කියවීම, මෝඩගති හා මිනීමැරීම

කියවීම

අපේ රටේ සෝවියට් දේශය හා මහජන චීනය ගැන සඟරා කියවීමට නිදහස තිබේ. එහෙත් සෝවියට් දේශයේ හා චීනයේ අපේ දේශය ගැන කිසිවක් කීම තහනම්ය.

****

මෝඩ ගති

සිංහල මිනිස්සු අමුත්නන් එනවිට මිදුල හා ගෙයි ඉදිරිපස කොටස ඉතා පිරිසිදුකොට තබා ඔවුන් රවටති. මිනිසුන්ගේ හැටි බලාගැනීමට ගෙයි පිටුපස පැත්තට යා යුතුය.

පිටරට යන සිංහලයෝ ද මේ විදියට තමන් ද රැවටෙති. ඔව්හු සෝවියට් දේශය හා චීනය වැනි රටවලට ගොස් ඉදිරිපස පමණක් බලා හොඳ කියති. ධනපති රටවලට යන අය පමණක් හොඳ හා නරක දෙකම එකසේ දකිති. සෝවියට් දේශයේ හා චීනයේ කිසිම වරදක් හෝ අඩුපාඩුවක් ගැන කිසිවෙකු නොදනිති.

****

මිනීමැරීම

ධනවාදය තම විරුද්ධවාදීන්ට වඩා දක්ෂවීමෙන් ඔවුන් පරාජය කරති. හිඟනවාදය කරන්නේ තමනට විරැද්ධවාදීන් මරා දමා තමන්ගේ මතය හරි යයි ඔප්පු කිරීමය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1

පුරුද්දකට වහල් වීම

මහා මෝඩ විදියට ජීවත්වීමට පුරුදු වූ අය තමන්ගේ මෝඩකම සමඟ ඉතා සතුටින් ජීවත් වෙති. එහෙත් ඔවුන් තුල සතුට නැත. සතුට ලැබෙන්නේ සියළු බිය සිතෙන් තුරන් වීමෙනි. මෝඩයා යනු බොහෝ දේ වලට බියක් දක්වන්නෙකි. නොදන්නාකම නිතරම බියට හේතු වේ.

මෝඩකම පුරුද්දක් කරගත් අය එයින් මිදීමට කිසිම උත්සාහයක් නොකරති. මෝඩයින් ළඟ නිතරම දැඩි අලසකමක් දක්නට ලැබේ. මහා උගතුන් අතර මහා මෝඩයින් සිටින බව ප්‍රකට රහසකි. ඔව්හු උගත්කමේ ඉහළට ගොස් ඇතත් කල්පනා කිරීමේ දී ඉන්නේ ළාබාල තැනකය. බොහෝ උගතුන් මහා මෝඩ වැඩකරන්නේ ඒ නිසාය.

තමන් සියල්ල දන්නා කෙනෙකු යයි සිතා සිටින සෑම කෙනෙක්ම මහා මෝඩයෙකි. එවැනි අය කිසිවක් දන්නේ ද නැත. දන්නවා යයි කියන්නේ වටහා ගැනීමටය. එහෙත් මෝඩයා පුරුද්දට හා පුහුණුවට ද කියන්නේ දැනීම යයි කියාය. දැනුම හා පුරුද්ද මෙන්ම පුහුණුව හා අභ්‍යාසය යනු වෙන වෙනම අර්ථ ගෙනෙන කරුණු වන්නේය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අප්‍රේල් 1

මත්වීම හා මුලාවීම

මත්වීම හා මුලාවීම අතර ඇති වෙනස ඉතා අල්පය. මත් වු පුද්ගලයා බාහිර වශයෙන් ඒ බව පෙන්වයි. මුලා වූ පුද්ගලයා හඳුනාගත හැක්කේ ඔහුගේ කියුම් හා කෙරුම් අනුවය. බොහෝ උගතුන් තම උගත්කමින් මත් වී සිටිති. සමහරු මුලා වී සිටින තරම ඉතාම කණගාටුදායකය.

භෞතික දෙයකින් මත් වූ අයෙකු එයට ඇබ්බැහිවීමෙන් වලක්වා ගැනීම නිසා සුවකර ගත හැකිය. එහෙත් තමන්ගේම සිතුවිලි වලින්, තීරණ වලින් හා අන්ධ විශ්වාසයන් ගෙන් මුලා වී, මත් වී සිටින අය උගතුන් ද වී නම් ඒ අය ගලවා ගැනීමට කිසිවෙකුට බැරිය. හේතුව ඔව්හු තර්ක වලින් තමන්ගේ ම මතය (නොහොත් මත්වීම) සනාථ කරන්නට තරම් උගතුන් වීම ය. තර්කයෙන් පමණක් ජීවත්වීමට වෑයම් කරන උගත් හිඟන්නන්ගෙන් ලොවට අඩුවක් නැත.

එදිනෙදා ජීවිතයේ දී අපට විවිධ කරුණු වලින් මත් වූවන් මුණ ගැසේ. රජයේ ප්‍රතිපත්ති වලට එරෙහි වීම නිසා සිහිය අවුල් කරගත් උගතුන් රාශියක් මට මුණ ගැසී ඇත. ආගම හා භක්තිය කරට ගෙන උමතු වී සිටින අය අපමණය. මෙසේ මත්වීම වස විස වලින් හෝ මත් ද්‍රව්‍ය වලින් මත්වීමට වඩා භයානකය. මෙම ආගමික මත්වීම් වලින් මිනිසා බේරා ගැනීම් ඒ තරම් අපහසු කාර්යයක් වන බැවිනි.

ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි? මිනිසා ආගම හා ධර්මය අවබෝධ කරගන්නවා වෙනුවට බදාගෙන සිටීම නිසාය. ආගම් වැළඳ ගෙන බදාගෙන සිටින මත් වූ ජනයා ආගම හා ධර්මය වෙනුවෙන් මිනී මරති. එය සිහි මුලා වූ ගතියකි. මුලා වීමට කැමති ජනයා අතර මෝඩයින්ට විශේෂ වැදගත් තැනක් ලැබේ.

මෝඩයා යනු කල්පනා කිරීමට නොදන්නා කෙනෙකුට කියන වචනයකි. ඕනෑකමින් කල්පනා කර බලන තුරු අක්‍රිය වී පවතින මිනිස් මොළය එසේම අක්‍රිය වී තිබෙන්නට හරින ජනයා සිටිති. ඔව්හු බාහිර වශයෙන් නරයින් ලෙස පෙනුනත් ඇත්ත වශයෙන් ම තවම පරිනාමය නොවූ වානරයින්ය.

-සුමනදාස සමරසිංහ

ඕනෑම ප්‍රශ්නයක් විසඳන මග

උප්පාද, ස්ථිති, භංග යනුවෙන් බුදු හිමියන් ඉදිරිපත් කළ ධර්මය වටහාගත හැකි නම් මිනිසාට තමන් හා සම්බන්ධ සෑම ප්‍රශ්නයක්ම ඉතා පහසුවෙන් විසඳා ගත හැකිය.

කෙනෙකුට යම් ප්‍රශ්නයක් උද්ගත වී ඇත. එසේ උද්ගත වීමට මූලික වූ හේතුන් තමන්ටම සොයාගත හැකිය. එය පැවැත්මට හේතූන් සොයා ගැනීම පහසුය. තමා කිසිවක් නොකර සිටියත් ප්‍රශ්නය කලක දී භංග වී යන්නේය.

එහෙත් අසහනයකින් පෙලෙන පුද්ගලයෙකුට ඕනෑ කරන්නේ ක්ෂණික විසඳුමකි. එවිට ඔහු කළ යුත්තේ තම ප්‍රශ්නය පවතින්නේ කුමන හේතුන් නිසාදැයි සොයාබැලීමටය. ප්‍රශ්නය පැවතීමට හේතු වන කරුණු වලින් එකක් ඉවත් කළ විට ප්‍රශ්නයේ විනාශය ඉක්මන් වේ.

ළඟ දී ලැබුන උසස් නිලතල හා ධනය නිසා කෙනෙකු පෙරට වඩා අහංකාර විය. අහංකාර වීම නිසා පෙරට වඩා හතුරන් ඇති විය. හතුරන් නිසා තමන්ගේ වැඩ කටයුතු වලට බාධා හා නින්දා අපවාද වැඩිවිය.

බාධා කරදර නිසා මානසික අසහන පහළ වී ඇත. මේ සියල්ලම දීර්ඝ කාලයක් පවතින්නේ නැත. එහෙත් බොහෝ කාලයක් බවතින විදියට සදා නිමකොට ඇති ගොඩනැඟිල්ලක් වුවත් එහි අත්තිවාරම බුරුල් කිරීමෙන් වහා ඇද හැලේ. ඉහත කී අයගේ අසහනයට හේතු වූ ප්‍රධාන කරුණ ඔහුගේ අහංකාරකමයි. එය බිඳ දැමිය හැකි නම් ඒ නිසා ඉදි වූ යටි කූට්ටු වැඩ සමඟ සියළු අසහනයන් බිඳ වැටේ.

උපත ලබන සෑම තත්වයක්ම පවතින්නේ එයට ලැබෙන ආහාර අනුවය. ආහාර නොලැබේ නම් මේ ලෝකය පවතින්නේ නැත. අපේ අසහන වලට අපි ආහාර පමණක් නොව පොහොර දැමීම ද කරමු. ප්‍රශ්නයක් ජීවත්වන්නේ ආහාර නිසා යැයි තේරුම් ගැනීමට බුද්ධියක් අවශ්‍ය වේ. ඉහත සඳහන් පුද්ගලයාගේ අසහනයට හේතු වූ ආහාරය වුයේ අහංකාරකමයි. අයෙකුගේ අහංකාර උඬඟුකම අහක සිටින දුබලයෙකුගේ සිත දිරිමත් කිරීමට සමත්ය. ඒ අහංකාරකම දැක දිරිමත් වන ඔහු තමන්ගේ දියුණුව ගැන යමක් කිරීම වෙනුවට හිරිහැර කරන්නට යයි. අහංකාර අයෙක් අනුන් තුල ඉරිසියාව පහළ කරන්නට කටයුතු කරන්නෙකි. ඉරිසියාව පහල වන්නේ මානසික දුබලයින් තුලය. දුබලයන් දන්නේ දුබල ලෙසින් හැසිරීමටය.

උපත, පැවැත්ම හා විපත සිදුවන අයුරු දන්නා අයට ඕනෑ නම් උපත වැළැක්වීමට පුළුවන. එවිට පැවැත්ම හා නැතිවීම යන අංශ දෙක මතුවන්නේ නැත. උපත වැළැක්වීමට නොදන්නා අයට ප්‍රශ්නයේ පැවැත්මට හිතකර වූ පරිසරය හා ආහාර සැපයීම නතර කොට ප්‍රශ්නය නැතිකර ගැනීමට නොහැකියි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 ජූලි 1

වැස්සක් වැස්සොත් ඊට පස්සෙ පායනවා

ඇත්ත නැත්ත හොයා ගන් බැරි පුංචි කාලේ ඇතිවන අත්දැකීම් නිසා තමන්ගෙ ළමා වයස ගැන මතක් කරන කොට ඕනෑම කෙනෙකුට තමන්ගේ හිතේ විශේෂයෙන් කා වැදුනු ඔක්කෝම මතක් වෙනවා. හිතට තද සතුටක් දුන්නු දේවල් වගේම හිතට තද දුකක් ඇති කළ දේවලුත් මතක් වෙනවා. වැඩි විස්තර ඇතුව මතක් වෙන්නෙ හිතට ලොකු වේදනාවක් ඇතිවෙච්ච සිද්ධීන් තමයි. නමුත් දැන් ඔබ ළමා වයස පහු කරලා තියෙන කෙනෙක්. ඒ නිසා පුංචි කාලේ බයවෙච්ච, ලැජ්ජා වෙච්ච දේවල් ගැන දැන් බය වෙන්න කාරණයක් නැති බව ඔබටම තේරේනවා ඇති.

ඒ කාලේ එහෙම බයවීමට හේතු වූ කරුණු මොනවා ද කියල හිතල බලන්න. එහෙම හිතන කොට ඔබේ හිතේ ඒ අවස්ථාවේ ඇතිවෙලා තියන්නෙ අනවශ්‍ය බයක්, අනවශ්‍ය ලැජ්ජාවක් බව වැටහෙනවාට සැකයක් නැහැ.

පුංචි ළමයින්ට දෙමව්පින්ගේ, ගුරුවරුන්ගේ ආදරය කරුණාව නොලැබුණාමත් ඒ හිත්වල දුක, වේදනා සහිත හැඟීම් ඇතිවෙනවා. මේ හැඟීම් දරුවාගේ මානසික වර්ධනය කෙරෙහි බලපානවා. එහෙම වුනාම වයස මෝරලා වැඩිහිටියන් වුනාට පස්සෙත් සමහරු අසහනකාරී අය බවට පත්වෙනවා.

අන්‍යයන් ඉදිරියේ සතුටින් ඉන්න අපට පුළුවන් වෙන්නේ අපිට අප ගැනම සතුටු වෙන්නට හැකි වුනොත් පමණයි. එම නිසා අපේ අඩුපාඩුකම් ගැන හිත හිතා ඉන්නෙ නැතිව, අපිත් යම්කිසි වටිනාකමක්, දක්ෂකමක් ඇති අය බව වටහා ගන්නට ඕනෑ. අපටත් දක්ෂ ලෙස කිරීමට හැකි යම් යම් දේ තිබෙනවා යැයි සිතා අපි සතුටු වෙන්න ඕනෑ. යම් යම් අඩුපාඩුකම් ඇතත් අපත් හඳුනාගන්නට කරම් වටිනාකමක් ඇති අය බව මුලින් අපිම පිළිගන්න ඕනෑ.

“යහපතක්ම වෙනවා,” “හොඳක්ම වෙනවා,” “මේ වැඩෙන් මට ජය සිකුරුයි,” කියල නිතරම හිතන්නට ඕනෑ. හැමදේම හොඳම විදියට සිද්ධ වේවි කියන බලාපොරොත්තුවෙන් නිතරම ඉන්න ඕනෑ. මෙහෙම හිතන්න පුරුදු වුනාම දවස පුරාම සන්තෝෂයෙන් ජීවත්වෙන්න පුළුවනි. ඒ විතරක් නෙමෙයි, හොඳක් බලාපොරොත්තුවෙන් ඉන්න කොට සිද්ධ වෙන්නෙත් හොඳ දේවල්මයි. නිතරම බයෙන් ලැජ්ජාවෙන් මුළු ගැන්විලා ඉන්න කොට හොඳක් සිද්ධ වෙන්න ක්‍රමයක් නැහැ.

සමහරු වරක් දෙකක් පරාජය වුනාම, එහෙම නැතිනම් බලාපොරොත්තු වූ දේ සිදු නොවුනාම, ඊට පස්සෙ කවදාවත් තමන්ට ජයක් ලැබේය කියා හිතන්නෙ නැහැ. නමුත් සදාකාලික පරාජිතයන් වශයෙන් කිසිම කෙනෙක් ජීවත් විය යුතු නැහැ.

වැස්සක් වැස්සොත් ඊට පස්සෙ පායනවා. කන්දක් තියෙනවා නම් පල්ලමකුත් තියෙනවා. ඒ නිසා හැමදාම දුකින් අසතුටින් හෝ බියෙන් ඉන්න එපා. තමන්ටත් සතුටින් ඉන්න බව පිළිගන්න. සමහර විට යම් දෙයකින් අපි අසමර්ථ වෙන්නෙ එක්කෝ අපි අවශ්‍ය තරම් ඒ ගැන උනන්දු නොවන නිසා එහෙම නැත්නම් එක වරටම විශාල බරක් කරගහ ගත්ත නිසා වෙන්නට පුළුවනි. ඒ නිසා ඒ ගැන ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැ.

කවදාවත් වැරැද්දක් නොකරන, කිසිම අඩුපාඩුවක් නැති මිනිසුන් හැටියට අන්‍යයන් ඉදිරියේ පෙනී සිටීමට උත්සාහ කිරීම මෝඩකමක්. ගුරුවරුන්ටත් අකුරු වරදිනවා කියා තියෙන්නේ ඒ නිසයි. ඉතින් අපි අපේ නියම ස්වභාවයෙන් ජීවත්වෙන්න ඕනෑ.

අනුන් ඉදිරියේ කිසිම බයක්, හැකිළීමක් නැතිව හැසිරෙන අය සාමාන්‍යයෙන් නිරෝගී මනසක් ඇති අය ලෙස සලකන්න පුළුවනි. එහෙම බැරි හීනමානයෙන් හෝ බියෙන් පෙළන අයටයි. අද ලෝකයේ ජීවත්වෙන බොහෝ දෙනෙකු තමන්ගේ ප්‍රශ්න වල එල්ලී ගෙනයි දවසෙන් වැඩි කාලයක් ගත කරන්නේ. ඒ නිසා ඒ ගොල්ලන්ට අපේ අඩුපාඩු හොයන්න, අපේ ගුණදොස් කතා කර කර ඉන්න වේලාවක් තියා සමහර විට අපි ගැන හිතන්නවත් වේලාවක් නැතිව ඇති. වැරැද්දක් හොයන්න උත්සාහ කරන කෙනෙකුට නම් කොහේ නැති අඩුපාඩුවක් සොයා ගන්න බැරිවෙන එකක් නැහැ. ඒ වගේ දේවල් අපිට නතර කරන්නත් බැහැ. ඒ නිසා අපි එහෙම අනුන්ගෙ කුණු අවුස්සන අය ගැන අපේ හිත් වෙහෙසන්න හෝ බය වෙන්න උවමනා නැහැ.

බොහෝ අවස්ථාවල දී ලැජ්ජාවක් පෙන්වන්නේ යම් කිසි බයක් නිසා බව අවබෝධ කරගන්න. එවිට ඒ බයට හේතු වූ කරුණු ගැන කල්පනා කරල හිතලා බලන කොට, ලැජ්ජා වෙන්න හෝ බය වෙන්න තරම් හේතුවක් නැති බව පෙනී යාවී.

චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1978 සැප්තැම්බර් 1

ඔබ මත් වී ඉන්නේ කුමකින් ද?

කෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීමට පෙර වෙනත් විදියකින් මත්වන්නේය.

මත්ද්‍රව්‍ය ගෙන මත්වීමට පත්වන්නේ මේ විදියට ඊට කලින් මත් වූ මිනිසුන්ය. එමනිසා මත්ද්‍රව්‍ය වලට වඩා භයානක වන්නේ මත්ද්‍රව්‍ය වලට මිනිසා පොළඹවන මෙම මානසික දුබලතාවයයි.

අප අතර ජීවත්වන ජනයාගෙන් වැඩි දෙනෙක් අහංකාර කමෙන් මත් වී සිටිති. සමහරු අහංකාරකම උත්සන්න වීම නිසා උමතු වී සිටිති. කෙනෙකු සිහි විකල වූවෙකු ලෙස හැසිරවීමට සමත් අහංකාරකම, දැඩි මෝඩකම නිසා සිතක උපදින අධර්මයකි. ගංජා සහ අබින් වැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා උමතු වූ අයෙකු මත් වූ අයෙකු මෙන් අහංකාරකම නැමති සිතුවිල්ල නිසා මත් වූ අයෙකු හැසිරෙයි.

අහංකාරකමින් මත් වූ පුද්ගලයා ඉතා ටික කලක දී සමාජයෙන් කොන්වෙයි. ඔහු යන එන සෑම තැනක දී ම අන් අයගේ අප්‍රසාදයට පත් වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජයෙන් කොන්වන පුද්ගලයා ස්වකීය පාළුව මකා ගැනීමේ මාර්ගයක් වශයෙන් බෝතලයකට හෝ මත්ද්‍රව්‍යයකට සමීප වෙයි. ඔහු තම ඉදිරි කාලය ගත කරන්නේ මත් වී සිටීමෙනි. මත් ද්‍රව්‍යයකට කෙනෙකු ඇබ්බැහි වන්නේ යම්කිසි උමතු භාවයක ප්‍රතිඵලයක් වශයෙනි.

රාගයෙන් මත් වූ අයෙකු ගැන සිතන්න. ඔහු හෝ ඇය එම අවස්ථාවේ සිටින්නේ උමතු වුවෙකු ලෙසිනි. එයට හේතුව රාගය උමතුවක් වීම නිසා නොවේ. නමුත් රාගය උත්සන්න වීමෙන් උමතුවක් ජනිත වීමය. තිරිසන් සතුන් දෙස බැලීමෙන් මෙම උමතුව වටහා ගැනීමට පහසුය. මිනිසා තිරිසනාට වඩා වෙනස් වන්නේ තමන්ගේ සිතුවිලි තමන්ට පාලනය කරගත හැකිවීම අතින් පමණකි. අලි ඇතුන්ගේ මද කිපීම ශාරීරික රසායන ක්‍රියාවන් නිසා සිදුවෙයි. මිනිසුන්ගේ මද කිපීම නොහොත් කින්නර පිස්සුව එවැනිම රසායනික ඇවිස්සීමකින් සිදුවේ.

ශාරීරික රෝගාබාධ නිසා ඇතිවන මත්වීම් අතර නිදිමතය ද එකකි. ශරීරයට අවශ්‍ය පමණට වඩා නිදිමත වීම ද අහිතකරය. සොබාවික නිදිමත අපට හිතකරය. අස්වාභාවික නිදිමත හා නින්දට ඇබ්බැහිවීමක් සිදුවීම අහිතකර වන්නේය.

බාහිර දෙයින් මත් වී සිටින ජනයා හැර අපි සෑම කෙනෙක්ම අපේ ම මනස තුලින් මත්වීමට හැකි සිතුවිලි උපදවා ගෙන සිටිමු.

මිනිසුන් ශෝකයෙන් මුසපත් වන බව ඔබ දැක ඇතැයි සිතමි. ක්‍රෝධය, කෝපය, ඉරිසියාව හා දැඩි ද්වේෂය මිනිසුන්ගේ සිහි විකල් කරවයි. විසඥවීම, සිහිනැතිවීම, සිහිමුර්ඡා වීම, උන්මාදය, ඔල්මාදය හා කෝපයෙන් වෙව්ලීම වැනි සිද්ධීන් ඔබ දැක ඇත. ඉහත කී සෑම ඉරියව්වක්ම උමතුවක ලක්ෂණයකි. කෝපය ඉහවහා යෑම නිසා ඇතැම් දේශපාලනඤයින් දත්මිටි කමින්, අත් මිටි මොළවා ගෙන වෙවුල වෙවුලා කතා කරන අයුරු මා දැක තිබේ.

එසේම කෝපය, ක්‍රෝධය, වෛරය හා දැඩි අහංකාරකම මුල් කරගෙන සිහි විකල වූ අය මට මානසික රෝහල් වල දී හමු වී ඇත. බාහිර වශයෙන් ශරීර ගත කරනු ලබන මත්පැන් හා මත්ද්‍රව්‍ය හැරුණු විට ශරීරය තුලින් ම නිපදවා ගන්නා මත්වීම එකසේ භයානක බව කිව යුතුය.

දුම්පානයට ඇබ්බැහි වූ අය හිටි අඩියේ දුම්බීම නතර කිරීම නිසා දැඩි මානසික අසහනයට පත්ව සුළුවෙන් සිහි විකල වූ අය ලෙස හැසිරෙති. ඔවුනට මානසික සමබරතාවය තබා ගැනීමට සිගරට් දුම් අවශ්‍ය වී තිබුණි. දුම් බීමෙන් සිහි විකල වූ මොළයේ සෛල එය නැවැත්වීම නිසා නැවත වරක් අසංවර වී පුද්ගලයා පෙළන්නට ගනී. කෙසේ හෝ ඔහු එයට හසු නොවී ඉවසා ගෙන සිටිය හොත් දුම් නැතිව සුවසේ සන්සුන්ව සිටීමට සෛල පුරුදු වෙයි. වෙන ඕනෑම මත් ද්‍රව්‍යයක් වුව ද එසේමය. ඕනෑම මානසික අධර්මයක් වුව ද එයට ජීවත්වීමට හා උපත ලැබීමට අවශ්‍ය ආහාර නොලැබීමෙන් මැරී යයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1