සිංහලයනි අවදිවන්න, බුද්ධිය බේරාගන්න

මෝහනයෙන් මුලා වී සිටින ජනයා එයින් මුදා ගැනීම “සියළු දානයන් පරදවා ධර්ම දානය ජය ගනී,” යන බුදු වදනට එකඟ වූ ක්‍රියාවකි.

පටන් ගත් යමක් අතරමග දී අත්හැර දමන සෝඩා බෝතල් ප්‍රතිපත්ති රකින කුසීත ජාතියක් හැටියට සිංහලයා ලබා සිටින අවනම්බු නාමය පළමු කොට මිථ්‍යාවක් බව ඔප්පු කරමු. ඒ සඳහා ප්‍රතිඵල ලබමින් ඉදිරියට යනවා මිස බාධක ඉදිරියේ පසු බා නොයෑමට දිරිමත් වෙමු.

අධර්මයට (මුලාවට නොහොත් මෝහනයට) විරුද්ධව සටන් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන ඉවසීම, කරුණාව හා මෛත්‍රිය නැමති අවි ආයුධ වලින් පළමුවෙන්ම සන්නද්ධ වෙමු.

ආගම් හා ධර්මයන් යන මුවාවෙන් තනතුරු, කුලමල, නිලතල හා නායකකම රැකීම යනු ධර්මය රැකීම නොව මානය රැකීම බව වටහා ගනිමු. තමන්ගේ ම බුද්ධියට තමන්ම නිගාකර නොගනිමු.

සියැසින් නොදුටු හාස්කම් හා රැස් විහිදීම් ගැන විස්තර ඇහින් දුටුවාක් මෙන් එක හතර කොට කියමින් මෝඩයින් මුලා නොකරමු. ඍද්ධියෙන් යෑමට හැකි යැයි කියන “ධාතු” ඕනෑම හොරෙකුට හොරකම් කරගෙන යෑමට පුළුවන. එම නිසා හොරුන්ට හා හොරකමට “සපෝට්” කරන “ධාතු” යනු මිනිසුන් මුලා කරන වර්ගයක් බව අඥාන අයට පහදා දෙමු.

චේතනාව කර්මය බව නොදැන “පෙර කර්මය” ගැන විශ්වාස කරමින් දැන් දුක් විඳින ජනතාවට චේතනාව වෙනස් කිරීමෙන් කර්මය වෙනස් වන බව පහදා දීමට ඉදිරිපත් වන්න. එයින් ඔවුන් මෙතෙක් මුලා වී සිටි අන්ධ විශ්වාසයෙන් මුදාගත හැකි වන්නේය.

ධර්මය යනු අවබෝධ කරගත යුතුම වූ සත්‍යයකි. අන්ධ භක්තිය නිසා, පුද පූජා පැවැත්වීම නිසා ප්‍රාතිහාර්ය නිසා ගීත ස්වරය මිහිරි නිසා හෝ අවබෝධ වන ධර්මයක් නැති බව නොදන්නා මෝඩ අයට වටහා දෙමු.

දැන් අවබෝධ කරගත යුතු ධර්මයක් ඊ ළඟ ආත්මයට කල් දැමීම මෝඩ ක්‍රියාවක් බව “අප්පමාදේන සම්පාදේත” යන බුදු වදනෙන් මතක් කර දෙමු.

“නචසෝ නචඅඤ්ඤෝ” නම් ඊ ළඟ ආත්මයේ උපදින්නේ තමන් නොවන නිසා අද කරන්නට හිතා සිටින කිසිවකට දැනුමක් ලබන ආත්මයේ දී නොලැබෙන බව මතක් කර දෙමු.

භූත ලෝකයෙන් අරිෂ්ඨ, තෙල් බෙහෙත් හා කල්ක ගෙනැවිත් දෙන භූතයින් ලංකාවේ සිටිනවා නම් ඒ භූතයින් ගෙන් වැඩ ගන්නා අයට නොබෙල් තෑග්ග ලබා දීමට කටයුතු කරමු. ඊට පෙර භූතයන් ලවා වැඩ ගන්නා අයව ශාරීරික පරීක්ෂාවකට සහ භූත කාමර සෝදිසියට ද ඉඩ ලබා ගනිමු.

දෙවිවරුන්ගේ තැරැව්කාර කපුමහත්වරුන් ගේ දූ දරුවන් අංග විකලව හා ලෙඩ දුක් වලින් පීඩිත ව සිටිය දී වෙනත් අසරණ නරපණුවන්ට සෙත් ශාන්ති ලබාදෙන දෙවිවරුන් ගෙන් බොරු වංචා නොකරන මෙන් ඉල්ලීමක් කරමු. ඒ සැමට බුදුගුණාලංකාරය කියවීමට ඉඩ දෙමු.

නොයෙකුත් ක්‍රම වලින් අනාගතය ගැන පේන කියන අයට මැණික් හොරකම් හා මිනීමැරුම් වල අපරාධකරුවන් සහ ඔවුනට ආධාර අනුබල දෙන අයව අල්ලා දෙන මෙන් කියමු.

මෝහනයට පත්කොට පෙර ආත්මය කිව හැකි අයට මේ ආත්මය කීමට අභියෝග කරමු.

හැම බොරු “ජාතියක්” ම දමමින් සිංහලයා මෝඩයා කිරීමට තව දුරටත් ඉඩ නොදෙමු. සිංහලයනි අවදිවන්න, බුද්ධිය බේරාගන්න.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 පෙබරවාරි 1

Advertisements

නීති දමා සිත පිරිසිදු කිරීමට බැරිය

මිනිසාගේ සිතුම් පැතුම් හොඳ නම් එවැනි මිනිසුන් වාසය කරන එය රටක් නොව සුර පුරයකි. එහි වැසියෝ දෙවියෝය. ඔවුන්ගේ ඕනෑ එපාකම් වැඩි වෙහෙස මහන්සියක් නැතිව ඉටුවේ. ඔවුන්ගේ කාලය යහපත් සිතුම් පැතුම් සඳහාම වැය කළ හැකිවේ.

මිනිසාගේ සිතුම් පැතුම් නරක නම් එවැනි මිනිසුන් වාසය කරන එය රටක් නොව අපායකි. එහි වැසියෝ යම පල්ලන් ඇතුළු පව්කාරයන්ය. ඔවුන්ගේ ඕනෑ එපාකම් කොයි තරම් වෙහෙස මහන්සි වුවත් ඉටුකරගත නොහැකියි. ඔවුන්ගේ කාලය අනුන්ගේ දේ උදුරා ගැනීමට, මත් වී සිටීමට, දුක් විඳීමට හා සැකයෙන් පීඩා විඳීමට වැය වේ.

සමාජය හොඳ සමාජයක් වෙන්නේ එහි වාසය කරන පුද්ගලයන් තුල ඇති ඉරිසියා, ක්‍රෝධ, වෛරයන් තුරන් වීමෙනි. ඒවා තුරන් කරගන්නේ පුද්ගලයාය.

පුද්ගලයාගේ සිත් සතන් වල යහපත් චේතනා බලහත්කාරයෙන් හෝ නීති මඟින් හෝ රෝපණය කළ නොහැකිය. නරක වැඩ කළහොත් අපායට යනවා යයි කියා කුඩා ළමයින් නරක වැඩ වලින් වළක්වා ගත හැකිය. එහෙත් කුඩා ළමයා ලොකු මිනිසෙක් වී අපායට ඇති බිය නැති කරගනියි. එවිට ඔහු හැම නරක වැඩක්ම බිය නැතිව කරයි.

බිය නිසා නරක වැඩ නොකර සිටීමෙන් පුද්ගලයාට සිදුවන්නේ අයහපතකි. ඔහුගේ චේතනාව තමා කැමති දෙය කිරීමට ඇති බියයි. බයවීම කුසල් සිතක් නොව අකුසල් සිතකි. පාපයට බිය පුද්ගලයා බියකර තැබීම අබෞද්ධ හෙවත් බුද්ධියට ගෝචර නොවන ක්‍රියාවකි. පාපය යනු තමා පෙළෙන විෂක් බව අවබෝධ කරගෙන ඊට දුක් විඳීමට මේ මොහොතේ සිදුවන බව තේරුම් කර දීම අපායට බියකර තබනවාට වඩා යහපත්ය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 ජනවාරි 15

මිනිසෙකු වීමට වුවමනා නම් …

චරිතය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මානසික ඉරියව් හා ක්‍රියාවන් අතර ඇති සම්බන්ධතාවයන් ය. උසස් පරමාර්ථයක් ඇතිව ඒකායන බලාපොරොත්තුවෙන් හා විශ්වාසයෙන් යුතුව අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීම උසස් චරිතයක් නිර්මාණය කර ගැනීමට හේතු වන්නේ ය.

පළමුව ඔබ රූපයෙන් ලස්සන වීමට නම් සුන්දර සිතිවිලි හා ප්‍රබෝධමත් සිතක් ඇතිකර ගත යුතුය. හීනමානයෙන් හා ලාමක පහත් සිතිවිලි වලින් සම්පූර්ණයෙන් මිදීම, දුක් සහිත සිතිවිලි, පරාජිත බව, නාස්තික විශ්වාසය, ජීවිතයේ අවපක්ෂය ගැන නිතර මෙනෙහි කිරීම, අසනීප හා ඉච්ඡාභංගත්ව වැනි සිතිවිලි වලින් මිදීමට මෙහි දී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. තමා ඉතා සුන්දර ලස්සන කෙනෙක් යැයි නිතරම ප්‍රබල ස්ව-ඇඟවිල්ලක් ඇති කරගත යුතුය. උසස් සිතුවිල්ල උසස් රූපයක් නිර්මාණය කරයි.

ගුණයෙන් නුවණින් පරිපූර්ණ වීමට නම් පහත් දුෂ්ට සිතුවිලි වලින් සම්පූර්ණයෙන්ම මිදිය යුතුය. වෛරය, පළිගැනීමේ චේතනාව, කපටිකම, ආත්මාර්ථකාමය, ඉරිසියාව වැනි සිතිවිලි වහාම නැති කරගත යුතුය. මේවා ප්‍රබෝධ මනසක් වසා සිටින පිළිලයෝය. මෙවැනි පහත් සිතිවිලි මනස අරක් ගත්තාම එයින් ශරීරය රෝගී කරයි. එයින් මිනිසා සම්පූර්ණයෙන්ම මෝඩයෙකු කරයි. ඥානයෙන් ගුණයෙන් පිරෙන්නට නම් මෙවැනි දුෂ්ට සිතිවිලි පහකර සිත පිරිසිදු කරගත යුතුය. විශේෂයෙන් කරුණාව, මෛත්‍රිය වැනි සිතිවිලි වැඩි වැඩියෙන් දියුණු කරගත යුතුය.

උසස් පරමාර්ථ ගැන නිතර කතා කිරීම ද උසස් පුද්ගලයන් නිතර ඇසුරු කිරීම ද, වටිනා දේශන හා සාකච්ඡා වලට සවන් දීම ද උසස් පරමාර්ථයෙන් යුතුව ක්‍රියා කිරීම ද ගුණවත් ජීවිතයකට පදනම වන්නේ ය.

රුවෙන් හා ගුණෙන් පරිපූර්ණ වෙද්දී ප්‍රතාපවත් චරිතයක් ගොඩ නඟා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම දැඩි ආත්ම විශ්වාසයක් ඇති කරගත යුතුය. තමා ගැන දැනීමක් නොමැතිකම ආත්ම හීනතාවයයි. ළාමක චපල සිතිවිලි වලින් අයින් වීමෙන් තමා පිළිබඳ විශ්වාසයක් ගොඩනඟා ගන්නට හැකිවේ. ඒ නිසා දැඩි අධිෂ්ඨානයක් හා උත්සාහයක් ඉතා වැදගත් ය. දිනෙන් දින තමා උසස් චරිතයකින් යුක්ත වන බවත් දියුණු නව ලොවක් වෙත යන්නට තමන් ද නිර්මාණයෙන් සහාය වෙන බවත් නිතර සිතන්න.

මිනිසෙකු වීමට වුවමනා නම් පළමු කොට ඔබේ චරිතය හැඩගසා ගත යුතුයි. දෙවනුව ඔබේ සෞඛ්‍යය රැකගත යුතුයි. ඊ ළඟට කළ යුත්තේ අනලස්ව ඉගෙනීමයි. ජන්මයෙන් ලැබෙන දායාදයක් ලෙසින් තම චරිතය නිර්මාණය වෙනවා යැයි නොසිතන්න. බොහෝ විට ප්‍රතාපවත් චරිතයක් නිර්මාණය වෙන්නේ වගා කරගත් ගුණ ධර්මයන් ගෙන්, පරිසරයෙන් හා උගත්කමින් ආදී වශයෙනි.

ඇඳුම් පැළඳුම් ගැන සැලකිල්ලක් දක්වා, ආචාරවත් ලෙස කතා කරන බාහිර පෙනුමෙන් දැකුම්කළු පුද්ගලයන් තුල මනා චරිතයක් ඇතැයි අප තුල විශ්වාසයක් පවතී. එහෙත් සැබෑ චරිතය බාහිර කරුණු වලින් මැනිය හැකි නොවේ. පුද්ගලයා සමාජයට මුහුණ දෙන ආකාරයෙන් සැබෑ චරිතය මැන ගත හැකියි. දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමට හැකිවීම උසස් චරිතයක් වගා කරගත් කෙනෙකු තුල දැකිය හැකි ලක්ෂණයකි. ජයග්‍රහණයේ දී මෙන්ම පරාජයේ දී ද නොසැලී සිටින්නේ මෙවැනි පුද්ගලයෝය.

චරිත නිර්මාණය නම් තකහනියේ ඇති වන්නක් හෝ සති කීපයකින් හෝ මාසයකින් වඩාගත හැකි වූවක් නොවේ. එයට මනා ආත්ම සංයමයක් ද, හොඳ ඉවසිල්ලක් ද අවශ්‍යයය. දියුණුවක් ඇතිවීම යනුවෙන් සෑම විටම අදහස් කරනු ලබන්නේ නරක පුරුද්දක් මූලෝත්පාටනය කර හොඳ පුරුද්දක් වගා කරගැනීමයි. නිදසුනක් වශයෙන් අවිනිශ්චිත සිතක් ඔබේ අධිෂ්ඨානයේ බලයෙන් පැය විසිහතරක දී වෙනස් කරගත නොහැකියි. පසුබසින ගතිය, වැරදේ යැයි කල් තියාම සිතීම, කලබැගෑනිය යනාදිය අවුරුදු ගණනාවක් තුලක දී ඔබේ සිතිවිලි වල මුල්බැස ගෙන තිබුණ ඒවා විය හැකියි. එවිට වෙනස් වෙන්නට උත්සාහ කරන ඔබට විරුද්ධව නැඟී එන ඒ ඍන බලවේගයන් මැඬිය හැකි ප්‍රබල ප්‍රමාණයකින් ඔබ විසින් ධන බලවේගයන් යෙදවිය යුතු බව තරයේ මතක් කරගත යුතුයි.

ජයග්‍රහණය පිළිබඳ සටන වූ කලී ඉවසීම, උත්සාහය හා අභ්‍යාස පිළිබඳ වූ කාලයක් ගතවන වැඩ පිළිවෙලකි. මෙය කළ හැක්කේ කලක් තිස්සේ සැබෑ ගුණ ධර්ම ක්‍රමිකව පුරුදු පුහුණු කර ගැනීමෙන් පමණකි. දූරදර්ශී බව ද මනා චරිතයේ ලක්ෂණයකි. හොඳ චරිතයකට හොඳ පෞරුෂත්වයක් ද අවශ්‍යයය. කවර සමාජමය ක්‍රියාවක දී වුව ද නිදහස් ලෙස සිතීමට ශක්තියක් හා අවබෝධයක් තිබීම ද උසස් පෞරුෂත්වයේ විශිෂ්ඨ ලක්ෂණයකි. අපක්ෂපාතී භාවය ද, අවංක භාවය ද වගා කරගැනීම උසස් පෞරුෂත්වයට කැමත්තවුන් විසින් කළ යුත්තකි. උසස් පෞරුෂත්වය ඇති තැනැත්තේ නියමිත වගකීම් බාර ගැනීමෙහි ලා පසුබට වන්නෙක් නොවේ. ස්වකීය යයි කිව හැකි ජීවන දර්ශනයක් ද උසස් පෞරුෂත්වයක් ඇත්තෙක් තුල බිහි වේ.

චරිත නිර්මාණය සඳහා අධිෂ්ඨානය ද ඉතා වැදගත්ය. ශරීරයේ හෝ සිතේ ඇතිවන සෑම ක්‍රියාවකටම පසුතලය වශයෙන් සිටින්නේ අධිෂ්ඨානයයි. තීරණයක් ගැනීමට නොහැකිකම දුබල සිතක් ඇත්තා ගේ ලක්ෂණයකි. අධිෂ්ඨානය සමඟ බැඳී ගිය උත්සාහය ද උසස් චරිතයක් සඳහා ඕනෑ කෙරේ.

අපේ ශක්තිය හා බුද්ධිය, අපේ වස්තු හා අපේ වාසනාව අප හදවත උණුසුම් කොට ජීවිත සඵලත්වය ළඟා කර ගැනීමට අප පොළඹවන දේවල් වෙති. ඒත් ඒ හැම එකකටත් වඩා එකී සඵලත්වය ඇති කරගැනීමට නම් අපේ බලවත් උත්සාහය ද එයට එක්විය යුතුය. අධිෂ්ඨානය පෙන්නුම් කරනුයේ ජයග්‍රහණයේ අඩිපාර පමණකි. එහි ගමන් කරන්නට නම් උත්සාහයට එයට එකතු කර යුතුය.

ප්‍රතාපවත් චරිතයක් නිර්මාණය කරගන්නට අදිටන් කරන ඔබේ ඒ අධිෂ්ඨානය නිකම් ඇල්මැරුණ අදහසක් මෙන් පමණක් ඇතිකර ගැනීමෙන් ඵලක් ලැබෙන්නේ නැත. මෙය තවත් කල්පනා කර වටහා ගන්න. ඔබේ දුෂ්කරතාවයන් හොඳින් මැන ගන්න. ඔබට කරන්න ඇති දේ ගැන දැනුමක් වඩවා ගන්න. එහි අවසානය දැකිය යුතුමය යන දැඩි ධෛර්යෙන් පෙරට යන්න. ඔබ දියුණු වෙමින් සිටින බව ඒ ඒ අදියරයේ දී සොයා බලා ඔබ තුල ඇඟවිල්ලක් ඇති කරගැනීමට අමතක නොකරන්න.

උසස් චරිතයක් නිර්මාණයට සහායට එන එකම හිතවතා ඔබේ යටිසිතයි. එක පුරුද්දක් වෙනුවට තව පුරුද්දක් හැඩ ගසා ගැනීමට හැකියාව ලබා දෙන්නේ එයයි. ව්‍යාජ බියෙන් මිදීමටත් අප්‍රමාණ හැකියාවන් වලින් වැඩ ගැනීමටත් උදව් කරන මේ හා සමාන වෙන බලයක් ලොව නැත. මෙහි දී යටිසිතට කරන ඇඟවිල්ල මේ ලෝකයේ ඇති අනභි භවනීය බලවේගයන් ගෙන් එකකි.

ධෛර්ය වඩන පුද්ගලයා යටිසිතෙන් උදව් ලබා ගනී. සාර්ථක ලෙස පරිසරයට මුහුණ දීමේ හැකියාව ලබන්නට පුරුදු පුහුණු වෙන පුද්ගලයා කලබලකාරයෙක් නොවේ. පසුබසින්නෙක් නොවේ. වැඩ අරඹන්නට පළමුව හේ සිතයි. වටපිටාව ගැන හේ විමසිලිමත් වෙයි. තමාගේ මොළය දැනුමෙන් පුරවා ගනියි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 ජනවාරි 15

එදා සහ අද

මිනිහෙක් ඌරෙක් මරා ගැනීම සඳහා ඌ පසුපස එළවාගෙන ආවේය. ඌරා පන්සල් භූමියකට වැදී ආරාමයේ වැඩි සිටි රහතන් වහන්සේලා මැදින් දුවගෙන ගොස් පිටුපස කැලයට වැදුණි.

ඌරා පසුපස පැමිණි දඩයම්කරු පන්සල තුලට ඇතුල් වී මෙතැනින් ඌරෙක් ගියා දැයි රහතන්වහන්සේලා ගෙන් විමසීය. ඇත්ත කීවොත් මිනිසා ඌරා මරා දමා ප්‍රාණඝාත අකුසලය සිදුකර ගනී. තමන් වහන්සේලා ද සත්‍යය කීම නිසා එයට ආධාර අනුබල දුන්නා වන්නේය. එමනිසා රහතන්වහන්සේලා නිහඬව සිටියහ. මේ දුටු දඩයම්කරු ඌරා එතැනින් යන්නට නැතැයි සිතා ආපසු හැරී ගියේය.

ඒ එදාය. අද කතා නොකර සිටීමත් පවක් විය හැකිය.

අද නිහඬ වී සිටියොත් එහි අර්ථය නම් ඌරා එතැනින් දුව යන්නටම ඇතැයි දඩයම්කරුවා නිගමනය කරනු ඇත.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 පෙබරවාරි 1

වැඩගත හැකි සිතක් ඔබට ඇත

මිනිසත් බව ලබා උපදින්නවුන් මිනිසත් බවේ ශ්‍රේෂ්ඨතම අවස්ථාවන් කරා ගමන් කිරීමට ගන්නා මහන්සිය ඉමහත් ය.

ලොවේ සිටින සියළුම සත්වයන් අතරින් මිනිස් වර්ගයාට අග්‍ර ස්ථානයක් හිමිවන්නේ හරි හැටි පාලනය කරගත හැකි මැඬගත හැකි සිතක් ඇති නිසාවෙනි.

ආදී කාලීන යුගයේ සිට මිනිසා සිතුවිලි අනුගමනය කරමින් දිනෙන් දින දියුණුව කරා ගමන් කර ඇති බව පැහැදිලිය. ගල් යුගයේ සිට ක්‍රමයෙන් බුද්ධිමත් බව ඇති කරමින් විද්‍යා යුගයේ තවත් පෙරළිකාර ජීවිතයකට මිනිසා යොමු කරවූයේ ලොවේ උත්තරීතර මහා බලවේගය වූ සිතයි. අපරිමිත බලවේගය සිතයි. සිතුවිලි අනුව මිනිස් ජීවිත එකිනෙකට වෙනස් වෙන බව පැහැදිලි සත්‍යයකි.

ජීවත්වෙන සෑම කෙනෙකු තුලම වඩාත්ම බලපවත්වනුයේ කැපී පෙනීමේ ආශාවයි. සෑම ජීවිතයක් තුලම කැපී පෙනීමේ ආශාව පවතී. සමාජය දෙස විපරම් ඇසින් බැලීමෙන් එය වටහා ගත හැකිවේ. කෙනෙක් තවත් කෙනෙකුට වඩා ඉස්මතුව කැපී පෙනීමට දරණ වෑයම බොහෝය. කෑම බීම, ඉඳුම් හිටුම්, ගමන් බිමන්, ඇඳුම් පැළඳුම්, කතා බස, හැසිරීම යනාදී එදිනෙදා කටයුතු වල දී ත් මින් පිටස්තර සමාජයේ තවත් නොයෙකුත් අවස්ථාවල දී මේ මිනිස් ගතිය හිස එසවීමට වෙර දරනු ලබයි. අනුන්ගේ අවධානය තමන් කෙරේ යොමු කරවා ගැනීමට මෙන්ම එකෙකු පරදවා තව එකෙකු හිස එසවීමට දරණ වෑයම සිදුවන්නේ කැපී පෙනීමට ඇති ආශාව නිසාවෙන් නොවේ ද?

කැපී පෙනීමේ ආශාව මිනිස් වර්ගයා ලොව ඇති තාක් තිබිය හැකි සිතුවිලි දාමයකි. එම ආශාව ඇති නොවුනේ නම් සමාජය තුල විවිධත්වයක් දකිනු උගහටය. කෙනෙකු තවත් කෙනෙකුට වඩා ඉහළ මට්ටමක සිටීමට ඇති ආශාව නිසා ලෝකයේ විශ්මය ජනක නිපැයුම් ඇතිවෙයි. ලොවේ දියුණුවට (විද්‍යාවේ දියුණුවට) සිත තුල තැන්පත්ව ඇති මෙම කැපී පෙනීමේ හැඟීම් සමුදාය ඉවහල් වේ.

මිනිසුන් තුල පවතිනු ලබන මෙම ආශාව සමඟ බැඳී පවතින්නකි ජනප්‍රිය වීමට ඇති ආශාව.

මිනිසුන් අතර ජනප්‍රිය වීම සඳහා අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් ඇතැයි මට සිතේ. මවිසින් මෙම කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ අත්දැකීමෙන් හා ජනප්‍රිය අයගෙන් විමසා දැන ගැනීමෙනි. ඒ පිළිබඳ තව දුරටත් සිතා මවිසින් තෝරා බේරාගත් කරුණු කිහිපයක් මෙහි දී ඔබ වෙත ඉදිරිපත් කරමි. ඒ ගැන තව දුරටත් සිතා බැලීම කියවන ඔබ සතු ය.

ජනප්‍රිය වීම යනුවෙන් හොඳ නම රැකීමක් ලෙස ද සඳහන් කළ හැක. ඔබේ ජනප්‍රිය බව ඇතිකර ගැනීමට මුලින් ඔබ ඔබට අවංක විය යුතුය. පිරිසිදු සිතක් නොහොත් නිරෝගී සිතක් ඔබට තිබිය යුතුයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරහ, වංක බව, සොරසිත ඇත්නම් ඔබ ඔබට අවංක නොවේ. ඔබ ඔබට අවංක නොවෙන කල සමාජයට ඔබ ප්‍රිය නොවනු ඇත. සමාජය විසින් ඔබව පිළිකුල් කරන්නේ නම් ඔබ තුල ජනප්‍රිය වීමක් ඇති නොවේ.

යමෙකු ගැන සිහිපත් කළ විට, “අපොයි මතක් කරන්න එපා, හරිම අංකුරයෙක් තමයි, ළඟින් ගියොත් ඇහැක් නැහැ,” යනාදිය අසන්නට ලැබෙන්නේ සමාජය ඔහුව පිළිකුල් සහගත අන්දමින් පිළිගෙන ඇති නිසාවෙනි. කෙනෙකු පිළිකුලට භාජනය වන්නේ ඔහු තුල ඇති දුර්ගුණ නිසාවෙනි. දුර්ගුණ මතු වන්නේ පාලනය කරගත නොහැකි කිළිටු වූ, දූෂිත වූ, රෝගී මනස නිසාවෙනි. ජනප්‍රිය වීම සඳහා ඔබ ඔබට අවංක විය යුතු යැයි මා කීවේ එබැවිනි.

සිනාමුසු මුහුණක් තිබීමත් ඔබේ ජනප්‍රියතාවයට මහත් රුකුලක් වේ. මුහුණ කැඩපතක් බඳුය. සිනාව ඉනාවක් බඳුය. කෙනෙකු තුල නියම තත්වය මැන ගැනීමට ඉදිරිපත් වන මුල්ම සංකේතය හිනාවයි. හිනාව තුලින් ඔහුගේ ස්වභාවික මානසික තත්වය තේරුම් ගැනීම පහසුය. එක් එක් අවස්ථාවල දී ඔබේ සිනාව විවිධ පෙනුමෙන් යුක්ත වේ. ජනප්‍රියතාවය කරා ගමන් කරන්නෙකු තුල තිබිය යුත්තේ නිර්මල අව්‍යාජ සිනාවකි. එය උපහාසාත්මක හෝ වියරු හෝ කපටි සිනාවක් නොවිය යුතුයි.

ඔබ කෙනෙකු හා මිතුරු වීමේ දී ඔබෙන් මුලින් ම නිකුත් වෙන්නේ බැල්මෙන් ඔප් නැංවුනු සිනාවයි. සිනාව ජීවිත ළං කරවීමේ මහඟු බෙහෙතක් බඳුය. සිනාමුසු මුහුණින් යුතු ඔබ ජනප්‍රිය වනු නොඅනුමානය.

අව්‍යාජ සිනාවෙන් අනුන් වෙත ළං වෙන ඔබ ඔබේ ජනප්‍රිය බව රැක ගැනීමට හා වැඩි දියුණු කර ගැනිමට කළ යුතු තවත් කාර්යයක් වනුයේ “අඩුවෙන් කතා කොට වැඩියෙන් සවන් දීමයි.”

අනවශ්‍ය ලෙස වැඩිපුර කතා කරන්නා මෝඩයෙකු මෙන්ම සමාජයේ අවමානයට ද ලක්වෙයි. “හරිම කයිවාරුකාරයා කතාවට අහුවුනොත් ආයේ ගැලවුමක් නැහැ,” යනුවෙන් තොරතෝංචියක් නැතිව වැඩිපුර කතා කරන අය සමාජයේ දෝෂයට ලක්වන හැටි ඔබ අසා ඇත. අනවශ්‍ය අන්දමින් කතා නොකොට අනුන්ගේ බසට හොඳින් ශ්‍රවණය කිරීමෙන් ඔවුන්ගේ සිත් තුල ඔබ කෙරේ ප්‍රසාදයක් මතු වනු නියතය. ඉක්මණින් අන්‍යයන් අතර ජනප්‍රිය වීමට එයත් පහසු මගකි.

අන්‍යයන්ට වැඩිපුර සවන් දෙන ඔබ ඔවුන්ගේ මත ඉවසූ බවක් ද, හොඳින් ඇහුම් කන් දුන් බවක් දැක්වීමෙන් ද, ඔබේ ජනප්‍රිය බවට හේතු වේ. මින් අදහස් කළේ නොමනා අන්දමින් අනවශ්‍ය කරුණු මත වාද විවාද නොකිරීමය. වාද විවාදයකට යෑමෙන් සිදුවන්නේ බොහෝ සිතු තුල අමනාපකම් රෝපනය කර ගැනීමයි. කෙනෙකු තරයේ එල්බ ගත් මතයක් වෙනස් කරන්නට සූදානම් වීම ඔබ කරන අනුවණ කමකි. එවැනි අවස්ථා වල දී ඔබ ඔවුන්ට පිළිකුල් වනු ඇත. ඒ නිසා ජනප්‍රිය විය යුතු ඔබ අනුන්ගේ මත ඉවසිය යුතු අතර මත වෙනස් කිරීමට හෝ වාද විවාද වලට පැටලීමට කාලයක් මිඩංගු නොකරන්න.

තවත් වැදගත් කරුණක් වනුයේ අනුන්ගේ දොස් වැරදි අන්දමින් සෙවීම හා අනුන් විවේචනය කිරීමය. බොහෝවිට බොහෝ දෙනෙක් නිරායාසයෙන්ම කරන්නේ අනුන්ගේ දොස් සෙවීමය. සොයනුයේ ද නරක, අගුණ පමණි. එසේ සොයාගත් නරක අගුණ අන් අය සමඟ ද පවසයි. මෙය ඔබේ හොඳ නම රැක ගැනීමට ඇති ලොකුම බාධකයක් මෙන්ම ඔබේ වටිනා කාලය නිකරුනේ කා දැමීමක් ද වනු ඇත.

ප්‍රිය වචන කතා කරමින් සුදුසු අවස්ථාවන් හි දී අන්‍යයන්ගේ ගුණ වර්ණනාව ද ඔබ විසින් කරන්නේ නම් එය ඔබේ ජනප්‍රිය බව වැඩිවීමට මගක් වේ. සෑම කෙනෙකුම තමා ගැන වර්ණනා කරනු ඇසීම ප්‍රිය කරයි. ඔබ අනුන් ගැන වර්ණනා කරන තරමට ඔවුන් ඔබව ප්‍රිය කරනු ඇත. සුදුස්සන් වර්ණනා කිරීමට ඔබට මුලින් ම පිරිසිදු සිතක් නොහොත් නිරෝගී මනසක් තිබිය යුතුය.

හැකි තරමින් පිරිසිදුව සිටීමත් ඔබේ ජනප්‍රිය බව රැක ගැනීමට රුකුලක් වේ. අපිරිසිදු තැනැත්තා සමාජය විසින් පිළිකුල් කරනු ලබයි. ඒ නිසා සමාජයේ ගැවසෙන ඔබ ඔබේ ශක්තියට හැකි පමණ උපරිමයෙන් පිරිසිදුව සිටී නම් එයින් ඔබේ සෞඛ්‍යයට මෙන්ම ජනප්‍රිය බවට ද වාසියක් අත්වේ.

සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 පෙබරවාරි 1