ගොත ගැසීම ජයගන්න

ගොත ගසන අයෙකු තුල පවතින්නේ මානසික ගැටුමකි. ගොත ගසන අයෙකුට සවන් දී සිටින්න. ඔහු හෝ ඇය තමාට කතා කරන්නට ඉඩ නොදෙන බලවේගයකට විරුද්ධව කතා කරන්නට වෑයම් කරන බවක් මුහුණේ මාංශ පේශී වලින් පිළිබිඹු කරයි. මේ හේතුන් බාහිර නොවන අභ්‍යන්තරයේ පවතින ඒවාය.

තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති උවමනාවට එරෙහිව ලැජ්ජාව ඉස්මතු වීම නිසා කතා කරගන්නට බාධාවක් සිත තුලින් ම එයි.

කතා කිරීමේ අවශ්‍යතාවයට එරෙහි වූ නිශ්ශබ්දතාවයට ඇති අවශ්‍යකම එකතු කළ විට ලැබෙන උත්තරය ගොත ගැසීමයි.

කුඩා දරුවන් කතා කිරීමට පුරුදු වන්නේ කටින් පිට කළ හැකි වචන වලින් නිකුත් වන ශබ්දයට ඇති ආශාව නිසාය. “ආ” යයි කීම නිසා විශාල සතුටක් ලබන දරුවා එයට තවත් අකුරක් නොහොත් ශබ්දයක් එකතු කොට “අම්” කියා ඉන්පසු “අම්මා” කීමෙන් අධික සතුටක් වින්දනයක් ලබයි. එමෙන්ම ගොත ගසා යමක් කීමෙන් එක්තරා විදියක සුරතල් හඬක් පිටවේ. එයට වැඩිහිටියන්ගේ අනුබලයක් ලැබුනොත් හුරතල් වීමට කැමති දරුවා ගොත ගසා කතා කිරීම පුරුද්දක් කරගනියි.

හදිසි බිය නිසා කෙනෙකුට කතා කරගන්නට බැරිවේ. බිය යනු ඉහත කී විදියේ ගොත ගැසීමෙන් ලබන විනෝදයට එරෙහි වූ තත්වයකි. බියට පත් වූවෙකු නිතරම වෑයම් කරන්නේ එම භීතියට හේතු වූ කාරණය සිතින් යටපත් කර දැමීමටය. එම වෑයම ගොත ගැසීමට හේතු වේ. බියට පත් වූ සිද්ධිය නැවත සිහි කොට බිය තුරන් කළ පසු ගොත ගැසීම නතර වේ. කෙනෙකුට ඇති වූ බයක් යටපත් කරගෙන සිටීම බියගුළු කමක් නොවේ.

බිය ඇතිවීම සත්වයාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය කාරණයකි. බිය පහළ වීම නිසා සටන් කිරීම, පළා යාම හෝ සැඟවීමට සිත්දෙයි. බය නිසා සැඟවීමට සෙලවීමට බැරිවේ. කතා කරගත නොහැකිය. තොල කට වියලේ. මෙසේ වන්නේ තමන්ගේ ම ආරක්ෂාවටය. නැත්නම් කෑ ගසා බිය වූ බව හෙළි කළහොත් සතුරාට සැඟ වී සිටින ස්ථානය සොයාගත හැකි වන්නේය.

නොදත්කම නිසා කරන ලද ලිංගික ක්‍රියාවක් වැරදි වැඩක් හෝ පාපයක් හැටියට යටි සිතට කා වැදීම නිසා ගොත ගසන අය සිටිති.

දෙමාපියන්ගේ ආරක්ෂාව නොමැති බවත් හැඟීම හෝ ආදරය අඩුවේ යැයි සිතීම නිසා බලවත් සිත් වේදනාවට පත්වන කුඩා දරුවන් පසු කාලයක දී කතා කරන්නේ ගොත ගසමිනි.

යම් කෙනෙක් ගොත ගසනවා නම් ඊට වරදකරුවා කුඩා කල ඇති දැඩි වූ පරිසරයේ සිටි වැඩිහිටියෙකුගේ බොළඳ ක්‍රියාවකි. එහෙත් මෙය කියවන ඔබ වරදකරුවා සමඟ වෛර බැඳ ගැනීමෙන් ඔබේ ගොතය තවත් වැඩිවේ.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1978 අගෝස්තු 1

Advertisements

දවසක මං උඹට හොඳ පාඩමක් උගන්වනවා

එදාට උඹට තේරෙයි මං කව්ද කියලා.

රැවටෙන්න එපා. ඉහත සඳහන් විදියට කියන පුද්ගලයා ගුරුවරයෙකු හෝ යමක් කියා දීමට ඉගැන්වීමට හැකි අයෙකු නොවේ. ඔහු දුර්වලයෙකි. කවදා හෝ කෙනෙකුට විපතක් කරන්නට ඔහු පෙළඹෙනු ඇත. මේ විදියට කියන අය මානසික රෝහලක හෝ සිරගෙයක පදිංචි වීමට පෙරුම් පුරන්නෝය. කෙනෙකුට දඬුවමක් කිරීම හෝ සිත රිදවීම යනු පාඩමක් ඉගැන්වීම යයි ඔහුගේ නිගමනය වී ඇත. එමනිසා ඉහත සඳහන් විදියට කතා කරන අයගෙන් ඈත්වන්න.

ඔබ ඉහත කී විදියට කියන කෙනෙක් නම් වහාම එසේ කීම නතර කරන්න. අනුන්ට හොඳ පාඩමක් ඉගැන්වීමට පෙර ඔබට හොඳ පාඩමක් මම කියා දෙමි. ඔබේ කෝපය නිසා ඔබට කවදා හෝ විපතක් සිදුවේ. පෙර කී විදියට ඔබ කතා කරන්නේ විපතක පෙර නිමිත්තක් වශයෙනි. සෙල්ලමට විහිළුවට හෝ කටට ආ පලියට ඒ විදියේ ප්‍රාර්ථනා, ගැරහුම් හෝ තර්ජන නොකිරීමට තරයේ අධිෂ්ඨාන කරගන්න.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1

ඉරිසියාවන්තයාට වුව ද වාසනාවන්තයෙකු විය හැකිය

මොළයක් ඇත්තේ ඉරිසියා කිරීමට නොව කල්පනා කිරීමටය.

ධනයට ගරහන අයකු කවදාවත් ධනවත් වී නැත. ධනවතුන්ට ධනපති යයි කියමින් සමච්චල් කරන්නේ දුගියෙකි. තමන් ආශා නොකරන දෙයක් තමන් වෙත ළඟා නොවේ. සමහරු ධනයට ආශා කරන නමුත් පරිභව ද කරති. ඒ අයට යාන්තම් ජීවත්වීමට සෑහෙන තරමින් පමණක් ධනය ළඟාවේ.

අතමිට යහමින් මිල මුදල් ගැවසෙන්නේ ධනය ප්‍රිය කරන මිනිසුන් ළඟයි. ධනය හා ධනවත්භාවය පිළිකුල් කරන ජනයා පුදුම මානසික රෝගීන්ය. ජීවත්වීම සඳහා ධනය අත්‍යාවශ්‍ය බව ඔවුනට වැටහේ. එහෙත් ඒ බව දැන දැන ධනයට ගරහන්නේ මන්දැයි කීමට ඔවුන්ට නොහැකිය. ඔව්හු මානසික රෝගීන් වන්නේ ඉතා අවශ්‍ය දෙයක් වූ ධනයට එකවර කැමතිවීම හා අකමැතිවීම නිසාය.

ඕනෑම කෙනෙකු උමතු අයෙකු මෙන් හැසිරෙන්නේ එකම දෙයක් ගැන පරස්පර විරෝධී අදහස් දෙකක් එකවර සිත්හි තබාගෙන සිටීමෙන් ඇතිවන මානසික ගැටුම නිසාය.

ධනයට ගරහන කිසිවෙකු ඇත්ත කතා කරන්නෙකු නොවේ. ධනවත් අය දුගියන් සූරාකන අතර දුගියා අනෙකුත් දුගියන් ගෙන් හොරකම් කරති. දුගීකම බලවත් මානසික ආබාධයක් බව දුගියාට වැටහෙන්නේ නැත. බොහෝ මානසික රෝගීන්ට තමන්ගේ රෝගය ගැන හැඟීමක් නැත.

ධනයට ගරහන උමතු රෝගීන් නිසා බොහෝ දෙනෙකු දුකට පත්වේ. ඔහුගේ බිරිඳ හා දරුවන් එසේ දුකට පත්වෙන අයගෙන් ප්‍රධානය. ධනයට ගරහන ජනයා අධික වීම නිසා කලකට පෙර මහජන චීනය ඉතා දුකට පත්විය. සාගතයෙන් පෙළුන එහි ජනයා ඇන්ඳේ එකම විදියේ ඇඳුමකි. ස්ත්‍රීන් හා පුරුෂයින් හඳුනාගැනීම දුෂ්කර විය.

අද මහජන චීනයේ ජනයා ධනයට ආශා කිරීම අරඹා තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩි දෙනාට දැන් ගමන් බිමන් යෑමට බයිසිකල් තිබේ. තමන් කැමති වර්ගයකින් යුත් ඇඳුම් ඇඳීමට ඕනෑම කෙනෙකුට පුළුවන. මෙසේ ධනයට ගැරහීම නිසා පුද්ගලයෙකු පමණක් නොව මුළු රටක් වුවත් දුගී දුප්පත් අසරණ තත්වයකට ඇද වැටේ.

රැකියාවක් හා ඉගෙනීමක් නැති තරැණයෙක් ධනයට ආදරය කළේය. තමා ආදරය කරන පෙම්වතිය ලබා ගැනීම සඳහා තරුණයින් විවිධ දුක් කම්කටොළු වලට මුහුණ දෙති. ධනයට ආසා කළ පෙර කී තරුණයා ද ධනය ළඟා කර ගැනීම නිසා දෙමාපියන් සමඟ පවා උරණ විය. ඔහු ගෙදරින් පලා ගියේය. නගරයට පැමිණ කුලී වැඩ කොට රුපියල් සියයක් ඉතිරි කරගත්තේය. පළමු රුපියල් සියයෙන් ඔහු තුවා මිල දී ගෙන රුපියල් එකසිය හැත්තෑවක් උපයා ගත්තේය. අද ඔහු වෙළෙන්ඳෙකි. මේ කතාව ඔහු අප සංගමයේ විසිපස් දෙනෙකු සහභාගී වූ රුස්වීමක දී කියන ලද කතාවකි.

බොහෝ තරුණයන් දේශපාලන බමුණු මත වලින් මුලා වී තමන්ගේ දියුණුව ගැන සිත යොමු කරන්නේ නැත. ඔබට ලැබෙන්නේ ඔබේ සිත යොමු කරන දේවල් ය. ධනයට හිත යොමු කරන තුරු කිසිවෙකුට ධනය ළඟා නොවේ. ධනය ගැන නොසිතා ධනවත් වූ කිසිවෙකු නැත.

කවදාවත් ධනවත් නොවන මිනිස්සු කවුදැයි වටහා ගැනීම අපහසු නැත. වෙළඳාමක් කිරීමට බය හා ලැජ්ජා අය ධනවත් නොවේ. පුහුමානය නිසා දුගී දුප්පත් ජීවිත ගත කරන අඥාන අය අපමණ සිටිති. රක්ෂාවට ගිය දා සිට මැරෙන තුරු ධනයක් කියා දෙයක් උපයා නොගත් අය බොහෝය. තව සමහරු අනුන් යටතේ හෝ රජයේ හෝ රැකියාවක් කරන්නේ මූලික ධනයක් සපයාගෙන වෙනත් ව්‍යාපාර කිරීම සඳහාය.

මිනිසුන්ට  හිතවත් වීමෙන් බොහෝ හිතවතුන් ඇතිවෙයි. ධනයට හිතවත් වීමෙන් බොහෝ ධනය ලැබේ. ධනවතුන්ට හිතවත් වූ ජනයා ධනවතුන් නිසා තමන් ද ධනයට යොමුවේ. දුගී දුප්පත් අසරණ අය ඇසුරට ප්‍රිය කරන පුද්ගලයා ඔවුන් මෙන් තමන් ද දුගී දුක ගැන කතා කරන අයෙක් බවට පත්වේ. ඔහු දුගීකම නැති කරගත හැකි ක්‍රමයක් ගැන නොසිතා ධනයට පරිභව කරයි. දුගී දුක නැතිවන්නේ ධනය ළඟා කර ගැනීමෙන් බව වටහා ගැනීමට අසමත් අඥානයන් අපමණය.

එක ගෙයක් ගිනි තැබීමෙන් පෙනෙන්නේ එක් කෙනෙකුට විපතක් වූ බැවිනි. ගෙවල් දාහක් ගිනි තැබීමෙන් මුළු ගමක් විනාශ වූ බවක් පෙනෙයි. ගෙවල් ලක්ෂයක් ගිනිගෙන දැවී ගියොත් මුළු රටක් දුගී දුප්පත් අසරණ තත්වයට පත්වෙයි. මේ අයුරින් එක් අයෙකු දුගී දුප්පත් නම් ඉන් පෙනෙන්නේ එක් හිඟන්නෙකු සිටිනා බවය. දුගී දුප්පත් අය දහස් ගණනින් හා ලක්ෂ ගණනින් සිටින විට පෙනී යන්නේ මුළු රටක් ම හිඟන බවයි.

අද ලංකාවේ ලක්ෂපතියන් ලක්ෂ ගණනින් සිටිති. ඔව්හු දුගී දුප්පත් අසරණයන් වීමට කැමති නොවේ. විදේශ රැකියා වලින් උපයන මුදලින් ලක්ෂපතියන් වන අය තව තවත් වැඩි වන්නේය. මේ නිසා ධනවත් භාවයට හා ධනපතියාට විරුද්ධව කරනු ලබන ද්වේෂ සහගත කතා අද නිෂ්ඵලය. ඔබ පමණක් ධනවාදයට හා ධනපති ක්‍රමයට නින්දා අපහාස කරන්නෙකු වී සිටීම අනුවණ කමකි. හිඟන්නා ගෙන් ලැබෙන සහයෝගය ඔහු මෙන් හිඟන සහයෝගයකි. ධනවතුන් නැති කිරීම සඳහා විප්ලව කිරීමට වුවද ධනය ඕනෑය.

බේරුවල දීනගොඩ නැමති ගම මැණික් මුදලාලිලාගේ වාස භූමියයි. එහි විසූ දුගී දුප්පත් ඉඩම් හිමියන් පවා මේ ධනවතුන් නිසා තම තමන්ගේ ඉඩම් ඉතා විශාල මිල ගණන් වලට විකුණා ගත්හ. පර්චස් විස්ස රුපියල් ලක්ෂයට විකුණාගත් එක් දුගී අසරණයෙක් අද වෙනත් ප්‍රදේශයකින් අක්කර දහයක් මිල දී ගෙන ධනවතෙකු වී සිටී.

ගමේ සිටින ඉරිසියාකාරයෙක් දිනක් මා වෙත පැමිණ “අපේ ගමේ එවුන්ට දැන් සල්ලි වැහි වැහැලා,” යයි ද්වේෂයෙන් යුතුව පැවසීය. ඔබට මොළය කියා දෙයක් ඇත. එය ඇත්තේ පාවිච්චි කිරීමට මිස ඉරිසියා කිරීමට නොවේ. ගමේ මිනිස්සු ධනවත් වනවා නම් ඔවුන්ගේ මුදල් වලින් ඔබටත් ධනවත් වීමට පුළුවන් යයි මම කීවෙමි. ඒ කොහොම ද කියා ඔහු විමතියෙන් ඇසීය. ඒ අයට මිල දී ගන්නට ඕනෑ කරන බඩු සහිත කඩයක් දාන්න යයි මම කීවෙමි. ඉරිසියාවන්තයා අද වාසනාවන්තයා වී සිටී.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 පෙබරවාරි 1

ජනාධිපතිතුමනි! මරණ දඬුවම එපා

මරණීය දණ්ඩනයට නියමවන අපරාධකරුවන් එල්ලුම්ගස් යැවීමට අවශ්‍ය ජනාධිපතිතුමන්ගේ අත්සන එතුමන් විසින් යොදන්නේ නැතිබව මුළු රටම දනී. මෙය මහා දුර්වලකමක් යයි පෙන්වීමට විරුද්ධවාදීන් මෙන්ම ඇතැම් රාජ්‍ය පාක්ෂිකයින් ද වෑයම් කරති.

මානසික රෝගියෙකු නොවන මිනිසෙකු මෙතෙක් හිතාමතා ඕනෑකමකින් තවත් මිනිහෙකු මරා නැත. සිහි විකල වූවන් හා මත්පැනින් සිහිය අවුල් කරගත් අය මිනීමැරීමට පෙළඹෙති. හොඳ සිහියක් ඇති බුද්ධිමත් මනුෂ්‍යයෙකු අතින් කිසි කලෙක තවත් මිනිසෙකුගේ ජීවිතය නැසීමක් හිතා මතා ඕනෑකමකින් යුතුව සිදු නොවේ.

සිහි විකල වූවන් මිනිස් මිනිසුන් මරා දැමූ පසු ඔවුන් අල්ලා නඩු අසා ජූරි සභාවක අනුමැතිය ලබා ඔවුන්ට මරණ දඬුවම නියම කරනු ලැබේ. මිනීමරුවා මරා දැමීමෙන් එය ඔහුට දඬුවමක් වන්නේ නැත. ඔවුන් නොමරා තැබීමෙන් අතිගරු ජනාධිපතිතුමා ඔවුනට නිසි දඬුවම ලබා දී තිබේ.

වර්තමාන ජනාධිපතිතුමා බෞද්ධයෙකි. දාර්ශනිකයෙක් හා නීතිවේදියෙකි. එතුමා මුළු ලොව පිළිගත් දේශපාලනඥයෙකු ද වන්නේය. මිනිසුන් මරා දැමීමට දෙනු ලබන නඩු තීන්දු වලට අත්සන් කරන ලෙස එතුමාට බල කළ හැකි අයෙකු නැත.

බුද්ධිමත් පාලකයින් බුද්ධිමත් ලෙස කටයුතු කරන විට අඥානයින් එම පාලනය අවුල් කිරීම සඳහා විවිධ වාද භේද හා දාමරික හිංසා පීඩා වලට නැඹුරු වෙති.

අද හිරගෙවල් පිරී ඉතිරී ඇත්තේ රටේ අපරාධ වැඩි නිසා නොවේ. මේ හිරගෙවල් ඉංග්‍රීසි පාලන සමයේ ඉදි කල ඒවාය. එකල තිබූ ජනගහණයට ඒවා ඔරොත්තු දුනි. අද පෙරට වඩා සිය ගුණයකින් ජනගහණය වැඩි වී ඇත. එවිට අපරාධකරුවන්ගේ සංඛ්‍යාව ද වැඩිවීම ස්වභාවයකි. කාලයට ගැලපෙන පරිදි යෝධ ඉස්පිරිතාල, යෝධ හිරගෙවල් එමෙන් ම විශාල පාසැල් ගොඩනැඟිලි අවශ්‍ය වේ.

අතිගරු ජනාධිපතිතුමනි! ඔබතුමා මෙතෙක් ලංකාවට කර ඇති සේවය ලංකා ඉතිහාසයේ මීට පෙර කිසිවෙකු විසින් කර නැත. අවංක ජනයා සහ කෙලෙහිගුණ දන්නා අය ඒවා අගය කරති. විරැද්ධවාදීන් කවදත් කොයි දෙයටත් විරුද්ධ වෙන මානසික දුබලයන්ය.

ඔබතුමා මරණ දඬුවම හා අපරාධ වැඩිවීම ගැන විමසා බැලීමට පත් කරන්නට යන කොමිටිය මොළයෙන් වැඩගන්නා කොමිටියික් වෙනවාට සැකයක් නැත. බැරිවෙලා ඒ කොමිටිය විසින් මරණ දඬුවම් වලට ඔබතුමා විසින් අත්සන් තැබිය යුතු යයි නිගමනය කළහොත් එම අලුගෝසු ක්‍රියාව කිරීමට ඔවුන්ටම බාර දෙනවා ඇතැයි සිතමි.

ද්වේෂය, ක්‍රෝධය වැනි පහත් සිත් වලින් පිරුණු අඥානයින්ගේ සිත් සතන් පුබුදු වීමට මෙම කතුවැකිය හේතු වේවා යැයි පතමි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 ජූලි 1

බොරු සෝබනය

අනුන්ට පේන්න කටයුතු කිරීම මානසික දුබලකමකි. අනුන්ගේ අවධානය තමන් වෙත යොමු කරවා ගැනීම සඳහා ස්වභාවික ඕනෑකමක් දක්වනු ලබන්නේ වර්ගය බෝ කිරීම සඳහා සුදුසු කාලය ලංවූ තිරිසන් සතුන්ය.

මනුෂ්‍යයා ද තම තරුණකම ප්‍රචාරය කර හැරීම සඳහා නොයෙකුත් කටයුතු කරති. මේ නිසා ලස්සන, හැඩරුව හා කැපී පෙනෙන විවිධ මෝස්තර නිතර පහළ වේ. මේ සියල්ල බොරු සෝබනය ඝනයට වැටෙන්නේ නැත.

බොරු සෝබන යනුවෙන් අදහස් කරන්නේ මෙතෙක් තමන්ට නොතිබූ යම් යම් දේවල් දැන් තිබෙන බව අනුන්ට හැඟවීමට කරන ක්‍රියාවන්ය. තම හැකියාවන් හා දක්ෂකම් පෙන්වීම බොරු සෝබනය නොවේ. ඒවා අනවශ්‍යය තැන දී පෙන්වීමට ඉදිරිපත්වීම බොරු සෝබනයයි.

දුගී දුප්පත්ව සිටි අය ඩුබායි ගොස් ආපසු පැමිණ අමුතු විදියට හැසිරීම තමන්ගේ මුල් තත්වය අමතක කොට දන්නා අයට අහංකාර පෑම හා මඟුල් ගෙදරට අඳින ඇඳුම් ඇඳගෙන කඩයට හා පොලට යෑම නැති බැරිකම වසා ගැනීමට කරන වෑයමකි. තමන්ට කවදත් දේපල හා මිල මුදල් සමඟ වටිනා ඇඳුම් පැළඳුම් හා රන් ආභරණ තිබූ අය ඒවා මහමඟ දී හෝ අනවශ්‍ය තැන්වල දී අනුන්ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකරති.

ධනවත් අය තම ධනවත් භාවය පෙන්වීමට විශේෂ පරිශ්‍රමයක් දරන්නේ නැත. බොරු සෝබනයට වැඩ කරන්නේ ධනය නැති අයයි. දහස් ගණන් ගැන සඳහන් කරමින් කතා කරන අය ළඟ මෑතක දී ලැබුනු තරමක මුදලක් තිබිය හැකිය. එහෙත් පරම්පරාවෙන් උරුම වූ ධනය ඇති ධනවතුන්ට දහස් ගණනින් නොව ලක්ෂ හා කෝටි ගණනින් කතා කළ හැකිය. එහෙත් ඔව්හු එසේ කතා නොකරති. අඩු කලය සෙලවෙන බව කියමින් බොහෝ අඩු කලයන් තදින් සෙලවෙති.

ඇඳුමට, කතාවට හා බාහිර වෙනත් ඔපයට වහා රැවටෙන්නේ තමන් ද බාහිර බොරු ආටෝපකරුවෙක් නම් පමණකි. බොරු සෝබනකාරයා තමන්ගේ එම බාහිර පෙනුම පවත්වාගෙන යෑමට ඉමහත් පරිශ්‍රමයක් හා මුදලක් වැයවන බව දන්නේය. එමනිසා තමන්ට වඩා ඉහලින් බොරු සෝබන පෙන්වන අය දුටුකල ඔහු එම සෝබනයට මුලාවෙයි. තමන්ට වඩා බොරු සෝබන පෙන්වන අය අඳින්නේ ලොන්ඩරියෙන් කුලියට ඉල්ලා ගත් ඇඳුම් බව හෝ ගමන් බිමන් යන්නේ හිතවතෙකු ගෙන් ඉල්ලා ගත් මෝටර් සයිකලයෙන් බව වටහා ගැනීම අසීරුය.

ධනවත් බව පෙන්වීම සඳහා වෙස්වලා ගන්නා තරුණයින්ට වහා රැවටෙන්නේ ළාබාල හා මොළය මෝරා නැති මෙන්ම සමාජය ගැන හසරක් නොදන්නා යුවතියන්ය. දිළිසෙන සියල්ල රත්තරන් නොවන බව නොදන්නා මෝඩයෙකු නැත. එහෙත් නිතරම ඊට රැවටෙන්නෙ මෝඩයෙකු නොව බොරු පණ්ඩිතයෙකි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1