මෙන්න මෙයා හඳුනාගන්න

මෙයා හිතන්නේ මෙයාට වැඩියෙන් දන්න අය වෙන නැත කියාය. මෙයා තරම් පන්ඩිතයෙක්, වැදගතෙක්, උගතෙක් නැතෙයි කියා මෙයා හිතේ තියාගෙන සිටී.

මෙයා මහා කුලවතෙක් යයි සිතා අන් අය තුට්ටු දෙකක් නොවටිනා අය හැටියට සිතයි. මෙයා පොත පතට ගරහයි. වෙන එකක් තබා මෙයාගේ ලෝකය කොයි තරම් පුංචි ද කියාවත් මෙයා දන්නේ නැත.

මෙයා අනුන්ට ගරහා සතුටු වෙයි. වාද කරනවා මිසක් අනුන්ට කන් දීමට තරම් ඉවසීමක් මෙයාට නැත. මෙයාගේ උගත්කම පොත් කිහිපයකට සීමා වී ඇත. මෙයා කියවන්නේ එකම ජාතියේ පත්‍රයක් පමණයි. අන් අය රේස් කොලයට වශී වී සිටින ආකාරයට මෙයා එම පත්‍ර කබලට වශී වී සිටී. එහෙත් එය වශියක් බව දන්නේ නැත.

රේස් කොලයට වශී වූ අයට ඉන් එහා වෙනත් දේ ගැන දැනුමක් හෝ උවමනාවක් හෝ නැත. මෙයාටත් වෙනත් දේවල් ගැන දැනුමක් නැත. එහෙත් සිතා ඉන්නේ එයා තරම් බහුශ්‍රැතයෙක් මේ ලෝකයේ වෙන නැතෙයි කියාය.

මෙයාගේ මෝඩකම් නිසා අපට සිද්ධ වූ දියුණුවක් නැත. මෙයා නිසා අපට සෑහෙන අයගේ ඇසුර අහිමි විය. මෙයා මෙන් අපත් දැන් සමාජයෙන් කොන් වී ඈත් වී සිටිමු.

මෙයා හඳුනාගත හැකි ලකුණු මෙන්න. කතා කරන්නේ එකම දෙයක් ගැනමයි. එයට විරුද්ධ පැත්තේ යමක් තිබේදැයි බැලීමට මෙයා සූදානම් නැත.  ගෙදර සිටින වේලාවට බුම්මාගෙන සිටී. නිතරම සිතේ සතුටක් ඇති බවක් නොපෙනේ. මිනිසුන් රුස්සන්නේ ද නැත. එහෙත් බොරු හිනාවක් දමා දත් විලිස්සා රුස්සන බවක් පෙන්වා යන්නට හැර ඇනුම්පදයක් කියයි.

මෙයාගේ පැත්ත අරන් මෙයා කියන දේ අනුමත කරන “එහෙයියන්ට” හා “හෙංචයියලාට” මෙයා රැවටේ.

මෙයා උඩින් හොඳ මුහුණක් පෙන්නා යටින් හීන් නූල් අදින්නට ඉතා දක්ෂයෙකි. එහෙත් ඒවා මෝඩ අමන ක්‍රියා මිස සැබෑ වීර වැඩ නොවන බව මෙයා දන්නේ නැත.

මෙයා කරන රස්සාවට තරම් මෙයාට සුදුසුකම් නැත. ඒ වැඩියෙන්ම උසස් ගති නැති නිසයි. මෙයා උසස් තනතුරු ලබා සිටින්නේ හැකි තරම් “එහෙයි” කීමෙන්, දෙකට තුනට නැමීමෙන් හා බොරු ගොතා කීමෙනි. මෙයා ළඟ උසස් ගතිගුණ නැති නිසා උසස් අය ගැවසෙන තැන්වල මෙයා නැත.

මෙයා “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” කියමන අකුරටම සනාථ කරන්නෙකි.

අනුන්ගේ පහනින් මිස එළිය බැලීමට මෙයාට පහනක් නැත. මෙයාට මොළය පෑදේවා යැයි නිතර සෙත් පතනවා මිස වෙන කළ හැකි දෙයක් දැනට නැත.

-(එයා) සුමනදාස සමරසිංහ, 1979 මාර්තු 1 චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

Advertisements