කරැම ලෙඩ

ඉස්සර කාලේ වාහන නොතිබුණු නිසා කිසිවෙකු වාහන අනතුරකින් මළේ නැත. වැඩි දෙනා මළේ පණු රෝග, වසංගත, සර්ප විෂ, විෂබීජ නිසා සහ දරැවන් ලැබෙද්දී ය. එසේ මළේ විෂබීජ නාශක, බෙහෙත් විදින කටු, ලේ දීමේ ක්‍රම, ශල්‍යකර්ම සඳහා එක්ස් රේ, යකඩ පෙනහැල්ල යනාදිය නොතිබුණු බැවිනි.

දැන් බෙහෙත් හා උපකරණ නිසා ආයු දීර්ඝ කරගත හැකි වී තිබේ. පෙර කරැමය නිසා වලිප්පුව, පිටගැස්ම ආදී රෝග වලින් ළමයි මිය යන්නේ නැත.

වැසිකිළි ක්‍රමය නිසා පාචන, කොකුපණු හා වෙනත් රෝග රාශියක් අතුරැදහන් වී තිබේ. බොහෝ රටවල මැලේරියා වසංගත හා බරවා යන රෝග ගැන ලකුණක් හෝ නැත.

එහෙත් නූගත් ජනයා තමන්ට ලෙඩ දුක් කරන යකුන්, ප්‍රේතයින්, ග්‍රහයින් හා ඇති පෙර කරැම විපාක ගැන සිතමින් හා කියමින් කාලය කා දමති. නුවණ ඇති ජනයා හදවත් බද්ධ කරමින් මරණාසන්න අයට ජීවිතය දානය කරති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1983 අගෝස්තු 1

අන්තෝ ජඨා බහිජඨා

අභ්‍යන්තර වශයෙන් සිත තුල අවුල් හා බාහිර වශයෙන් ජීවිතය අවුල් කරගෙන කෙළවරක් නැති අවුල් වියවුල් වලින් පීඩිත වූ ජනයාගෙන් ලංකාවට අඩුවක් පාඩුවක් නැත. ඉතා හොඳින් සැපසේ ජීවත්වීමට හැකි මිනිස්සු අනුන් සමඟ ආරවුලක් ඇතිකරගෙනය. එසේ නැත්නම් තමන් ගැන වැරදි අදහස් ඇතිකරගෙන දුක්වෙති.

අභ්‍යන්තර අවුල් නැතිව බාහිර අවුල් අඩු කරගෙන ජීවත්වන්නේ ඉතා ටික දෙනෙකි. ඒ අය දිවා රාත්‍රී දැනුම, ඥානය හා දියුණුව ගැන වෙහෙස වෙති. මේ අයට ඉරිසියා කරමින් හා හැකිතරම් බාධා කරදර කිරීම සඳහා හොරකම් ඇතුළු වෙනත් කඩාකප්පල් වැඩ කරමින් හිරගෙවල් පුරවන අය ආදී වශයෙන් අවුල් පිට අවුල් ඇතිකරගෙන වාසය කරන ජනයා මුලා කරන්නට මාන බලන අය ද සිටිති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1 වැනිදා

වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම වැරදි වැඩකි

වරදක් නොකළ අයෙකුට දඬුවම් දීම වැරදි වැඩකි. ඒ නිසා අපට වරදක් නොකරන අපේ සිතට අපි දඬුවම් නොදී සිටිමු.

අපි කවුරුත් තෑගි ලැබීමට ආශා කරමු. එසේ නම් අපි තෑගි දීමට ද ආශා කළ යුතුය. තෑගි නොදී තෑගි ලැබීමට සිතීම එතරම් සාර්ථක නොවන සිතීමකි. බිළිඳු දරුවන්ට අපි ආදරය කරන්නේ ඔවුන් ගෙන් අපට ලැබෙන හුරතලයට නිසාය. කුඩා දරුවාට දීමට ඇති ලොකුම තෑග්ග හුරතලයයි. අපි ආදරය කරන අය පෙරලා අපට ආදරය කරති. එහෙත් තරුණ අය ගෙන් වැඩි දෙනා මෙය වරදවා තේරුම් ගෙන සිටිති. ඔව්හු තමන් ආශා කරන පුද්ගලයෙකුට ඉතා ආදරය බව පවසති. එහෙත් ඒ අය පෙරලා තමාට ආදරය කරන්නේ නැතිලු.

කෙනෙකුගේ රූපයට ආසා කිරීම යනු ඔහුට හෝ ඇයට ආදරය කිරීම නොවේ. මෙහි දී ඔබ කරන්නේ තෑග්ගක් දීම නොව තෑග්ගක් ලැබීමට ආසා කිරීමය. තමන් ආශා කරන අයෙකුට ආදරය කිරීම ඉතා පහසුය. එහෙත් එසේ අන් අයෙකුට ආශා කරන්නේ ඇයි? කුමන කාරණයක් මුල් කරගෙන ද? සිතට එකඟව එම ප්‍රශ්නයට පිළිතුරු දීමට යන කෙනෙකුට එතැන පහළ වී ඇත්තේ කාම ආශාවක් මිස පිරිසිදු ආදරයක් නොවන බව වටහා ගත හැකිය.

මානසික ධර්මයන් අවබෝධ කරගන්නා අය අන් අයට වරද පටවන්නේ නැත. ‘අපේ’ මනස අවුල් වුවහොත් ‘අපි’ මොනවා නොකරයි ද? හැම කෙනෙක්  තමන්ගේ මනස නිරෝගී ව තබා ගැනීමට ඉගෙන ගන්නේ නැත. එහෙත් හැමෝම මෝඩ වැඩ කරන නිසා මෝඩයාට සමාව දීම ඉතා අගනා තෑග්ගකි. තමාගේ සිතට තමාට දිය හැකි ලොකුම තෑග්ග නම් එය සතුටින් තබා ගැනීමයි. එය නිති කරන්නට ඉගෙන ගැනීමයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1984 ජනවාරි 1

සුමනදාස සමරසිංහයන්ගේ ජන්ම දිනය සමරමු!

“චේතනාව තමන්ගේ කර්මය හා අනුන්ගේ කර්මය බව නොදන්නාකම ලෝකයේ සියළුම දුකට හේතුවයි,” යැයි ‘මිනිස් හිතේ හාස්කම්’ පොත් පෙළේ කර්තෘ සුමනදාස සමරසිංහ  විසින් 1984 දී කීය. සිත පිළිබඳ අවබෝධයක් නොමැති කම සියළු ම දුකට හේතුවයි කියූ ඔහු තවත් ශතක දෙකකට ආසන්න කාලයක් පුරා සිත ගැන කියා දෙන්නට දිනපතා වෙහෙසියෙකි. සියළු දුකට හේතුව අවිද්‍යාව නොහොත් නොදන්නාකමයි. නොදන්නේ තමන්ගේ සිත්වල ඇති දුකට හේතු වූ සිතුවිලි හා දුක නැති කර ගැනීමට සඳහා ඥානය අවශ්‍ය බවයි. ඒ ඥානය පාදා ගනු පිණිස උපකාරයට ගන්නට ඔහු සරල සිංහලෙන් පොත් 40 කට අධික ප්‍රමාණයක් ඥානය සොයා යන්නා වෙත ඉදිරිපත් කළේය.

දිවයින හැම අත දේශන පවත්වමින් ඔහු සිය අසන්නන්ට මතක් කළේ නිතර නිතර තමන්ගේ නැති බැරිකම් ගැන නොසිතා ඒවා ජයගන්නා මාර්ග ගැන සිත යොමු කරන්න කියායි. එසේ සිත ජය මඟක ගෙන ගියවුන් නැති බැරිකම් ජයගත්හ. තම උන්නතිය සලසන මාර්ගයන් උපත ලබන්නේ තමන් සිත තුලම නිසා ඒ මාර්ගයන් සොයා යන්නට වෙහෙසෙන්න යැයි හේ සිය අනුගාමිකයන්ට නිතර මතක් කළේය. ජය මාර්ගයට යන අදහස් උපදින්නට නම් සිත තුල දුක් කරදර වලින් පුරවා ගෙන ඉන්න එපා යැයි ද හේ කියා දුන්නේ ය. ඔහු වටා එකතු වූ අයට නිතර නිතර සිත සහනයෙන් සහ සතුටින් තබා ගැනීමට හැකියාව ලැබිණ.

අනුන් කළ වැරදි නිසා තමන්ට සිදු වූ පාඩු, අලාභ හානි, නින්දා හෝ ශෝකය විඳ දරා ගන්න අය ඔහු හමුවන්නට ආවේ දුක තුනී කරගන්නේ කෙසේදැයි විමසන්නට ය. ඔහු ඔවුනට කිව්වේ ඒ දුක් කරදර තමන් විඳ දරා ගත යුතු නොවේ යැයි කියාය. අයෙකු කළ වරදකින් ඔබේ සිත පෑරුනාට වරද කළේ  වෙන අයෙක් නම් පෑරෙන්නට ඕනෑ ඒ අයගේ සිත නේද යැයි ඔහු විමසීය. වරද කළ පුද්ගලයා සතුටින් ඉන්නේ නම් ඇයි ඔබ දුකින් ඉන්නේ යැයි ඔහු එවන් අයගෙන් හාර හාරා ප්‍රශ්න කළේය. අනුන්ට පාරන්නට හෝ පහරන්නට ඔබේ සිතේ ඉඩක් දෙන්න එපා යැයි ඔවුන්ට වැටහෙන තුරු අනේක විධි වලින් ඔහු කියා දුන්නේ ය. දුකින් ඉන්නා අයව සිනහා ගස්සවමින් “ඔබට හොඳට ම රිදී ඇතැයි සිතා සිටින අයට පෙන්වන්න ඔබට තියෙන්නේ රිදී නොව රත්තරන්,” යැයි ඔහු කියා සිටියේය.

ඔහු උපන්නේ සැප්තැම්බර් මාසයේ ය. 2002 දී මෙලොවින් සමුගත්ත ද, ඔහු ලියූ පොත්පත් කියවන්නට හා ඔහුගේ හඬින් පටිගත වූ දේශන අසන්නට තවමත් විශාල පිරිසක් එකතු වෙන්නේ කාලයකට සීමා නොවූ මිනිස් සිතේ හාස්කම් ගැන ඒවායෙන් කියැවෙන හෙයිනි. ඒ පොත් හා හඬ පටිගත කැසට් පටි සැප්තැම්බර් 18 වැනි දා සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේ දී B ශාලාවේ 119 120 129; D ශාලාවේ කුටි අංක 172-177; H ශාලාවේ කුටි අංක 374-375 සහ G ශාලාවේ කුටි අංක 285 286 දී ද ඔබට මිල දී ගත හැකියි.

මිනිස් හිතේ හාස්කම් වලින් ජීවිතය ජයගන්නා අය හා එකතු වී සුමනදාස සමරසිංහයන්ගේ ජන්ම දිනය සමරන්නට යැයි මේ ආරාධනය!