සිංහලයනි අවදිවව්! කී කල ඔව්හු අවදි වී නිකං බලා සිටිති

නායකත්වය පමණක් ධර්මිෂ්ඨ වී අනිකුත් උසස් නිලධාරීන්, සේවකයින් හා ව්‍යාපාරිකයින් අධර්මිෂ්ඨ වී නම් රටේ සැබෑ දියුණුවක් ඇතිවිය නොහැකිය.

වචන ලක්ෂණ වූවාට ක්‍රියාව ලක්ෂණ නොවේ නම් ක්‍රියාව ලක්ෂණ වන තුරැ ලස්සන වචන වලින් වැඩක් සිදු නොවේ.

නිදා සිටි සිංහලයන්ට “සිංහලයනි අවදිවව්!” කියා කූද්දනු ලැබීය. ඔව්හු අවදි වී නිකං බලා සිටිති.

“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” යයි කියමන ඉතා ලස්සනය. එහෙත් මිනිසා මිනිසාට සේවය කරන හැටි බලා ගැනීමට බස් රියකින් යා යුතුය. වාඩි වී යෑමට මුදලක් අය කරන නමුත් මුදල් ගෙවා හිටගෙන යෑමට සහ හිරිහැර විඳීමට සිදුවන්නේය.

රජයේ හෝ සංස්ථාවකින් වැඩක් කරවා ගන්නට යන සාමාන්‍ය කෙනෙකුට මිනිසා මිනිසාට සේවය කරන ලස්සන බලාගන්නට පුළුවන. කඩේකින් හෝ රජයේ වෙළඳ සැලකින් හෝ මුදල් දී බඩුවක් මිල දී ගන්නට යන අයෙකුට ලැබෙන සැලකිලි!

නිලධාරීන්, සුළු සේවක මහතුන් හා මුරකරැවාගේ පටන් සියල්ලන්ම සේවය කරන්නේ අනිත් මිනිසුන් “වහලුන්” යයි සලකා ගෙනය. පිංසෙන්ඩු නොවී, බැගෑපත් නොවී, බොරැ චාටු නොදා, අඳුරන කියන අයෙකුගේ පිහිටක් නොලබා වැඩක් කරගත හැකි කාර්යාලයක් ධර්මිෂ්ඨ ලංකාවේ තිබේද?

මිනිසා මිනිසාට සේවය කරන්නේ  තමන් වෙත එන පුද්ගලයා ලොක්කෙක් නම් ය. පුංචි අය මිනිස්සු නොවේ. ඉඩක් ලැබෙන සෑම විටකම මිනිසුන් ගසා කෑම, වංචා කිරීම ජාතික සංස්කෘතිය වී ඇත.

මැද පෙරදිග රැකියා දෙන බවට පොරොන්දු වී එක් අයෙකුගෙන් රුපියල් දෙදාහ බැගින් රැගෙන රිසිට් පත් නොදී, රැකියා ද නොදී විශාල ගොඩනැඟිලිවල වැජඹෙන අයට ධර්මිෂ්ඨ නායකත්වයට විහිළු කරන්නට ඉඩ නොදිය යුතුය.

පිටරට රැකියාවල නියුතු වී උපයාගත් විදේශ විනිමය වලින් මෝටර් රථ වාහන ගෙන්වා දෙන්නට පොරොන්දු වී ලක්ෂ ගණන් වංචා කරමින්, නීතියේ රැහැනට අසු නොවන විදියට සූක්ෂම කපටිකම් කරන “වැදගත්” පෙනුමින් සිටින අධර්මිෂ්ඨයින් ධර්මිෂ්ඨ සමාජයට තර්ජනයකි.

ධර්මිෂ්ඨ යන වචනය තවත් ලස්සන වචනයක් වීමට පමණක් සීමා නොකර එය අර්ථවත් හරබර ක්‍රියාවක් බවට පරිවර්තනය වනතුරැ සමාජයට වැඩක් සිදු නොවේ.

අප සිටින්නේ ආගම, ධර්මය, දෙවි දේවතාවුන් පමණක් නොව අපේම මළගිය ඥාතීන්ගේ නාමය පවා විකුණාගෙන බඩගෝස්තරය සොයා ගන්නා සමාජයකයි. එවැනි සමාජයක් තුලින් බිහි වී සිටින මිනිසුන් ධර්මිෂ්ඨකම් යනු තමන්ගේ මල්ල පුරවාගත හැකි උපාය මාර්ගයක් හැටියට සැලකීම පුදුමයක් නොවේ. එහෙත් මෙම තත්වය හොඳ අතට හරවන තුරැ ලෝකය පිළිගත් දියුණු වැදගත් රටක් හැටියට පෙනී සිටීමට අපිට හැකි නොවනු ඇත.

විශාල ගොඩනැඟිලි, යෝධ ජලාශ ව්‍යාපාර, පළල් මහා මාර්ග කොපමණ ඉදි කළත් ඒවා ප්‍රයෝජනයට ගන්නා මිනිසාගේ සිතුම් පැතුම් බකල් ගසන, පරණ හණමිටි හා ඉරිසියා ක්‍රෝධ සහගත සිතුවිලි වලින් දූෂණය වී ඇත්නම් එම මඩ ගොහොරැ මොළ පිරිසිදු කරන තුරැ සංවර්ධනය සම්පූර්ණ නොවේ.

අපිට ලැබී ඇති ධර්මය ලෝකයෙන්ම ශ්‍රේෂ්ඨ විද්‍යානුකූල ධර්මයකි. එය පිළිපැදීම හා අවබෝධ කරගැනීම පසෙක තබා අපි එයට වඳිමු. පුදමු. එහි ගුණ කියමු. එය ලෝකයටම දීමට සූදානම් වෙමු. අපි පිළිනොපැද්දාට කම් නැත. අනුන්ට දෙමු.

අප ජීවත්වන දිවයින ලෝකයෙන්ම උතුම් රටකි. දේශගුණය උතුම්. පොළව සාරවත්. එහෙත් එහි මදුරැවා මිනිසාට තර්ජනයකි. කුණු කසල වලින් සෑම නගරයක්ම හා මහා මාර්ගයක්ම “අලංකාර” වී ඇත. අපේම හැටි! අපි හරි ඥානවන්ත දැහැමි මිනිසුන් යැයි කියමු. එහෙත් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට දහස් ගණනින් මිනිසුන් එක්රැස් කරගැනීම ඉතා පහසුයි. හොඳ ගුණ යහපත් වැඩේකට එකතු වෙන්නේ අඩිය ඉස්සරහට තබමින් හිත පස්සට තබමිනි. අපේ කාර්මික ඥානය ජර්මනියේ හදන ටිකට් මැෂින් එක කම්බි කෑල්ලෙන් විවෘත කරන්නට සමත්ය. අපේ රසායනික දැනුම අනුව ඉවත දමන දේවලින් සහ කැරපොත්තන් හා කටුස්සන් යොදා කසිප්පු නිපදවීමට සමත්ය. අපි හිතන්නේ බස් කඩා දමා, පාලම් බිඳ දමා, ආණ්ඩු පෙරළා, රට හැදීමටයි. පාලකයන් යනු මහජන සේවකයන් යයි පිළිගන්නා අය අප අතර නැත.

අපි දියුණුවීමට සිතන්නේ අපේම මිනිසුන්ගේ දේපල උදුරා ගැනීමෙනි. තමන්ගේම ගේ දොර කොල්ල කා දියුණුවීමට නොහැකි බව අපට වැටහෙන්නේ නැත.

මිනිසුන්ට සේවය කිරීම සඳහා දෙනු ලබන ලොකු වේතන ලබමින් අසරණ ජනතාවට තමන්ගේ නිල බලය පෙන්නා සැර දමන කටකාර, අහංකාර, බොරැකාර, මාන්නක්කාර හා කේරැම්කාර “උතුමන්ට” මේ ලිපිය කියවීමට සලස්වා අඩු ගණනේ තවත් එක් අයෙකු හෝ ධර්මිෂ්ඨ කරවා ගැනීමට වෑයම් කරන්න.

-සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 1 වැනිදා චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

Advertisements

2 comments on “සිංහලයනි අවදිවව්! කී කල ඔව්හු අවදි වී නිකං බලා සිටිති

  1. Ireneus Fernando says:

    Dear Mr.Samarasinghe, Your ideas are the most excellent I have ever read.

Comments are closed.