නිතරම තමන්ගේ අවාසියටම සිතන්න එපා

ස්වයං යෝජනා වලින් කෙනෙකුගේ හැඟීම් හා ගතිගුණ පමණක් නොව මුළු ශාරීරික තත්වයම වෙනස් කළ හැකිය. අපේ සිත් සතන් වල අරටු බැස ඇති මිථ්‍යා විශ්වාසයන් ඇතැම් විට වහා පලදෙන ස්වයං යෝජනාවන් හැටියට අත්දැකීමට හැකිය.

අසුබ නිමිති හමුවී ගමනක් පිටත්වන අයෙකුට එම ගමන ඉතා අසාර්ථක එකක් වන්නේය. එයට හේතුව අසුබ නිමිති ගැන කාලයක පටන් යටි සිතේ පැවති විශ්වාසය නිසා එම පුද්ගලයා තමන්ගේ ගමන අසාර්ථක වන බව ස්ථිරවම විශ්වාස කිරීමයි. බොහෝ දෙනෙකුට එවැනි අසුබ නිමිති ගැන එතරම් දැඩි විශ්වාසයක් ඇතත් සුබ නිමිති ගැන එතරම් විශ්වාසයක් නැත. එවැනි අය නිතරම තමන්ගේ අවාසියටම සියළු දේවල් සිදු වෙනවා යයි සිතන්නට පුරුදු වූ අයයි.

අපේ යටිසිත් වලට කිඳා බැස ඇති ඇතැම් විශ්වාසයන් අපි හඳුන්වන්නේ උපතින් ගෙනා පුරුදු හා ස්වභාවයෙන් පිහිටි ඒවා හැටියටය. ඒවා ස්වයං යෝජනා හැටියට හඳුනා ගැනීමට බැරි තරම් අපේ ජීවිත වලට තදින් කා වැදී තිබේ. එවැනි ස්වයං යෝජනා ඉතා ප්‍රබල අන්දමින් බලපාන ඒවාය.

ඔබේ ජීවිතයට ස්වයං යෝජනා බලය යොදාගෙන අනාගතය හා වර්තමානය ආලෝකමත් කරගැනීමට ඕනැ නම් ඔබ විසින් පිළිපැදිය යුතු නීතියක් ඇත. එනම් ඔබ ගැන හෝ ඔබ අවට ලෝකය ගැන “සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි” යනුවෙන් ඔබ විශ්වාස කරන සියළුම කරුණු අසත්‍ය බවට ප්‍රතික්ෂේප කිරීමයි.

ආරේ ගුණ නෑරේ, උපන් ගෙයි ගතිය බලි ඇරියත් අරින්න බැහැ, ආදී ගැමි කතා විශ්වාස නොකරන්න.

උණ පුරුකේ දැමුවත් බලු නගුටේ ඇදය අරින්නට බැරි නමුත් ඔබ බලු නගුටක් නොවන නිසා ඔබේ ඕනෑම ඇදක් කුදක් නැති කරගත හැකි බව විශ්වාස කරන්න. ඔබ පුද්ගලිකව තදින් හිතට අරන් ඇති, කොයිතරම් සත්‍ය ලෙස පෙනුනත් ඇති අසත්‍ය දේ බොහෝය.

අපේ සිත් වලට ඇතුල්වන අදහස් වලින් “ස්වභාවික” සිතුවිලි ඇත්නම් ඒ ඉතා ස්වල්පයකි. අප දරන විශ්වාසයන් වැඩි හරියක් අපට තර්ක කොට ප්‍රතික්ෂේප කළ නොහැකි ළමා වයසේ දී අපේ සිත් තුලට ඇතුල් වූ ඒවාය. එහෙත් ඒ සියළුම මිථ්‍යා විශ්වාසයන් යටපත් කොට සත්‍යය අවබෝධ කරගැනීමේ හැකියාව අපේ සිත් වලට ඇති බව අවබෝධ කර ගැනීමෙන් අපේ ජීවිත ඉතා පුදුමාකාර අන්දමින් වෙනස්කර ගත හැකිය.

පැරණි මිථ්‍යා විශ්වාසයන් අපේ සිත් තුලට ඇතුල් කරගත් ආකාරයටම අපට අළුත් සිතුවිලි ඇතුල් කර ගැනීමට පුළුවන. එය කිරීමට නම් පළමුකොට දැනට සිතේ අරටු බැස ඇති සියළුම මිථ්‍යා විශ්වාසයන් අස්වාභාවික හා “උපතින් ගෙනා” ඒවා නොවන බව අවබෝධ විය යුතුය. නිතර සිහිපත් කළ යුතු කරුණු ස්වල්පයක් මෙන්න:-

*අපේ සියළුම හැඟීම් යම්කිසි ක්‍රමයකින් අපේ ශරීරයට බලපායි.

*අපේ ශරීරයේ තත්වය අපේ හැඟීම් වලට බලපායි.

*තමා දුර්වලය, අසනීපයෙන් යුක්තය, අනුන්ගේ අනුකම්පාව ලැබිය යුතුය, යන සිතුවිලි නිසා ශරීරය දුර්වල වී අඩපණ වේ. සිතේ බියක් ඇතිව ජීවත්වීම නිසා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය අවුල් වේ.

අප දරන බිය ජනක හා අප්‍රිය ජනක සිතුවිලි කුඩා අවදියේ අපේ සිත් තුලට අන්‍යයන් විසින් ඇතුල් කරන ලද ඒවාය. දීර්ඝ කාලයක් එම සිතුවිලි සමඟ ජීවත්වීම නිසා දැන් ඒවා අපේ ජිවිතයේ අංගයන් හැටියට පෙනී යයි. අපට ඕනෑකම තිබේ නම් අපේ සිතුවිලි ක්‍රමය වහා වෙනස් කළ හැකිය.

ස්වයං යෝජනාවක් යනු සිතට ඇතුල් කරනු ලබන පණිවිඩයකි. එම පණිවුඩය අපේ හැඟීම් වලට කෙළින්ම බලපායි. ස්වයං යෝජනාව නැමති මෙම පණිවුඩය ලියන ලද වචන වශයෙන් හෝ කතා කරනු ලබන වචන වීම අවශ්‍ය නොවේ.

අපේම සිතුවිලිවල ඉතා බලගතු ස්වයං යෝජනා බලයක් ඇත. අප අවට ලෝකයේ සිදුවන සිද්ධීන් ද එසේ අපට බලපායි. මේ විදියට අන් අයගේ කියුම් හා කෙරුම් ද අපේ ජීවිත වලට බලපානු ලැබේ.

මෙයට උදාහරණයක් වශයෙන් ජන සමූහයක් අරගනිමු. හදිසි හෝ බිය ජනක අවස්ථාවක දී ජන සමූහයක සිටින සියළුම ස්ත්‍රීන් හා පුරුෂයන් හැමෝම “එක් අයෙකු මෙන්” ක්‍රියා කරති. එනම් අන් අය කරන දේ ම තමනුත් කරයි.

“යෝජනාව” යන වචනය වෙනුවට “සිහින මැවීම” යන වචනය යෙදීමට පුළුවන් බව ඔබ සිතන්නට ඉඩ ඇත.

අපේ හැඟීම් අවුස්සන ඕනෑම දෙයකින් සිදුවන්නේ අපේ සිහින මැවීමේ සිතුවිලි උද්දීපනය වීමයි.

කෙනෙකුට මහජනයා හෝ අන් අයෙකු හෝ ඉදිරියේ ඇතවන ලැජ්ජාව හා පැකිලීම හටගන්නේ තමා තමන් ගැන කල් ඇතිව සිතාගෙන සිටි කරුණු අනුවයි. එය තවත් විදියකින් කියනවා නම් අපි අප ගැනම අපූරු විදියට දවල් සිහින දකිමින් ඉන්නට ඇත. හැකිලී පැකිලී පසුබාන අයෙකු හැටියට ඔබ ඔබ ගැන සිතින් මවාගෙන සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔබ එසේ හැසිරෙයි.

යෝජනාව යනු අපි අප ගැන මවාගනු ලබන අදහස් වලට කෙළින්ම ඇදී යන විදියේ හා අපේ ගති පැවතුම් වලට බලපාන විදියේ සිතට යවන පණිවුඩයකි.

ධනාත්මක යෝජනා යනු දවල් සිහින මවාගෙන ගංජා මතයකින් ලබන විදියේ වින්දනයක් නොවේ. එය සිත පුබුදුවා ගන්නා ඒ නිසාම ශරීරය ද හැඩ ගසා ගන්නා ක්‍රමයකි.

සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 මාර්තු 1

Advertisements

හොස්ස ළඟින් මැස්සෙක් ගියා ද?

ඔබට හොස්ස ළඟින් මැස්සෙක් ගිය සැනින් තරහ ඇවිස්සේ නම් එය ඔබේ මෝඩකමේ ලක්ෂණයකි.

ඔබව තරහ ගැස්වීමට ඕනෑම මෝඩයෙකුට පුළුවන. ඒ ඔබ එම මෝඩයාටත් වඩා අන්ත මෝඩයෙකු නිසාය.

උගතෙකු වීම යනු ඥානවන්ත වීම නොවේ. උගතා ඥානවන්තයෙකු ද වෙන්නේ ඉවසීම, කරුණාව, දයාව වැනි ගුණාංග නිසාය.

තරහ ගැනීම වහාම ප්‍රතික්ෂේප කරමි.

තරහ ගැනීමට ලැජ්ජා වෙමි.

කේන්ති යෑම මෝඩකමේ ලක්ෂණයකි.

තරහ බාර නොගෙන සිටීමට පුරුදු වෙමි.

කෝපය ප්‍රදර්ශනය කිරීම තිරිසනුන්ගේ ක්‍රියාවකි. මම මිනිසෙකි. මන උස්සයෙක්මි.

මම කෝපවුනේ මගේ අහංකාරකම නිසාය. මම නිරහංකාර වෙමි.

මම කෝපවුනේ මගේ උද්දච්චකමටය. මම උද්දච්ච නොවෙමි.

මම අනුන්ගේ කෝපයට අනුකම්පා කරමි.

මගේ සිත මගේය. මගේ දේ වලට අනුන්ට ඇඟිලි ගැසීමට මම ඉඩ නොදෙමි.

මගේ ඉවසීමෙන් මම අන් අය පුදුමයට පත්කරමි. ඔවුන්ගේ කෝපය මගේ නොවේ.

එම්බා කෝපය! අදින් පසු තොප තොපට ඕනෑ තැනකට ගියාට මට කම් නැත. මම තොප සමඟ මෙතෙක් තිබූ යහළු විශ්වාසකම් අදින් අවසන් කරමි. ඔබ ආශ්‍රයට සුදුසු කෙනෙක් නොවේ. ඔබව ඇසුරු කළ අය හිරගෙවල් වල දුක් විඳිති. මෙලොව අපායක් කරගෙන සිටිති.

කෝපයෙන් පිපිරෙන අයෙකු දුටුවිට තමා හැකි තරම් සංසුන් විය යුතුයි. ඔබේ සංසුන්කම වහා ඔහු තුලට ඇතුල්වන බව සිතන්න. එවිට ඔබ පුදුමයට පත් කරමින් අර කෝපකාරී පුද්ගලයා සංසුන් වෙයි. මෙය වහා ඉටුවීමට නම් කාලයක් තිස්සේ සංසුන් සිතක් ඇතිකර ගැනීමට පුරුදු විය යුතුයි.

කෝපය ප්‍රදර්ශනය කරමින් කැත කතා කියන අය හෝ අඬ දබර කරන අයෙක් කටින් මට්ටු කරන්නට යෑම අහිතකරයි. සිතින් මෙත් පතන්න. ඔහු සංසුන්වන තුරු උපදෙස් දෙන්න යෑම භයානකය.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය