ව්‍යාපාර දියුණුවේ රහස

සමහර ව්‍යාපාරිකයන් තමන්ගේ වෙළඳ සැලෙහි විකිණීමට නොමැති දෙයක් කිසියම් ගණුදෙනුකරැවෙක් විසින් ඉල්ලන ලද අවස්ථාවක දී පවා “නෑ” කියා නොකියන බව ඔබ දන්නවා ද? එවැනි අවස්ථාවල දී ඔවුන් භාවිතා කරන්නේ “තව දින තුනකින් දෙන්නම්,” එසේ නැතහොත් “ලබන සතියේ දී ගන්න හැකිවෙයි,” යනාදී වශයෙන් සුහද වාක්‍යයකි. මොවුන් මෙසේ තමන් එදිනෙදා භාවිතා කරන වචන මාලාවෙන් නෑ, බෑ යන වචන දෙක ඉවත් කර සිටින්නේ අර්ථයක් ඇතිවය. ඔවුන්ගේ ව්‍යාපාර තුල සැඟවී ඇති මහා බලවේගයක් බවට පත් වී තිබෙන දියුණුවේ රහස එයමය.

ඔබත් පාරිභෝගික ද්‍රව්‍ය මිලට ගන්නට වෙළඳසැලකට ගිය අවස්ථාවක මෙවන් තත්වයකට මුහුණ දී ඇතුවාට කිසිම සැකයක් නැත. එවැනි අවස්ථාවකට මුහුණ දෙන්නට ඔබට හමු වූ ව්‍යාපාරිකයා ගැන මොහොතක් මෙනෙහි කර බලන්න. ඔහු ව්‍යාපාරික ලෝකයේ හොඳ තැනක් දිනාගෙන සිටින සෑහෙන ධන හිමියෙකු බව පැහැදිලි වෙනවා අනුමානයක් නැත. ඔවුන් අතින් මෙසේ දැන හෝ නොදැන හෝ ක්‍රියාත්මක වී ඇත්තේ චිත්ත ධර්ම විද්‍යාවේ මූලික න්‍යායකි.

අතමිට කොතරම් සරැවට තිබුණත් නිතර නෑ කියන අය ළඟ ධනය රඳා පවතින්නේ නැත. එසේ එළිපිටම නෑ කීම තමන් වෙත ධනය නැතැයි යටි සිතින් පිළිගැනීමකි. එසේ යටි සිතින් පිළිගත් විට තමන් රැස් කරගත් ධනයක් ඇතොත් එය ද තමන්ගෙන් ගිලිහී යාම ඉක්මණින්ම සිදුවේ. සෑම දෙයකටම බෑ කීම ද මෙසේ අනර්ථයක්ම ගෙන දෙයි. සමහරැ තමන් තුල ඇති ශක්ති ප්‍රමාණය කොතෙක්දැයි හරිහැටි අවබෝධ කර නොගෙන සිටින නිසා මෙසේ නෑ බෑ කියති. තවත් සමහරැ කිසිවක් දුර දිග කල්පනා නොකර ගතානුගතිකවම මෙම වචන භාවිතා කරති. එය හරියට කඩදාසියක් ගෙන එක තැනකින් නැවූ විට නැවත නැවතත් එතැනින්ම නැමෙන්නාක් මෙනි.

අද අප ලබා තිබෙන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවට අදාල යාන්ත්‍රික නිෂ්පාදන සම්භාරය ලොවට බිහි කළ විද්‍යාඥයන් “මට වේලාවක් නෑ,” “මට මේ දේ නම් කරන්න කොහොමවත් බෑ,” යනාදී වශයෙන් කියා සිටියා නම් අපට එවැනි නිෂ්පාදන ලැබේවි ද? දිවා රෑ නොබලා ආහාර පාන ආදිය ගැන පවා ඇතැම් විට නොසලකා එවුන් වෙහෙස මහන්සි වූ නිසා අපි අද සුව පහසු ලෝකයක ජීවත් වෙමු. ඒ අනුව මිනිසාගේ ප්‍රගතිය සඳහා මේ නෑ බෑ යන වචන දෙක කොයිතරම් දුරට බාධා පමුණුවන්නේ දැයි අපිට සිතා ගත හැකිය.

මෙසේ නොවිමසා නොබලා නොසොයා නෑ බෑ කීම අපේ ජාතික දුර්වලතාවයක් බවට පත්වී ඇතැයි මට සිතේ. ලෝකය විද්‍යාත්මක හා තාක්ෂණික අංශයන්ගෙන් දිනෙන් දින ඉදිරියට යද්දී අපි සිත් තුල කුණු කන්දල් පුරවා ගෙන තුට්ටුවක වටිනාකමක් නැති දේවල් සොයමින් සිටිමු. අප තුල සැඟවී ඇති මහා චිත්ත ශක්තිය ගැන කිසිදු අවබෝධයක් නොමැතිව සෑම දෙයකටම කටට ආ පලියට නෑ බෑ කියමු. එය ඇත්ත වශයෙන්ම ශෝක ජනක තත්වයකි. චිත්ත ධර්ම විද්‍යාවට ඇලුම් කරන්නෙකු වශයෙන් ඔබ අද සිටවත් අපේ විවිධ චිත්ත ශක්තීන් අහුරා දොරගුලු ලා තබන මේ නෑ බෑ යන වචන දෙක හැකි තරම් දුරට අඩුවෙන් භාවිතා කරන්නට පුරැදු වන්න. එය ඔබ ලබන මහඟු ජයග්‍රහණයක් වනු ඇත.

චිත්ත ධර්ම විද්‍යා පත්‍රය 1979 ඔක්තෝබර් 1

Advertisements

One comment on “ව්‍යාපාර දියුණුවේ රහස

Comments are closed.