නීති දමා සිත පිරිසිදු කිරීමට බැරිය

රටක, සමාජයක හොඳකම හෝ නරකකම ඒ රටේ, සමාජයේ ජනයාගේ සිතුම් පැතුම් අනුව නිශ්චය කළ යුතුය.

මිනිසාගේ සිතුම් පැතුම් හොඳ නම් එය රටක් නොව සුරපුරයකි. එහි වැසියෝ දෙවියෝය. ඔවුන්ගේ ඕනෑ එපාකම් වැඩි වෙහෙස මහන්සියක් නැතිව ඉටුවේ. ඔවුන්ගේ කාලය යහපත් සිතුම් පැතුම් සඳහාම වැය කළ හැකිය.

මිනිසාගේ සිතුම් පැතුම් නරක නම් එය රටක් නොව අපායකි. එහි වැසියෝ යමපල්ලන් ඇතුළු පව්කාරයන්ය. ඔවුන්ගේ ඕනෑ එපාකම් කොයි තරම් වෙහෙස මහන්සි වුවත් ඉටුකරගත නොහැකියි. ඔවුන්ගේ කාලය අනුන්ගේ දේ උදුරා ගැනීමට, මත් වී සිටීමට, දුක් විඳීමට, බයෙන් හා සැකයෙන් පීඩා විඳීමට වැයවේ.

සමාජය හොඳ සමාජයක් වන්නේ ඉරිසියා, ක්‍රෝධ, වෛර ආදිය තුරන් වීමෙනි. ඒවා තුරන්කර ගන්නේ පුද්ගලයාය. පුද්ගලයාගේ සිත් සතන්වල යහපත් චේතනා බලහත්කාරයෙන් හෝ නීති මඟින් හෝ රෝපණය කළ නොහැකිය. නරක වැඩ කළහොත් අපායට යනවා යයි කියා කුඩා ළමයින් නරක වැඩ වලින් වළක්වාගත හැකිය. එහෙත් කුඩා ළමයා ලොකු මිනිසෙකු වී අපායට ඇති බිය නැති කරගනී. එවිට ඔහු හැම නරක වැඩක්ම බිය නැතුව කරයි.

බිය නිසා නරක වැඩ නොකර සිටීමෙන් හොඳක් සිදුවන්නේ සමාජයටමය. පුද්ගලයාට එයින් සිදුවන්නේ අයහපතකි. ඔහුගේ චේතනාව තමා කැමති දෙය කිරීමට ඇති බියයි. බියවීම කුසල් සිතක් නොව අකුසල් සිතකි. පාපයට බියකර තැබීම අබෞද්ධ නොහොත් බුද්ධියට ගෝචර නොවන ක්‍රියාවකි.

පාපය යනු තමා පෙළන විෂක් බව අවබෝධ කරගෙන දුක්විඳීම මේ මොහොතේ සිදුවන බව තේරුම් කරදීම අපායට බියකර තබනවාට වඩා යහපත්ය.

සුමනදාස සමරසිංහ, 1979 ජනවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

Advertisements

අන්තෝ ජඨා බහිජඨා

අභ්‍යන්තර වශයෙන් සිත තුල අවුල් හා බාහිර වශයෙන් ජීවිතය අවුල් කරගෙන කෙළවරක් නැති අවුල් වියවුල් වලින් පීඩිත වූ ජනයාගෙන් ලංකාවට අඩුවක් පාඩුවක් නැත. ඉතා හොඳින් සැපසේ ජීවත්වීමට හැකි මිනිස්සු අනුන් සමඟ ආරවුලක් ඇතිකරගෙනය. එසේ නැත්නම් තමන් ගැන වැරදි අදහස් ඇතිකරගෙන දුක්වෙති.

අභ්‍යන්තර අවුල් නැතිව බාහිර අවුල් අඩු කරගෙන ජීවත්වන්නේ ඉතා ටික දෙනෙකි. ඒ අය දිවා රාත්‍රී දැනුම, ඥානය හා දියුණුව ගැන වෙහෙස වෙති. මේ අයට ඉරිසියා කරමින් හා හැකිතරම් බාධා කරදර කිරීම සඳහා හොරකම් ඇතුළු වෙනත් කඩාකප්පල් වැඩ කරමින් හිරගෙවල් පුරවන අය ආදී වශයෙන් අවුල් පිට අවුල් ඇතිකරගෙන වාසය කරන ජනයා මුලා කරන්නට මාන බලන අය ද සිටිති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1 වැනිදා

BMICH හි දී සුමනදාස සමරසිංහ රචිත පොත් මිල දී ගත හැකියි

BMICH හි දී සැප්තැම්බර් 14 සිට 22 දක්වා පහත වෙළඳ කුටි වල දී මිනිස් සිතේ හාස්කම් ඇතුළු සුමනදාස සමරසිංහ විසින් රචිත පොත් මිල දී ගත හැකියි.

සමයවර්ධන පොත්හල A35, D 119/120/129, H 350/351

නිකොලි පොත්හල J 408

සමාධි පොත්හල D 216/217

සරසවි පොත්හල

එම්. ඩී. ගුණසේන