වෑයම් කරන්නෝ වීරයෝය

ප්‍රශ්නය: වස්තු සම්පත් ඇති අය ආඩම්බර ඇයි?

පිළිතුර: වස්තු සම්පත් නැති අයට පෙනෙන්නේ ඒවා තියෙන අය ඉතා අහංකාර බවයි. ද යන්න මෙන් දෙකට නැවුනු ගම්බද තරැණයෙක් පිටරට ගියේය. ඔහු ආපසු ගමට පැමිණි පසු අලුත් මෝටර් බයිසිකලයක් මිල දී ගෙන ගමන් බිමන් යන්නට විය. හැමෝම දැන් ඔහු ඉතා ආඩම්බර බව කීහ. එසේ කීවේ ඔහු මෝටර් බයිසිකලයේ නැග යද්දී දෙකට නැවුනු ගතියක් නැති නිසාය. මෝටර් බයිසිකලයක ඍජුව වාඩි වී යෑම අහංකාරකමක් යැයි මෝඩ ඉරිසියාකාරයන් දකිති. මිනිසුන් කොන්ද කෙළින් තබාගෙන මිනිසුන් මෙන් ඉන්නවා දැකීමට මෝඩ ඉරිසියාකාර සිත් වලට වදයකි. ධනය නිසා කෙනෙකු ටික දිනක් යන තුරැ අහංකාර විය හැකියි. එහෙත් එයින් පසු නුවණ පෑදී නැවත නිරහංකාර නූනොත් ඔහු ධනවෙතක් නොවී සම්පත් අහිමි කරගන්නා මෝඩයෙකි.

ප්‍රශ්නය: හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ. ධනවත් වන මිනිසෙකු යැයි දැනගන්නේ කෙසේද?

පිළිතුර: කතා බහෙන් හා හැසිරීමෙන් කෙනෙකු ආර්ථික අතින් දියුණුවක් ලබන කෙනෙක් ද? එසේ නැත්නම් දුගියෙක් වෙන කෙනෙක් දැයි කිව හැකිය. වෛරයෙන් හා ඊර්ෂ්‍යාවෙන් දේශපාලන වාද විවාද කරමින් කාලය ගෙවන පුද්ගලයා නිර්ධන පංතියේ දුගියෙකි. ආගම හා දර්ශනය විවේචනය කරමින් කාලය කා දමන්නා නිතර අගහිඟකම් වලින් පෙලෙන්නෙකි. සූදුව සුරාව හෝ ක්‍රීඩා හෝ අනුන්ගේ ඕපාදූප ගැන පමණක් කතා කරමින් කාලය කන්නේ දුගියෙකි. විනෝදය, ආදරය, චිත්‍රපටි ගැන කතා කරන්නේ දියුණුවක් නොලබන අයෙකි. ධනවත් වන පුද්ගලයා තමන්ගේ කතාව මුල් කරගන්නේ පිටරට යෑම, ආනයන අපනයන, සංචාරක කර්මාන්තය, ගොවිතැන, සත්ව පාලනය, වෙළඳාම, බැංකු කටයුතු හා මැණික් ආදිය ගැනයි.

ප්‍රශ්නය: හැමෝටම එක වගේ බුද්ධිය නැහැ. ඉතින් මෝඩ ජනයා බෝධි පූජා පැවැත්වීම, මල් පහන් පිදීම හා ගස් වලට කිරි පිදීම නිසා ඔවුන්ගේ සිතට සහනයක් ලැබේ. එහි ඇති වරද කුමක් ද?

පිළිතුර: කුඩා ළමයි සෙල්ලමට වැලි බත් උයා සිතට සතුටක් ලබති. එහි වරදක් නැත. එහෙත් එයින් බඩ පිරෙන්නේ නැහැ.  ඔවුන් ආහාර වේලක් ගත්තා යැයි අපි කියන්නේ නෑ. ඉතින් මෙවැනි වතාවත් කරද්දී එයට බුද්ධාගම යැයි කීම වැරදියි.

සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා 1983 අගෝස්තු 1

Advertisements