ජීවිතය යනු තිත්ත කසායක් නොවේ

උසස් මනසක් ඇතිව උපන් මිනිසාට ඕනෑම ගැටළුවක් විසඳා ගැනීමේ සහජ හැකියාව ඇත.

ජීවිතය ගැන විවිධ දෘශ්ටි කෝණ වලින් බලන මනෝවිද්‍යාඥයන්, චින්තකයන්, ආගමික නායකයන්, විද්‍යාඥයන් එදත් අදත් ලොව පහළ වී ඇත. සමහර අයට ජීවිතය එකම එක රස ගුලාවකි. මී විතකි. සුර ලොවකි. සමහර අයට එම ජීවිතයම තිත්ත කසායකි. මෙලොව අපායකි. එකම පුද්ගලයා වුව ද ජීවිතය ගැන දරන මතය වරින් වර වෙනස්කර ගනියි. උගත්කම, ධනවත්කම, රූමත්කම ආදී කරුණු වලින් එක සමාන ලෙස අපට පෙනෙන දෙදෙනෙකු වුව ද ජීවිතය පිළිබඳව දරන මත එකිනෙකට වෙනස්ය.

ජීවත්වීම මහා කරදරයක් ලෙස, බරක් ලෙස, සිතන පුද්ගලයන් අප සමාජයේ බහුලය. එකම ජීවිතය කෙනෙකුට මහා කරදරයක් ලෙස දැනෙන්නේත් එයම තව කෙනෙකුට සැහැල්ලු සැනසිලිදායක තත්වයක් ලෙස දැනෙන්නේත් ඇයි? මේ වෙනස ඇත්තේ කොතැනක ද? එයට හේතුව කුමක් ද? යනු විමසා බැලිය යුතුයි. මහා චින්තකයන්, දාර්ශනිකයන්, බුද්ධිමතුන් ඉතා පුදුම සහගත අගනා දේ ලෝකයාට ලබා දුන්නේ කුමන බලයක් නිසා ද? අන් කිසිවක් නොව විශ්වාසයේ ඇති මහා බලය වන අසීමිත චිත්ත බලයේ හාස්කම නිසයි.

ජීවත්වීම මහා කරදරයක් සේ ඒ අය සිතුවා නම් ඔවුන්ගේ ප්‍රයත්නයන් සාර්ථක නොවේ. තම දස්කම් ලොවට පෙන්වීම සඳහා ඉදිරියට යාමේ දී ඔවුන්ට කොතරම් බාධක හමුවන්න ඇති ද? “රේඩියම්” සොයා ගත් මාරි කියුරි නම් විද්‍යාඥවරිය ගැන ඔබ අසා ඇති. ඇය පරීක්ෂණය කරගෙන ගියේ කොතරම් දුෂ්කරතා මධ්‍යයේ ද? ඉන්න හිටින්න තැනක්, කෑමට පෝෂ්‍යදායක ආහාරයක්, අඳින්න සුදුසු ඇඳුමක් නැතිව දින ගණන් එක දිගට නිදි වර්ජිතව පරීක්ෂණ කරන්නට ඇයට සිදුවිය. ඒ කිසිවක් කරදරයක් යැයි ඇය සිතුවේ නැත. ඇයට ජීවත්වීම කරදරයක් වූයේ නැත.

ජීවිතය කරදරයක් ලෙස සිතන අයට ජීවත්වීම සඳහා කරන හැම දෙයක්ම දැනෙන්නේ කරදර ලෙසය. ධනවත් පවුලක ඉපදී සියළු සැප පහසුකම් මැද අතට පයට මෙහෙකරුවන් ලවා කිසිම දෙයකින් අඩුපාඩුවක් නැතිව ජීවත්වන්නට ඇත්නම් කොතරම් වාසනාවක් දැයි සිතන පතන අය අප සමාජයේ හිඟ නොවේ. අප ඔවුන්ගේ ජීවිත අගය කරන්නේ අපට පිටතින් පෙනෙන හැටියටයි. නමුත් ඒ සැප සම්පත් විඳින අය සමඟ කතාකර බැලුවොත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කියන්නේ තම තමන්ට ඇති නොයෙකුත් කරදර ගැනයි.

උපන් නිසා කෙසේ හෝ ජීවත් වී මැරී යාම ජීවිතය නොවේ. අප ජීවත්වන කාලය තුල අප ලැබූ මිනිසත් බවෙන් ගතහැකි උපරිම ප්‍රයෝජනය ගැනීමට සිතට ගතහොත් මන උසස්කමේ නියම ඵලය ලැබිය හැකියි. මිනිසාට නොකළ හැකි දෙයක් ඔහුගේ බුද්ධියට ගෝචර නොවෙන දෙයක් මේ විශ්වයේ නැත. එහෙත් අපට පහසුවෙන් කළ හැකි දෙයක් ගැන වුවත් අප සිතන්නේ අපට නොකළ හැකි කරදරකාරී වැඩක් ලෙසටය.

එදිනෙදා ජීවිතයේ දී මඟතොටේ දී කාර්යාලයේ දී අපට හමුවන අයගේ අදහස් ගැන මඳක් සිත් යොමු කරමු. සියේට අනූ නවයක් දෙනා කතා කරන්නේ තම තමන්ට ඇති නොයෙකුත් කරදර ගැනය. වැඩිදෙනා තම රැකියාව මහා කරදරයක් සේ සිතන බව පෙනේ. රැකියාව ඉතා කරදරකාරී බවට නොයෙක් හේතු දක්වති. වැඩ වැඩිවීම, කාර්යාලයේ හෝ ආයතනයේ සැප පහසුකම් මදිවීම, වැටුප් මදිකම, පාලකයාගේ නීති රීති වැඩිවීම, උසස්වීම් නොලැබීම, අනෙක් සේවකයන් තමන්ගේ සිත් නොගැනීම, ආදී නොයෙකුත් හේතූන් නිසා “මේ රක්ෂාව මහා කරදරයක්, කොහොම හරි වෙන රක්ෂාවක් සොයාගන්න ඕනෑ,” කියා සිතමින් වරින් වර රැකියා මාරු කරමින් යන පුද්ගලයා කිසි දිනෙක කිසිම රැකියාවකින් සතටු නොවන්නෙකි.  ඔහුගේ රැකියාවෙන් ඔහුට වත් වෙන කෙනෙකුටවත් සේවයක් සිදු නොවේ. හැම කෙනෙකුටම හැම සැප පහසුකමක්ම ලබාගෙන රැකියාවක් කිරීමට අවස්ථාවක් නොලැබේ. බොහෝ විට තමන් ආසා කරන හෝ බලාපොරොත්තු වූ රැකියා නොලැබෙන්න පුළුවනි. නමුත් ලැබුන රැකියාව කුමක් හෝ වේවා එයට ආදරයෙන් තම හදවතට එකඟව අවංකව සේවය කළොත් කිසි දිනෙක රැකියාව කරදරයක් ලෙස නොසිතේ. ඇත්තෙන්ම ඔබ යම් රැකියාවකින් ඉවත් වූවත් ඔබේ අඩුව පිරවීමට තවත් අය ඕනෑ තරම් සිටින නිසා එම ආයතනයට අඩුපාඩුවක් සිද්ධ නොවේ.

අවිවාහකව සිටින සමහර අය සහකරුවෙකු හෝ සහකාරියක නැතිකම කරදරයක් සේ සිතති. එම අයම විවාහ වී ටික කලකින් සිතන්නේ විවාහය යනු මහා කරදර ගොඩක් ළං කරගැනීමක් බවයි.

තම අසල්වැසියන්ගෙන් තමනට කරදර ඇති බව කියන අය තමා ඔවුන්ට කරදරයක් බව සිතන්නේ නැත.

කළ යුතු වැඩ රාශිය දිහා බලා “මේවා කවදා ඉවර කරන්න ද? කොහොම කරන්නද? හරිම කරදරයි,” කියා සිත සිතා ඉන්න එපා. සැහැල්ලු සන්සුන් සිතින් හැම දෙයම හැකි තරමින් කරන්න. ඔබ නොදැනුවත්වම සියළු වැඩ සාර්ථකව කෙරෙනු ඇත. උදාසීනව ජීවත්වීමෙන් ඇති ඵලය කුමක් ද? වේගයෙන් ඉදිරියට ඇදෙන ලෝකයක අප එතැනම නොසෙල්වී සිටින්නේ මේ උදාසීන බව නිසාම නොවේද?

ඔබ නොදැන සිටිය ද ඔබට කරදර සේ සිතෙන ඕනෑම බරපතල කරුණක් සුළු මොහොතකින් අමතක කරදමා බාධක තුලින් ජය මාවත කරා යාමේ බලවත් ශක්තියක් ඔබේ යටි සිතේ ඇතිබව අමතක නොකරන්න.  “මට පුළුවන්,” කියා මතක් කරගෙන කොතැනකින් හෝ පටන් ගන්න.

-සුමනදාස සමරසිංහ

Advertisements

One comment on “ජීවිතය යනු තිත්ත කසායක් නොවේ

  1. Anil Batepola says:

    ජීවිතයට ගොඩක් වටිනා උපදෙස්…..ස්තූතියි ඔබට

Comments are closed.