සම්පත් උදාකරන බලවේගයක්

ධන සම්පත් ලබා අගහිඟ කමෙන් තොරව වාසනාවන්ත අයුරින් ජීවත්වීමට, උසස් ඉගෙනීමක් ලබා ඥානයෙන් බැබලීමට සහ මිනිස් වර්ගයාට උදාර සේවයක් කොට කීර්තිමත් පුද්ගලයෙකු වීමට හැකි පුදුම බලයක් මිනිස් සිත තුල තිබේ.

සෑම ධනවතෙක්ම ධනවත් වී ඇත්තේ, සෑම උගතෙක්ම උගත්කම ලබා සිටින්නේ, සෑම ඉමහත් කීර්තියට පත් වී සිටින්නෙක්ම එසේ වී ඇත්තේ මේ පුදුම චිත්ත ශක්තිය පවත්වාගෙන යෑමේ හැකියාව නිසාය.

හොඳ සිහියක් ඇති ඕනෑම කෙනෙකුට මෙම පුදුම බලැති චිත්ත ශක්තිය උදාකර ගත හැකිය. එයින් විශිෂ්ඨ ඵල නෙලා ගන්නේ එම උදාකර ගන්නා බලය නිවෙන්නට නොදී රැකගන්නා අය පමණකි.

මිනිසුන් අතර උද්‍යෝගීමත් ජනයා අන් අයට වඩා හොඳින් සැපසේ ජීවත් වෙති. දෙමාපියන් උද්‍යෝගීමත් වීම නිසා ඔවුන්ට ලැබෙන දරැවන් ද ඊට වඩා දැඩි උද්‍යෝගීමත් අය වෙති. දෙමාපියන් අලස අය වුවත් තමන්ගේ නුවණින් හිතා බලා දැනට නැති උද්‍යෝගයකින් ඕනෑම මිනිසෙකුට දියුණු විය හැකිය.

අලස තිරිසන් සතුන්ට පවා උනන්දුව ඇති කිරීමට මිනිසාට පුළුවන. උනන්දුව හෝ වීර්යය කෙනෙකුට ඉබේ පහළ නොවේ. එය තමන්ගේ නුවණ මට්ටම අනුව හෝ බාහිර බලපෑමක් නිසා හෝ පහළ වෙයි. ඕනෑ නම් පහළ වෙනතුරැ බලා නොසිට පහළ කර ගැනීමට ද තමන්ට හැකිය.

දියුණු වී සිටින බොහෝ ජාතීන්ගේ සිත් සතන් වල ඇත්තේ අන් අයට වඩා ඉහළින් සිටිමේ ආශාවයි. එම නිසා ඔව්හු දිවා රාත්‍රී දියුණු විය හැකි ක්‍රම ගැන සිත මෙහෙයවති.

දියුණුවක් නැති සෑම ජාතියකම යටි සිතේ ඇත්තේ දියුණු වී සිටින අය වනසා දැමීමය. අනුන්ගේ දියුණුව මොවුන්ගේ ඇස්වල ඇනී ඇති උල්කටු මෙනි. මේ නිසා ඔවුන් කෙරෙන් උද්‍යෝගය පලා යයි. තමන් වෙත උද්‍යෝගය එන්නේ එයට ඒමට ඉඩකඩ ඇහිරී නැත්නම් පමණකි. අඥානකම, ඊර්ෂ්‍යාව, කුඩුකේඩුකම දෙබෑ කරගෙන ඉස්මතු වීමට තරම් ශක්තියක් උද්‍යෝගයට නැත.

නිතරම මිනිසාගේ සිත තුල වැඩිපුර බල පවත්වන සිතුවිල්ල අනිකුත් සියළුම සිතුවිලි යටපත් කරගෙන සිටීමට සමත් වෙයි.

තමන්ගේ රෝගය ගැන සිතමින් කාලය ගෙවන අයෙකුට එයින් මිදීමේ සිතුවිල්ලක් දැනුමක් හා බලවත් ඕනෑකමක් පහළ නොවේ.

පමාවන විවාහය ගැන සිතන නිසා එය ඉක්මන් කරන සිතුවිල්ලකට ඉස්මතු වීමට ඉඩක් නොලැබේ.

කෙටි කල්පනාකාරයා වීර්ය පාරමිතාව පුරන්නේ කෙටි මගකින් වහා ධනවත් වීම සඳහාය. එවැනි අය සොරකම් හා මංකොල්ලකෑම් වලට අසුවී සිරගෙවල් වල සිටිති.

මිනිසෙකුට දියුණුවක් නැත්නම් එහි අදහස ඔහු තුල උද්‍යෝගයක් නැතිකමය. ඔහු අලසයෙකි. එහෙත් වැඩක් කිව්වොත් ඔහු දෙන පිළිතුර නම් “මට වේලාවක් නැහැ,” යන්නයි.

තමන්ගේ රක්ෂාව ඕනෑකමින් නොකරන අයට උද්‍යෝගයක් නැත. ඔවුන් කියන්නේ අනුන්ගේ වැඩ කරන්න උනන්දුවක් ඕනෑ නැති බවය. ඔවුන් ඊ ළඟට තමන්ගේ කියා ව්‍යාපාරයක් අරඹති. උනන්දුව හා උද්‍යෝගය කලින් පුරුදු පුහුණු නොකළ නිසා ඔවුන් අරඹන “තමන්ගේම ව්‍යාපාරය” ටික දිනකින් වසා දමන්නට සිදුවේ.

කලබල කඩිසර අය ඔබ දැක තිබේද? උසස් දියුණුවක් ලබන්නේ එවැනි අයයි. තමන්ගේ ශරීරය තමන්ට පාලනය කරගන්න බැරි විදියට වැනෙන අය අප රටේ වැඩියෙන් සිටිති. උදාසීන බව එයට හේතුවකි.

කරන්නට වැඩක් නැති, ඉර මුදුන් වනතුරැ නිදා සිටින අයට වැඩක් ලැබුනත්, එය කරන්නට ශරීරයට බැරිය. ක්‍රියාශීලී කඩිසරකම නිසා ශරීරය ක්‍රියා කරයි. හමුදා පෙරෙට්ටු තියන්නේ කෑම දිරවීම සඳහා නොවේ. හදිසියක දී භටයන්ගේ ශරීර වලින් වැඩ ගැනීම සඳහාය. පාවිච්චි කළත් නැතත් තුවක්කු හා කඩු පිරිසිදුව හා මුවහත්ව තබාගත යුතුය.

බොහෝ සමිති සමාගම් පටන් ගන්නේ දැඩි උද්‍යෝගයකිනි. බොහෝ මුල්ගල් තබන්නේ බලවත් බලාපොරොත්තු ඇති කරගෙනය. එහෙත් එය පවත්වා ගැනීමට ඔවුන් වෙහෙසෙන්නේ නැත.

දැඩි උද්‍යෝගීමත් ලෙසින් වැඩ පටන් ගන්නා සමහර අය බොහෝ විට එක අදහසක් ඉටු වූ සැනින් උද්‍යෝගය අඩු කරයි. කඩයක් දමා ධනයක් හම්බ කරගත් තරැණයා ධනවත් තරැණියක් හා විවාහ විය. එදා පටන් කඩේ වෙළඳාම බැස්සේය. වසා දමන තත්වයටම එය වැටුණි. එයට හේතුව අපලයක් යැයි කෙනෙක් පැවසීය. ඒ මිනිහට ගෑණිගෙන් අපලයිලු යැයි තව එකෙක් කීය. කොඩිවින කරලා යැයි කටහැකර ගෑණියක් කීවාය. එහෙත් ඇත්ත නම් ඒ එකක් වත් නොවේ. අර තරැණයාගේ උද්‍යෝගය අඩුවීමයි. ඔහු මුල දී දැඩි ඕනෑකමකින් හම්බ කළේ කසාදයක් බැඳ ගැනීමට තරම් ලොකු මුදලක් උපයා ගැනීමේ අභිලාෂයෙනි. එය ඉටු විය. පුද්ගලයාගේ උද්‍යෝගයේ හුලං බැස්සේය.

උද්‍යෝගයට උදාහරණයක් දෙන්න යැයි වරක් මගේ දියණියක් මගෙන් ඉල්ලීමක් කළාය. මම එය ගෑස් පිරවූ බැලුමකට උපමා කළෙමි. බැලුම තුල ඇති ගෑස් අඩුවීම හෝ පිටවී යෑම නිසා බැලුම පහත වැටීම සිදුවේ. උද්‍යෝගය අඩු වූ සැනින් දියුණුව ඇණ හිටී. උඩට යන වේගයට වඩා පහතට වැටෙන වේගය බොහෝ විට වැඩිය.

“හිස ගිනිගත්තෙකු එගිනි නිවන ලෙස” කොතරම් උනන්දුවකින් කටයුතු කරන්නේ ද? වරක් අතරමං වූ ගැටවර තරැණයෙක් මා වෙත පැමිණ රක්ෂාවක් සොයා දෙන ලෙස කීය. දර කොටයක් පෙන්නා එය පළා දීමට හැකිනම් මුදලක් දීමට හැකි බව මම කීවෙමි. ඔහු එය ඉතා සතුටින් කළේය. ඔහු ටික දිනක් අප නිවසේ නතර වී නොයෙකුත් වැඩපල කර දුනි. අව්ව වැස්ස හෝ රෑ දවල් කියා ඔහුට වෙනසක් නොවීය. දියුණුවන අය වහා හඳුනාගත හැකි නිසා මෙකී තරැණයා වෙළඳාම පුරැදු වීම සඳහා සුදුසු තැනකට මම යොමු කළෙමි. අද ඔහු ධනවත් වෙළෙන්ඳෙකි. අවුරුදු පහකට පෙර තිබූ උද්‍යෝගය අදත් ඔහු තුල තිබේ. ධනය සෙවීම ඔහුට විනෝදයකි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා 1983 අගෝස්තු 1

Advertisements