හරවත් කරමු ජීවිත පොඩි දරුවන්ගේ

ඕනෑම දෙමාපිය වැඩිහිටි ගුරුවරයෙකුගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ අනාගත පරපුරේ ජීවිත සාරවත් හරයක් ඇති ජීවිත බවට පත් කරවීමය.

පාලකයින්, පූජකයින් හා ගුරුවරුන් ඉතා දැඩි ලෙස දරුවන් විවේචනය කරනු ලබන යුගයක අද අපි ජීවත්වෙමු. ත්‍රස්තවාදය, අපරාධ කිරීම හා මත්ද්‍රව්‍ය භාවිතය සමඟ සිසු විනය පිරිහීම ගැන උගත් නූගත් සෑම කෙනෙක්ම වාගේ කතා කරන බව පෙනේ. මේ අතර තරුණ පරපුර යහමඟට ගැනීම සඳහා ඉමහත් වෑයමක යෙදෙන සමාජය ඔවුනට සාර ධර්ම තේරුම් කර දීමට වෙහෙසවන බව ද පෙනේ. සාර ධර්ම යන වචනය දැන් පට්ට ගැසූ එකකි.

සමාජය මෙවැනි පඹගාලක පැටලී සිටින අවදියක, ප්‍රශ්න හා එහි උත්තර මොනවා ද කියා සොයා බැලීම ඉතා අගනේය. ත්‍රස්තවාදය, අපරාධ අධික වීම හා මත්ද්‍රව්‍ය භාවිතය යනු තරුණ පරපුර විසින් වැඩිහිටියන්ට තමන් දන්නා භාෂාවෙන් යම් පණිවුඩයක් දීමට කරන වෑයමකි. ඔවුනට ආගම ධර්මය, දේශපාලනය හා ගුරුවරු ආදීන් තිත්ත කළේ කවුරු විසින් ද? වැඩිහිටි සමාජය අපේ තරුණයින්ට උගන්වන්නේ මොනවා ද?

පාලකයන් වීමට නුසුදුසු අය රට පාලනය කරන බවක් හුවා දැක්වීමට ඇතැම් අය වෑයම් කරති. ආගම ධර්මය කියාදෙන අය කරන්නේ අනුන් මුලා කිරීමක් මිස අනුන්ට කියා දෙන ධර්මය තමන් රැකීමක් නොවන බව තරුණ පරපුර පහසුවෙන් තේරැම් ගෙන සිටිති. ගුරුවරුන් හැටියට පෙනී සිටින බොහෝ දෙනා උගන්වන්නේ පාසැල් විෂයයන්ට වඩා දේශපාලනය ගැන සිත කලකිරීමට පත් කරවන දේ ය.

වැඩිහිටියන් වන අපි අපේ දරුවන්ට නිතරම නිවැරදි මග පෙන්වා දිය යුතුය. වැරදි මග ගමන් කරන ළමුන්ට දොස් නොකියා, බැන වැදීම් නොකොට, ඔවුන්ගේ වැරදි වැඩ වලට හේතුවන කරුණ සොයා ගත යුතුය.

අතේ බඳින ඔරලෝසුව, පැදගෙන යන පා පැදිය හෝ මෝටර් බයිසිකලය ආදී එදිනෙදා පරිහරණය කරන උපකරණ හා යන්ත්‍ර සූත්‍ර වැරදි විදියට ක්‍රියා කරන විට අපි ඒවා වහා නිවැරදි කර ගනිමු. අපේ දරුවෙකු වැරදි විදියට ක්‍රියා කරන විට එයට හේතුව සොයා බලා දරුවා නිවැරදි කර ගැනීමට අපට හැකියාවක් ඇත.

වැඩිහිටියන් වන අපි ආදර්ශමත් ජීවිත ගත කරනවා ද? එසේනම් අපේ දරුවෝ වැරදි වැඩ කිරීමට ලැජ්ජා බය ඇත්තෝ වෙති. බොරු කීම හොරකම් කිරීම හා මත්පැන් පානය කොට අඬදබර කර ගැනීම සිදුවන නිවසක දරුවා උතුම් වැදගත් විදියට සමාජයේ හැසිරෙනු ඇතැයි සිතීමට බැරිය. ඔහු ඉගෙන ගන්නේ වැරදි වැඩය. ඒවා හරිවැඩ යයි ඔහු සිතා ගනී. ඉන්පසු පාසැලේ දී හා පන්සලේ දී ඔහු ඉගෙන ගන්නේ ගෙදර දි කරන වැඩ වැරදි පහත් ක්‍රියාවන් බවය. මේ නිසා හරි වැඩේ හා වැරදි වැඩේ අතර දරුවා අතරමං වෙයි.

දරුවාට තම දෙමාපියන් විරයින්ය. එසේම දෙමාපිය සෙවනේ ඔහු ජීවත් විය යුතුයි. ගුරැවරයා හා හමුදුරුවෝ ඔහුට උපදෙස් දෙනවා මිස කෑම බීම ඇඳුම් දී ලෙඩට දුකට පිහිට වන්නේ නැත. ඔහු නිරායාසයෙන්ම ඇදී යන්නේ දෙමාපිය වැඩිහිටියන් විසින් අනුගමනය කරන වැඩ කටයුතු අනුකරණය කිරීමටය. එය දරුවාගේ වරදක් නොවේ.

පාසැලේ දී හා විශ්ව විද්‍යාලයේ දී බොහෝ ගුරුවරු හා කථිකාචාර්යවරු උගන්වන්නේ ආගම, ධර්මය හා දේශපාලනය විකෘති කරමිනි. අපක්ෂපාතව සිතන්නට හුරු පුරුදු වීමට පෙර මෝරා නැති මොළ වලට විරුද්ධ පැත්ත හා තර්කය වටහා ගැනීමට බැරිය. ඔව්හු මේ නිසා නැවතත් අතරමං වෙති.

හරි ක්‍රමය නම් පක්ෂ වීමට මෙන්ම විපක්ෂ වීමට ද පුරුදු වීම යනු දේපල නැති භංග කොට නීතිවිරෝධී වැඩ වල යෙදී අපරාධකරුවන් වීම නොවන බව කියා දිය යුතුයි. එය නොදන්නා කල විරුද්ධවාදී අදහස් හා ගැටෙන්නේ, ක්‍රීඩාවේ නීති රීති උල්ලංඝනය කරමින් තරඟ ක්‍රීඩාවකින් ජයගැනීමට දඟලන මැරවරයින් ලෙසය. මෙය දරුවන්ගේ වරදක් නොවේ. ඔවුනට ආදර්ශය දෙන වැඩිහිටි ඔලමොට්ටලයින්ගේ වරදය.

වැඩිහිටි අය ඕනෑම වැරදි වැඩක් කොට එය වසා ගැනීමට දක්ෂ වෙද්දී දරුවන් ද ඒවා දැනගෙන හා ඉගෙන ගෙන එළිපිට කරද්දී ඔවුන් නරුමවාදී දුෂ්ටයින් හෝ සිහිවිකල වූවන් හෝ හැටියට පෙර කී වැඩිහිටියන් විසින් ම හඳුන්වති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 ජූලි 1

ඔබ සාමාන්‍ය මිනිසෙක් ද?

පිස්සෙකු වුව ද වරදක් කරන්නේ හේතුවක් ඇතිවය. එක් පිස්සෙකු තමන් කැඳවාගෙන ගිය උපස්ථායකයින් දෙදෙනාගෙන් කෙනෙකුට වැරෙන් පහරක් ගැසීය. උමතුව සුව වූ විට එසේ ගැසුවේ මන්දැයි ප්‍රශ්න කළ විට එම උපස්ථායකයා තමාගේ අත රිදෙන සේ අඹරමින් අල්ලා සිටි නිසා යැයි ඔහු කීය.

අප අතර සාමාන්‍ය මිනිසුන් සිටී දැයි සොයා බැලීම සඳහා මම ඉමහත් වෑයමක් දැරීමි. කිසිවෙක් තමා සාමාන්‍ය මිනිසෙක් යයි පිළිගත්තේ නැත. සෑම කෙනෙක්ම විශේෂ මිනිසෙකි. එහෙත් මිනිසුන් අතර දියුණු මිනිසුන් හා නොදියුණු මිනිසුන් බොහෝ සිටිති. වැඩිපුර සිටින්නේ නොදියුණු මිනිසුන්ය.

මේ නිසා සාමාන්‍ය මිනිසා යනු නොදියුණු මිනිසා හැඳින්වීමට භාවිතා කළ හැකි වචනයක් විය හැකි යයි මම සිතුවෙමි. මම සාමාන්‍ය මිනිසා යනුවෙන් ඔබ හඳුන්වන්නේ කොහොම අය දැයි උසස් අයගෙන් ප්‍රශ්න කළෙමි. ඒ අය කිව්වේ මැති ඇමතිවරු සාමාන්‍ය මිනිසුන් නොවන බවකි. නිලධාරීන් සාමාන්‍ය මිනිස්සු නොවෙති. මුදල් හදල් යහමින් ඇති අය සාමාන්‍ය මිනිසුන් නොවෙති. ප්‍රසිද්ධ කීර්තිමත් අය සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉහලින් සිටින අයයි. දොස්තරවරු, නීතීඥවරු හා ඉංජිනේරුවරු සාමාන්‍ය මිනිසුන් නොවෙති. කථිකාචාර්යවරු හා වෙද මහත්වරු සාමාන්‍ය මිනිසුන්ට වඩා උසස්ය. පැවිදි පක්ෂය ද සාමාන්‍ය මිනිසුන් නොවේ. එසේනම් සාමාන්‍ය මිනිසා යනු තත්වයක් නැති හා ධනයක් නැති කෙනෙකි. අප රටේ සිටින්නේ වැඩිපුර එවැනි අයයි. ධනවත් රටවල නම් වැඩිපුර සිටින්නේ සාමාන්‍ය නොවන මිනිස්සුය.

ඊ ළඟට මා කළේ සාමාන්‍ය මිනිසුන් හැටියට තමන් පිළිනොගන්නා නමුත් අග හිඟකම් වලින් පෙලෙමින් ‘තත්වයක්’ නැතිව ජීවත්වන මිනිසුන් දෙස පරීක්ෂාවෙන් බැලීමයි. එම පරීක්ෂණයට මට හවුල් වූයේ ද සාමාන්‍ය මිනිසුන්මය. උගතුන්ට හා සාමාන්‍ය මිනිසුන් ගෙන් ටිකක් ඉහළින් සිටින මිනිසුන්ට සාමාන්‍ය මිනිසා ගැන දැනගැනීමට ඕනෑකමක් නැත.

සෑම සාමාන්‍ය මිනිසෙක්ම එක්තරා සමාජ තත්වයකට පැමිණ නිහඬව ජීවත් වන්නෙකි. ඔහු ළඟ උසස්වීමේ ආශාවක් ඇතත් ඕනෑකමක් නැත. ආශාවත්, ඕනෑකමක් යන දෙකම තිබි වෑයමක් නොකරන සාමාන්‍ය මිනිස්සු සිටිති. සාමාන්‍ය මිනිසා වැඩපල කළේ සීමාවක් ඇතිවය. ඔහු වැඩියෙන් කතා කළේය. මහන්සි වූ තරමට වඩා ඔහු විවේක ගත්තේය. බඩු මිල හා ආහාර මිල ඉහළ යන විට පමණක් ඔහු වෙහෙස දරා අතිකාල වැඩ කළේය. ඊට පෙර ඔහු ලද දෙයින් සතුටු වී වැඩි කාලයක් නිදි සුව වින්ඳේය.

සෑම සාමාන්‍ය මිනිසෙක්ම ජීවිතයේ පළමු සැතපුම වේගයෙන් ගිය කෙනෙකි. ගෙයක් හා රක්ෂාවක් සමඟ දරු පවුලක් ඔහුට ඇත. දෙවෙනි සැතපුම වූ ආදායම් මාර්ග සරු කර ගැනීම වැඩිපුර ඉඩකඩම් ආදිය ලබාගැනීම හා ධනය තර කර ගැනීමේ ඊ ළඟ පියවරට ඔහු කිසිදු තැකීමක් නොකරන්නෙකි.

තරුණ වියට පත්වෙන විට තමා සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවිත ගමනේ දී නතර වන අයෙකු බව පෙන්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝය. ඔව්හු මොනවා හරි ලැබුනු රක්ෂාවක් කරමින්, ලැබුනු දෙයක් කමින්, ලැබෙන පැල්පතක ජීවත් වෙමින්, ‘පෙර කරුමයේ’ හැටියට පැටව් ගසමින් අලස ජීවිත ගත කරන්නට තීරණය කරගෙන සිටිති. ඉලක්කයක් කරා යෑමට කල්පනා නොකරන සෑම තරුණ තරුණියක්ම සාමාන්‍ය තත්වයට පැමිණ පළමු සැතපුමේ දී ජීවිත ගමන නතර කරගන්නා අයයි.

සාමාන්‍ය මිනිසා තමන්ගේ තත්වය උසස් කර ගැනීම සඳහා අන් අය විප්ලව කරන තුරු බලා සිටිති. තමන්ගේ දැනුම, හැකියාව හා ඥානය වැඩි දියුණු කරගැනීමට ඔහුට අමතක වෙයි. අන් අය දිවි පුදා විප්ලවයක් කොට මොහුට හොඳ ජීවන තත්වයක් උදා කරන ඇතැයි ඔහු කල්පනා කරයි. මෙසේ සිතන අලස අය සියයට අනූවක් පමණ තරුණ අය අතර සිටිති. තව අවුරුදු පහකින් තමන්ට මුහුණ දීමට සිදුවන තරඟකාරී සමාජය ගැන සාමාන්‍ය මිනිසාට වැටහීමක් නැත. ඔහු අද නැත්නම් හෙට ජීවත්වන අන්දම ගැන සිතනවා මිස ඉදිරිය ගැන නොසිතයි. බොහෝ අයට ජීවිතයේ එකම පරමාර්ථය ඉඳුරන් පිනවීමයි. ඒ සඳහා මත්පැන් ගැනීමට ද ඔහු පුරුදු වෙයි.

මෙයට අවුරුදු පන්දහසකට පෙර විසූ ජනයා අතර ද සාමාන්‍ය මිනිස්සු බොහෝ කොට සිටියහ. දුනු ඊ තල ආදිය තනාගෙන දස්කම් විස්කම් පෑ අය දුටු මේ සාමාන්‍ය ජනයා දස්කම් පෙන්වූ අයට බිය වූහ. මෙසේ තමන්ට වඩා එක පියවරක් ඉදිරියට තැබූ දක්ෂයින් සාමාන්‍ය ජනයාට පෙනුනේ දෙවිවරු ලෙසය. සාමාන්‍ය ජනයා අතර මෙසේ දෙවිවරු පහළ වන්නට විය. මොළයෙන් කල්පනා කොට කටයුතු කළ අය අන් අයට දෙවියෙකු විය. වැව් අමුණු බැන්ඳ වූයේ මින්නේරියේ දෙයියෝ එසේ නැත්නම් රාසිං නොහොත් රාජසිංහ දෙයියෝය.

විසිතුරු අත්කම් භාණ්ඩ, කැටයම් හෝ ගල් රූප නෙලීම කළේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ආරූඪ වූ මිනිසෙකි. අදත් දක්ෂකම් හා පුහුණුව අනුව අන් අයට කළ නොහැකි දේ කරන පුද්ගලයා සාමාන්‍ය මිනිසෙකු නොවේ. එදා දක්ෂයාට දෙවියා යයි කී මිනිස්සු අද දක්ෂයින්ට කියන්නේ විද්‍යාඥයා, විශේෂඥයා ආදී කාලයට ගැලපෙන වචන වෙති.

එදා මෙන්ම අදත් විශේෂ මිනිසුන්ගේ තත්වයට උසස්වීමක් ලබන්නේ සාමාන්‍ය මිනිසෙකි. මේ සාමාන්‍ය මිනිසා උත්සාහයෙන්, වීර්යයෙන්, ඉවසීමෙන් යුතුව පුහුණුව ලබා සාමාන්‍ය මිනිසා පරාජය කරයි. තමන් කල දෙයක් අඩුපාඩුවක් නැතිව හා වැඩිපුර උනන්දුවක් ඇතිව කිරීම නිසා සාමාන්‍ය මිනිසා උසස් මිනිසෙකුගේ තත්වයට නැඟ තිබේ.

සාමාන්‍ය මිනිසා යනු සීමා බන්ධනයකට අසු වී කොටු වී තමන් හදාගත් මානසික සිර ගෙයක ජීවත්වන්නෙකි.

විශේෂ මිනිසා යනු අවශ්‍ය පමණට වඩා සෙවීමට වෑයම් කරන හා අසීමිත ලෙස කල්පනා කරන හා නැවතීමේ ලකුණ නොදන්නා කෙනෙකි.

යාන්තමින් ජීවත්වුනාම ඇති යයි කියන්නේ සාමාන්‍ය මිනිසාය. අසාමාන්‍ය මිනිසා නිතරම සිතන්නේ යාන්තම් ජීවත්වීමෙන් සාමාන්‍ය මිනිසාගේ තත්වයෙන් මිදීමට නොහැකි බවය.

-මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ගේ දේශනයක් ඇසුරෙනි. චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 ජූලි 1

ඉධ නන්දති පෙච්ච නන්දති

ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤෝ උභයත්ථ නන්දතී
පුඤ්ඤං මේ කතන්ති නන්දති
භියෙයියෝ නන්දති සුගත්තිං ගතෝ

මෙහි සිංහල තේරුම දක්වා ඇත්තේ මෙසේය:
පින් කළ ඇත්තේ මෙලොවත් සතුටු වෙයි. පර ලොවත් සතුටු වෙයි. දෙලොවම සතුටු වෙයි. මවිසින් පින් කරන ලදැයි සතුටු වෙයි. සුගතියට බොහෝ සෙයින් සතුටු වෙයි.

‘ඉධ’ යන පාලි වචනයේ තේරුම ‘දැනුත්’ යන්නය. ‘පෙච්ච’ යන පාලි වචනයේ තේරුම ‘පසුව’ යන්නය. මෙහි දී ලොවක් ගැන සඳහන් කිරීමට ‘ලොක’ යන පාලි වචනය ඇතුලත් වී නොමැත. එමනිසා ඉහත කී ගාථා පාඨයේ නිවැරදි අර්ථය “දැනුත් සතුටු වේ, පසුවත් සතුටු වේ,” යන්නය. මෙලොව සතුටු වේ, පරලොව සතුටු වේ යනුවෙන් අර්ථ දැක්වීමට නම් එම ගාථා පාඨය විය යුත්තේ ‘අයං ලොකෙ නන්දති, පරං ලොකෙ නන්දති,” යනුවෙනි.

‘උභයත්ථ නන්දති’ යන පාලි පාඨයට අර්ථ දී ඇත්තේ ‘දෙලොවම සතුටු වෙයි,” යනුවෙනි. එහි නිවැරදි අර්ථය දෙයාකාරයටම සතුටු වෙයි යන්නය. මෙතැන දී ද පාලි ගාථා පාඨයේ ලොවක් ගැන සඳහනක් නැත. එසේ සඳහනක් තිබුණා නම් එය විය යුත්තේ ‘උභය ලොකෙ නන්දති,’ යනුවෙනි. ‘උභය’ යන පාලි වචනයේ තේරුම ‘දෙක’ යන්නයි. ‘අත්ථ’ යන්නෙහි අර්ථය ආකාරයෙන්ම යන්නයි. එකී උභය සහ අත්ථ වචන සන්ධි වී ‘උභයත්ථ’ යන වචනය සෑදී ඇත.

‘යහපත් මාර්ගයට ගමන් කළ තැනැත්තා’ යනු ‘සුග්ගතිං ගතෝ’ යන පාලි පාඨයේ අර්ථය විය යුතුය. එසේ නැතිව සුගතිය වශයෙන් මෙහි දක්වා ඇත්තේ දිව්‍ය ලෝකයට ගිය තැනැත්තා නොවේ. බුදු දහමේ ඉගැන්වෙන යහපත් මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ‘යහපත් මාර්ගයේ ගමන් කළ උත්තමයා’ යන අර්ථය ගෙන දෙන සේ බුදුරජාණන්වහන්සේට ‘සුග්ගතිං ගතෝ’ යන්නෙන් අදහස් කරනුයේ දිව්‍ය ලෝකයට ගිය තැනැත්තා නොව යහපත් මාර්ගයේ ගමන් කළ තැනැත්තා බව පැහැදිලිය.

මෙහි සඳහන් අර්ථයට අනුව පින් කළ තැනැත්තා සුගතියෙහි උපත්තිය ලබා අතිශයින් සතුටු වන බවක් කියැවේ. බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ‘නිවන’ උතුම්ම සැපත බවයි. එය ලබාගැනීමේ ඒකායන මාර්ගය වශයෙන් දැක්වූයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

ඉහත කී ගාථාවේ නිවැරදි සිංහල අර්ථය මෙසේ විය යුතුය.

‘කල පින් ඇති තැනැත්තේ දැනුත් සතුටු වේ. පසුවත් සතුටු වේ. දෙයාකාරයටම සතුටු වේ. තමන් විසින් පින් කළා ය කියා සතුටු වේ. යහපත් මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ ඒ තැනැත්තා බොහෝ සෙයින් සතුටු වේ.”

-බෞද්ධාචාර්ය කේ. පී. ජයවීර, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1

වේශ නිරූපන විපාක

ඔබ කාට ඊර්ෂ්‍යා කලත් ඒ ඊර්ෂ්‍යාව රැඳෙන්නේ ඔබේ සිතේ මිස ඔබගේ ඊර්ෂ්‍යාව යොමු කරනු ලැබූ අයගේ සිතේ නොවේ. එමනිසා ඔබේ ලේ අපිරිසිදු වීමෙන් ඔබම රෝගී වේ.

ඔබ කාට ක්‍රෝධ කලත් ඒ ක්‍රෝධය රැඳෙන්නේ ඔබේ සිතේ මිස ඔබගේ ක්‍රෝධය යොමු කරනු ලැබූ අයගේ සිතේ නොවේ. එමනිසා ඔබේ සිත අපිරිසිදු වීමෙන් ඔබම රෝගී වේ.

ඔබ කාට වෛර කලත් ඒ වෛරය රැඳෙන්නේ ඔබේ සිතේ මිස යොමු කරනු ලැබූ අයගේ සිතේ නොවේ. එමනිසා ඔබේ හදවත රෝගී වී නිතර අසහනයට පත් වේ.

ඔබ කා දෙස රවා බැලුවත් ඒ අමිහිරි බැල්ම ප්‍රදර්ශනය වන්නේ ඔබේම මුහුණේ මිස බැල්ම යොමු කරන ලැබූ අයගේ මුහුණේ නොවේ. එමනිසා ඔබ අනුනට අප්‍රිය වේ.

ඔබ කාට ගෙරෙව්වත් ඒ ගෙරවුම ඇත්තේ ඔබේම සිරුරේ මිස එය යොමු කරනු ලැබූ අයගේ සිරුරේ නොවේ. එමනිසා ඔබගේ ම කටහඬ බියකුරු වේ.

ඔබ කුමකට බිය වුනත් ඒ බිය රැඳෙන්නේ ඔබේම සිතේ මිස බිය ගෙනදුන් දෙයෙහි නොවේ. එමනිසා ඔබ අධෛර්යයට පත් වේ.

ඔබ කාට බොරු කලත් ඔබ බොරු කරන්නේ ඔබේම සිතට මිස බොරුව යොමු කරනු ලැබූ අයට නොවේ. එම නිසා ඔබ විසින් ඔබව රවටා ගන්නේය.

ඔබ කුමකින් සතුටු වූවත් ඒ සතුට රැඳෙන්නේ ඔබේම සිතේ මිස සතුට ගෙනදුන් දෙයෙහි නොවේ.

-චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1978 සැප්තැම්බර් 1

ඔබත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වන්න

මිනිස් සිත තුල පවතින ආශාව නොයෙකුත් විෂය වල දී නොයෙකුත් අන්දමට විග්‍රහ කර ඇත. බුදු දහමට අනුව මෙය තෘෂ්ණාව, ආශාව, ඇලී ගැලී සිටීම වශයෙන් ද සමාජ හා ආර්ථික විද්‍යාවේ දී උවමනාව, කැමැත්ත, රුචිය යනාදී වශයෙන් ද දක්වයි. මෙය සාමාන්‍ය ජන ජීවිතයේ දී ආශාව කියා හැඳින්වේ. මෙලොව එලිය දකින හැම පුද්ගලයෙකුම ආශාවන් පොදි බැදගෙන එනවා යයි කියමනකි.

මිනිස් සිත නිතරම ගෞරව ලබන්න සූදානමකින් සිටින්නකි. මෙය අගුපිලේ සිටින සිඟන්නාගේ පටන් කිරුල දරණ රජතෙක් ම පවතින්නකි.

ලෞකික ජීවිතය පවත්වා ගෙන යාමේ දී මිනිස් සිතට උවමනාවන් රාශියකි. කෑම, බීම, ඇඳුම්, පැළඳුම්, යාන වාහන, වතුපිටි, ගේ දොර, හරකාබාන, මිල මුදල්, විදේශ ගමන්, විලාසිතාවන්, නාට්‍ය දර්ශන යනාදිය මින් සමහරෙකි. මේවා එකක් සපුරා ගන්නා විට තවත් ඒවාට ආශාව ඇති වෙයි. මේ විදියට මිනිසා ආශාවන් රාශියක් පොදි බැඳගෙන සිටී. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ තමාට “සැලකිය යුතු” තත්වයක් ලබා ගැනීමේ ආශාවයි.

“සැලකිය යුතු තත්වයක්” ලබා ගැනීම සඳහා ඉදිරිපත් විය යුතු අවස්ථා සමාජයේ කොතෙකුත් ඇත. විභාග, තරඟ, උත්සව, ප්‍රදර්ශන, ලෝක සම්මේලන, මින් සමහරකි. පශ්චාත් උපාධියක් ලබාගන්නට විදේශ රටකට යන්නේ “සැලකිය යුතු ස්ථානයක්” ලබා ගැනීමට ඇති බලවත් ආශාව නිසයි. දක්ෂ ඔලිම්පික් ශූරයෙකු වීමට, දක්ෂ ක්‍රීඩකයෙකු වීමට, කිමිදුම්කරුවෙකු, ගුවන් නියමුවෙකු, ගීත ප්‍රබන්ධකයෙකු වීමට ඉදිරිපත් වන්නේ තමා “සැලකිය යුතු” පුද්ගලයෙකු බවට පත්වීමට ඇති බලවත් ආශාව නිසයි.

ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු සතු විශේෂ ලක්ෂණ තුනකි. 1. ඔහු සුචරිතයෙහි නියැලි හෙයින් ඔහුට චරිතයක් නැත. 2. බුද්ධිමත් හෙයින් මනස නිරවුල්ය. 3. තැති නොගන්නා හෙයින් අභීතය. -කොන්ෆියුසියස්

ශ්‍රේෂ්ඨ වැඩක් නොකර වීරයෙකු විය නොහැක. හොඳ වැඩකට මඩ ගසමින් ගුණවත්වීමට බැරිය. ඔබේ ආශාව ගරු සැලකිලි ලැබීමට ද? එසේ නම් ඒ පිණිස කටයුතු කරන්න.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය