මේ රජයේ වැඩ ගැන ඔබ මොකද කියන්නේ?

කොයි රජයත් එක ය. කියන දේවල් කරන්නේ නැහැ. කරන දේවල් කියන්නේ ද නැහැ. මිනිසුන්ගේ වරද මිස රජයේ වරදක් මට පෙනෙන්නේ නැත. කාටත් ඕන තමන් හැදෙන්නට ය. රට හදන්න නොවේ. මේ රජය වෙනුවට වෙන කාව ද පත්කරගන්නේ කියා සිතීමට ද බැරි ය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අප්‍රේල් 1

වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම වැරදි වැඩකි

වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම වැරදි වැඩකි. ඒ නිසා අපට වරදක් නොකරන අපේ සිතට අපි දඬුවම් නොදී සිටිමු.

අපි කවුරුත් තෑගි ලැබීමට ආශා කරමු. එසේ නම් අපි තෑගි දීමට ද ආශා කළ යුතුය. තෑගි නොදී තෑගි ලැබීමට සිතීම එතරම් සාර්ථක නොවන සිතීමකි. බිළිඳු දරුවන්ට අපි ආදරය කරන්නේ ඔවුන් ගෙන් අපට ලැබෙන හුරතලයට නිසාය. කුඩා දරුවාට දීමට ඇති ලොකුම තෑග්ග හුරතලයයි. අපි ආදරය කරන අය පෙරලා අපට ආදරය කරති. එහෙත් තරුණ අය ගෙන් වැඩි දෙනා මෙය වරදවා තේරුම් ගෙන සිටිති. ඔව්හු තමන් ආශා කරන පුද්ගලයෙකුට ඉතා ආදරය බව පවසති. එහෙත් ඒ අය පෙරලා තමාට ආදරය කරන්නේ නැතිලු.

කෙනෙකුගේ රූපයට ආසා කිරීම යනු ඔහුට හෝ ඇයට ආදරය කිරීම නොවේ. මෙහි දී ඔබ කරන්නේ තෑග්ගක් දීම නොව තෑග්ගක් ලැබීමට ආසා කිරීමය. තමන් ආශා කරන අයෙකුට ආදරය කිරීම ඉතා පහසුය. එහෙත් එසේ අන් අයෙකුට ආශා කරන්නේ ඇයි? කුමන කාරණයක් මුල් කරගෙන ද? සිතට එකඟව එම ප්‍රශ්නයට පිළිතුරු දීමට යන කෙනෙකුට එතැන පහළ වී ඇත්තේ කාම ආශාවක් මිස පිරිසිදු ආදරයක් නොවන බව වටහා ගත හැකිය.

මානසික ධර්මයන් අවබෝධ කරගන්නා අය අන් අයට වරද පටවන්නේ නැත. ‘අපේ’ මනස අවුල් වුවහොත් ‘අපි’ මොනවා නොකරයි ද? හැම කෙනෙක්  තමන්ගේ මනස නිරෝගී ව තබා ගැනීමට ඉගෙන ගන්නේ නැත. එහෙත් හැමෝම මෝඩ වැඩ කරන නිසා මෝඩයාට සමාව දීම ඉතා අගනා තෑග්ගකි. තමාගේ සිතට තමාට දිය හැකි ලොකුම තෑග්ග නම් එය සතුටින් තබා ගැනීමයි. එය නිති කරන්නට ඉගෙන ගැනීමයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1984 ජනවාරි 1

දර්ශිකාගේ සටහන් වලින්

* මිනිසාගේ සැප හෝ දුක යනු ඔහුගේ චේතනාවේ ප්‍රතිඵලයන් ය.

* හතුරන් හා වැරදි කරන අය ගැන තැවෙන්න එපා. ඔවුන් සිතන පතන අන්දමට ඔවුන්ට වැඩ හෝ අවැඩ සිද්ධ වේ.

* උතුමන්ට ගරහා තමා උතුමෙකු වූ අයෙකු නැත.

* තමන් නොදන්නා බව නොදන්නා අය අනුන්ට නිර්නාමික ලිපි යවති.

* දක්ෂයෙකුට ඊර්ෂ්‍යා කරන්නේ අදක්ෂයෙකි.

* ඔබ විශ්වාස කරන බව කටින් කීවාට මදි. එය හද පතුලෙන් පැන නැඟිය යුතුය.

* සිතේ ක්‍රියාකාරීත්වය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැත. ඒ නිසා ඔව්හු යමක් ඉෂ්ඨ වූ කළ එය තමන්ගේ “වාසනාවට සිද්ධ වුනා” යැයි කියති.

* බුදු හිමියන්ට ආගමක් තිබුනේ නැත.

* සෑම බාධකයක් තුල ම දියුණුවට අවශ්‍ය වූ කාරණයක් සැඟ වී ඇත.

*මෝඩයන් ලවා වැඩගන්නට ඥානවන්තයින්ට බැරි ය.

* අසත්‍යයකින් ඔබ රැවටෙන්නට ඉඩ තිබේ. එහෙත් සත්‍යය නිතරම පුද්ගලයා නිදහස් කරයි.

* මිනිසුන් කොතරම් හොර බොරු වංචා කළත්, ඔබේ සිත ඔබට එසේ නොකරයි.

* විද්‍යානුකූලව අසත්‍ය බව ඔප්පු කර ඇති කිසිවක් සත්‍යයක් යැයි විශ්වාස කරන්න එපා.

* තමන්ට නොවැටහෙන යමක් විශ්වාස කරනවාට වඩා එය වටහා ගැනීමට වෑයම් කිරීම උතුම් ය.

* ඔබට තදබල ඕනෑකමක් තිබේ නම් ඕනෑම දුෂ්කර ප්‍රශ්නයකින් ගොඩ එන්නට ඔබට පුළුවන.

* සැබෑ විශ්වාසය යනු අතට ම අසු නූනත්, ඇහැට ම නොදැක්කත්, තර්කයට එකඟ නූනත් විශ්වාස කිරිම ය.

* යමක් නොදී යමක් ලබා ගැනීමට බැරි ය. සුවය ලබන බවට සිතට විශ්වාසය දෙන්න. එවිට සුවය ලැබේ.

* මෝඩයෙකුට තවත් මෝඩයෙක් එකඟ වීම පුදුමයක් නොවේ. එහෙම එකතු නූනොත් තමයි පුදුමය.

* ඔබේ සිතට නිෂ්පාදන ශක්තිය ලබා දිය යුතුය. එසේ නැත්නම් ඔබ වැය කරන ශ්‍රමය අපතේ යයි.

* ඔබ සොයන්නේ කුමක් ද? ඒ දෙය මේ දැන් ඔබ සොයා එනු ඇතැයි විශ්වාස කරන්න.

සුමනදාස සමරසිංහ පැවැත් වූ දේශන ඇසුරිනි. චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1978 ඔක්තෝබර් 15 වැනිදා

සුමනදාස සමරසිංහයන්ගේ ජන්ම දිනය සමරමු!

“චේතනාව තමන්ගේ කර්මය හා අනුන්ගේ කර්මය බව නොදන්නාකම ලෝකයේ සියළුම දුකට හේතුවයි,” යැයි ‘මිනිස් හිතේ හාස්කම්’ පොත් පෙළේ කර්තෘ සුමනදාස සමරසිංහ  විසින් 1984 දී කීය. සිත පිළිබඳ අවබෝධයක් නොමැති කම සියළු ම දුකට හේතුවයි කියූ ඔහු තවත් ශතක දෙකකට ආසන්න කාලයක් පුරා සිත ගැන කියා දෙන්නට දිනපතා වෙහෙසියෙකි. සියළු දුකට හේතුව අවිද්‍යාව නොහොත් නොදන්නාකමයි. නොදන්නේ තමන්ගේ සිත්වල ඇති දුකට හේතු වූ සිතුවිලි හා දුක නැති කර ගැනීමට සඳහා ඥානය අවශ්‍ය බවයි. ඒ ඥානය පාදා ගනු පිණිස උපකාරයට ගන්නට ඔහු සරල සිංහලෙන් පොත් 40 කට අධික ප්‍රමාණයක් ඥානය සොයා යන්නා වෙත ඉදිරිපත් කළේය.

දිවයින හැම අත දේශන පවත්වමින් ඔහු සිය අසන්නන්ට මතක් කළේ නිතර නිතර තමන්ගේ නැති බැරිකම් ගැන නොසිතා ඒවා ජයගන්නා මාර්ග ගැන සිත යොමු කරන්න කියායි. එසේ සිත ජය මඟක ගෙන ගියවුන් නැති බැරිකම් ජයගත්හ. තම උන්නතිය සලසන මාර්ගයන් උපත ලබන්නේ තමන් සිත තුලම නිසා ඒ මාර්ගයන් සොයා යන්නට වෙහෙසෙන්න යැයි හේ සිය අනුගාමිකයන්ට නිතර මතක් කළේය. ජය මාර්ගයට යන අදහස් උපදින්නට නම් සිත තුල දුක් කරදර වලින් පුරවා ගෙන ඉන්න එපා යැයි ද හේ කියා දුන්නේ ය. ඔහු වටා එකතු වූ අයට නිතර නිතර සිත සහනයෙන් සහ සතුටින් තබා ගැනීමට හැකියාව ලැබිණ.

අනුන් කළ වැරදි නිසා තමන්ට සිදු වූ පාඩු, අලාභ හානි, නින්දා හෝ ශෝකය විඳ දරා ගන්න අය ඔහු හමුවන්නට ආවේ දුක තුනී කරගන්නේ කෙසේදැයි විමසන්නට ය. ඔහු ඔවුනට කිව්වේ ඒ දුක් කරදර තමන් විඳ දරා ගත යුතු නොවේ යැයි කියාය. අයෙකු කළ වරදකින් ඔබේ සිත පෑරුනාට වරද කළේ  වෙන අයෙක් නම් පෑරෙන්නට ඕනෑ ඒ අයගේ සිත නේද යැයි ඔහු විමසීය. වරද කළ පුද්ගලයා සතුටින් ඉන්නේ නම් ඇයි ඔබ දුකින් ඉන්නේ යැයි ඔහු එවන් අයගෙන් හාර හාරා ප්‍රශ්න කළේය. අනුන්ට පාරන්නට හෝ පහරන්නට ඔබේ සිතේ ඉඩක් දෙන්න එපා යැයි ඔවුන්ට වැටහෙන තුරු අනේක විධි වලින් ඔහු කියා දුන්නේ ය. දුකින් ඉන්නා අයව සිනහා ගස්සවමින් “ඔබට හොඳට ම රිදී ඇතැයි සිතා සිටින අයට පෙන්වන්න ඔබට තියෙන්නේ රිදී නොව රත්තරන්,” යැයි ඔහු කියා සිටියේය.

ඔහු උපන්නේ සැප්තැම්බර් මාසයේ ය. 2002 දී මෙලොවින් සමුගත්ත ද, ඔහු ලියූ පොත්පත් කියවන්නට හා ඔහුගේ හඬින් පටිගත වූ දේශන අසන්නට තවමත් විශාල පිරිසක් එකතු වෙන්නේ කාලයකට සීමා නොවූ මිනිස් සිතේ හාස්කම් ගැන ඒවායෙන් කියැවෙන හෙයිනි. ඒ පොත් හා හඬ පටිගත කැසට් පටි සැප්තැම්බර් 18 වැනි දා සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ දී B ශාලාවේ 119 120 129; D ශාලාවේ කුටි අංක 172-177; H ශාලාවේ කුටි අංක 374-375 සහ G ශාලාවේ කුටි අංක 285 286 දී ද ඔබට මිල දී ගත හැකියි.

මිනිස් හිතේ හාස්කම් වලින් ජීවිතය ජයගන්නා අය හා එකතු වී සුමනදාස සමරසිංහයන්ගේ ජන්ම දිනය සමරන්නට යැයි මේ ආරාධනය!