ආත්මඅනුකම්පාව නැතිකර ගන්න

අපි වැඩි දෙනෙක් අනික් අයගේ අනුකම්පාවත් සැලකිල්ලත් බලාපොරොත්තු වෙන වේලාවල් බොහෝ ඇත. එය සාමාන්‍යයෙන් කා තුලත් ඇතිවෙන පොදු ආශාවකි.

එහෙත් මේ ආශාව හරියට පාලනය නොකළහොත් සිදුවන්නේ විශාල හානියකි. මේ අනුකම්පාව ලබාගැනීමේ ආශාව දිගින් දිගට පැවතුනහොත් එය ආත්මානුකම්පාව නැතහොත් තමා ගැනම දුක්වීමේ පුරුද්දක් බවට පත්වේ.

හිතක උපදින එඩිතරකම, උනන්දුව දුර්වල කරමින් මිනිසා එකතැනම වැතිරගන්නේ මේ ආත්මානුකම්පාව බලවත් වූ විටයි. මෙය පලවා හරින්නට බැරි දෙයක් නොවේ. තමාගේ හිත ගැන තමාම තේරුම් ගැනීමත්, මනෝවිද්‍යානුකූල උපදෙස් පිළිපැදීමත් නිසා මිනිස් හිතේ ධනවේග වලට හානි කරන මේ ‘විෂ’ නසාලිය හැකියි.

මෙහි දී ඉතාම වැදගත් කොන්දේසිය නම් තමා තමාට අවංක වීමයි.

ආරයට යාම, පරිසරය, හරි ඉගෙනීමක් නොලැබීම, අනුකරණය, අංග විකලවීම යනාදිය නිසා කෙනෙකු ආත්මානුකම්පාවට ගොදුරු වීමට ඉඩ ඇත. ප්‍රශ්න බාධා හමුවේ පෙරට නොයා ඉන්නට තමාට නිදහසට කරුණු වශයෙන් ඉහත දැක්වූ දේවල් පොදි බැඳගෙන තිබීම අපි කරන ලොකුම වරදයි.

සමහර විටක දී, කෙනෙකුගේ කරදරයක දී අනික් අය ඒ ගැන අනවශ්‍ය අනුකම්පාවක් දක්වන්නට යාම නිසා කරුණු තවත් අවුලෙන් අවුලට පත්ව යයි. නැතහොත් ඒ අනුකම්පාව නිශ්ඵල වෙයි. බාධක හිරිහැර රාශියකට මුහුණ පෑ ෆ්‍රාන්සස් හැවරගැල් නම් කිවිඳිය වරක් මෙසේ ලියා ඇත්තේ ඒ නිසාය. “මා හැර අනික් සියළු දෙනාම මා ගැන දුක් වෙති.”

ජීවිතය ජයගත් බොහෝ දෙනාගේ චරිත කතා කියවන විට අපට පැහැදිලි වෙන්නේ ඔවුන් තමා ගැනම දුක්වීම සම්පූර්ණයෙන්ම ඈත් කළ අය බවයි.

දුක්වීමට හේතු දක්වන හැදියාවෙන් මිදීමට සමත් වෙන්නා එදා සිට මිනිස් දිවියේ අගය තේරුම් ගනියි.

තමා ගැනම දුක්වෙන තැනැත්තා බාගෙට මැරුණු අයෙකි. ජීවිතය ජයගැනීමට ඔහුගේ තිබුණු ආශාව, ආත්මානුකම්පාව විසින් හොරකම් කරනු ලබයි. අපි අප ගැනම දුක්වීමෙන් ලබන ලාමක සතුට කුමක් වුවත් එහි වන්දිය වැනෙන වැතිරෙන ජීවිතයකින් ගෙවන්නට සිදුවේ.

මොන පැත්තකින් බැලුවත් ආත්මානුකම්පාවේ අවසාන ප්‍රතිඵලය පරාජය පමණකි.

එයින් මිදෙන්නට ගත යුතු මූලික පියවර වශයෙන් අපේ හිත බාහිර ලෝකයට යොමු කළ යුතුය. අපේ සිතිවිලි අපෙන් පිටතට යොමු කළ යුතුය. අපි අපටම කොටුවීමට ඉඩ නොතබා සටන් කළ යුතුය. එහෙත් ඔබ ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුයි. සෑහෙන උත්සාහයක් නොකඩවා ගෙන යා යුතුය. ඔබේ සිතුවිලි ඔබෙන් ඈතට යත්ම ප්‍රීතිමත් බවේ සෙවනැල්ල ඔබ දෙපා මුල වැතිර ගනියි.

ඔබේ තනිකම නැමති සිරගෙය බිඳ හෙලා වහාම අනුන් ඇසුරු කරන්නට ක්‍රියාත්මක වන්න. දවසට එකක් වත් අනුන් වෙනුවෙන් දෙයක් කරන්න. ඔබට හුරු පුරුදු දිනචරියාවට අමතරව වෙනස් එක දෙයක් හෝ කරන්න. සමාජ සේවා කටයුතු වලට එකතු වන්න.

ආත්මානුකම්පාව තමාට මෙන්ම ඇසුරු කරන්නන්ට ද නරකක් මිස හොඳක් කරන්නේ නැත. බොහෝ දෙනා නිතරම හොයන්නේ දුක හිතෙන කතන්දරයකට කන්දෙන්න සූදානම් අයෙකුයි. එවැනි කතාවකට කන්දෙන එක මොන තරම් අසීරු කම්මැලි වැඩක් දැයි ඒවා අසා පුරුදු අය දනිති. ඒ වගේම තමන්ගේ දුක කියන්නට කෙඳිරීමෙන් වටිනා හිත මිතුරන් පවා ඈත්වෙන වේලාවල් ඇත.

පැතුම් සුන් වී බලාපොරොත්තු බිඳී ශෝකයක් වේදනාවක් ඔබට ඇති වුනා නම් ඒ ශෝක පරාදීසිය තුලම ලැගුම් ගෙන නොසිට බාහිර ලෝකය දෙස බලා ආත්මානුකම්පාව එලවා දමන්න. එය නතර කරගත්තොත් ඔබට ඉතිරි වන්නේ කඳුළු පමණයි.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

Advertisements