලට අපි දක්වන ප්‍රතිචාරයෙනි. ජීවිතයේ දී අපට මුහුණ දීමට සිදුවන දේවල් අපමණය. එවිට අප කරන්නේ යහපත් දේවල් වලින් සතුටු වීම ය. අයපහත් දේවලින් තැවීම ය. ප්‍රේම කරන්නට ලැබුණු විට ප්‍රේම කරන අපි එය නොලැබුණු විට වෛර කරමු. අත්දැකීමක් ලැබීමට නම් වෛර කරන්නට හේතුවන තත්වයක් මතු වූ විටත් ප්‍රේමයට වෙනස්වීමට ඉඩ නොදී ඉක්මන් නොවී ඉන්න. ප්‍රේමයක් කඩා කප්පල් වූ නිසා අත්දැකීමක් ලැබීමට බැරිය. අත්දැකීමක් ලබන්නේ කඩාකප්පල් වූ තත්වයට ඔබ මුහුණ දුන් ආකාරය අනුවයි. දැඩි ලෙස ප්‍රේම කළා නම් එය වෛරයකට හැරෙන්නේ නැත.

දුක්වීමට තැවීමට ආත්ම අනුකම්පාවෙන් පුංචිවීමට මානසික ශක්තියක් අවශ්‍ය නැත. ශක්තිය අවශ්‍ය දුබල කමකින් ජය ගැනීමට ය. ඔබේ සිත තුල ඔබට ඕනෑ කරන සෑම ශක්තියක්ම ඇත. ඒවායින් ඔබ ඉස්මතු කරන්නේ කුමක් ද? ධෛර්යය අවශ්‍ය තැන පසුබෑම තෝරා ගන්නේ කවුද?

-සුමනදාස සමරසිංහ, මනෝවිද්‍යා ලිපි එකතුව 1989

වැදගත්කම සිතට ගන්න

කැලිකසල ඉවත් කොට යම් ස්ථානයක් සුද්ධ පවිත්‍රව තැබීම වැදගත් කාර්යයක් බව සිතට ගත් තැනැත්තා එම ස්ථානය වාසයට සුදුසු දැකීමට ප්‍රිය උපදවන තැනක් බවට හරවයි. ඕනෑවට එපාවට කටයුතු කරන්නේ තමන් කරන්නේ සේවයක් බව නොදන්නා අයෙකි. සේවයක් නම් එය ඉතා වැදගත් කටයුත්තකි.

කසල ශෝධකයන් වැඩ වර්ජනය කරන තුරු එම සේවයේ අගය අන් අයට වැටහෙන්නේ නැත. අන්තිම පහත් යැයි ඔබ සිතන සේවය අපට නැතුවම බැරි උසස් ම සේවයකි. එය පහත් යැයි සිතන්නේ එය ඉටු කිරීම සඳහා විශේෂ ඉගෙනීමක් හෝ පුහුණුවක් අවශ්‍ය නැති බැවිනි.

විශේෂ ඉගෙනීම හා පුහුණුව ලබා සිටින අයගෙන් කී දෙනෙක් තමන් සතු වගකීම, යුතුකම, රාජකාරිය උසස් අන්දමින් ඉටු කරනවා ද?

-සුමනදාස සමරසිංහ, මනෝවිද්‍යා ලිපි එකතුව 1989