අද ඇති බාධාවට මතු කලක ස්මාරකයක් ඉදිකරනවා ද?

ibollwe001p4ඇමෙරිකාවේ ඇලබැමාහි එන්ටප්‍රයිස් නම් නගරයේ පුළුන් කුරුමිණියෙකු සඳහා  Boll Weevil Monument නමින් ප්‍රතිමාවක් ඉදිකර තිබේ. ගොවිතැන් වලින් ඉතා දියුණුවක් ලබා සිටින එහි ජනතාව තමන්ගේ සාර්ථකත්වයේ රහස වනුයේ පුළුන් කුරුමිණියා නිසා ඌ වෙනුවෙන් ස්මාරකයක් ඉදි කළ බැව් කියති. මෙම සත්‍යය වූ රසවත් සිද්ධියේ මුල පළමු ලෝක යුද්ධය තෙක් ඈතට යයි. එකල එන්ටප්‍රයිස් ජනයා ජිවිකාව උපයා ගත්තේ කපු පුළුන් වගා කිරීමෙනි. ඔව්හු එය ‘සුදු රත්තරන්’ හැටියට හැඳින්වූහ. කර්මාන්තයක් වශයෙන් එය ඉතා සාරවත් වාසිදායක එකක් විය. මේ අතර පුළුන් කුරුමිණියා එහි ළඟා වූයේය. ලාබ නිපදවීමට පෙර ලාබ ගිල දැමීමට කුරුමිණියා සමත් විය. පුළුන් කර්මාන්තයේ යෙදී සිටි ගොවි ජනයාට තිබුණ එකම ආදායම් මාර්ගය ඇහිරුණි. ඌ වනසා දැමීමට ගත් උත්සාහය නිසා වියදම් තව තවත් වැඩි වූයේය. මේ අතර ගොවි ජනයා එක් රැස්වී මේ විපතින් ගොඩ ඒමට මගක් කල්පනා කළහ. එහි භූමිය රටකජු වගාවට ඉතා සුදුසුය. කපු පුළුන් වෙනුවට රටකජු වගා කරමු යයි ඔව්හු එකඟ වූහ. මෙම බෝග වගාව මාරු කිරීම හේතු කොටගෙන එම ප්‍රදේශයට විශාල ආදායමක් ගලා එන්නට පටන් ගති. රටකජු තෙල් නිපදවන කම්හල් බිහිවිණ. පුළුන් වලට වඩා ආදායමක් ඉතා ඉක්මණට ඔවුන් වෙත ඇදී ආවේය. “අපිව මේ අළුත් වාසනාවට තල්ලු කළේ පුළුන් කුරුමිණියා. ඒ නිසා ඌ වෙනුවෙන් ස්මාරකයක් අපි ඉදි කළා,” යැයි පැරැන්නෝ පවසති. ඔබට පැමිණි බාධාව දෙස තවත් අංශයකින් බලන්න. සමහර විට ඔබේ බාධාවට ඔබ මතු කලක දී ස්මාරකයක් ඉදිකරනු ඇත. -සුමනදාස සමරසිංහ, 1979 ඔක්තෝබර් 15 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

Advertisements

One comment on “අද ඇති බාධාවට මතු කලක ස්මාරකයක් ඉදිකරනවා ද?

Comments are closed.