මා අනුගමනය කර හරි මාවතේ යන්න

මම රියැදුරෙක්මි. මා පදවන වාහනය පණ ගන්වා ඉදිරියට තල්ලුවන විට මගේ සිත ඉදිරිපසින් ඇති මහා මාර්ගය දෙසටම එල්ල වී තිබේ.

මට යන්නට ඇති මාර්ගය පුරා රෝස මල් අතුරා නැත. තැනින් තැන ගල්මුල්ය. ඇතැම් විට මාරක වංගු හමුවේ. කඳු මෙන්ම පල්ලම් ද එමටය. ගලක හැපෙන සුක්කානම පසෙකට හැරේ. දුක් කරදර නැමති ගල්මුල් හා වල ගොඩැලි වලට රෝද වැටෙන විට මම මහා මහ පාරට රථය යොමු කරමි. ගල්මුල් වලට යොමුකර හැරියොත් වාහනය මා සමඟම පාරෙන් පිටත විසි වී ගොස් දුකින් දුකටම පත්වෙනු නිසැකය.

හිටි අඩියේ පාර හරහා බාධක වැටේ. එවිට මම කෙඳිරි ගාන්නේ නැත. බාධක ඉවත්වන තුරු නිසොල්මන්ව රථය නවතාගෙන සිට නැවත මගේ ගමන යමි.

කොපමණ හදිසි වුවත් මම මගේ ගමන යන්නේ ඊට අවශ්‍ය වේගය අනුවයි. ඉතා හෙමින් හෝ ඉතා අධික වේගයකින් හෝ මා රථය පදවන්නේ නැත.

මගේ සිත වෙනත් දේවලට දුවයි. එහෙත් මගේ මූලික චේතනාව ඒ නිසා වෙනස් නොවේ. මා යන ගමන වෙනස් කළ හැක්කේ මටයි. අතරමග දී වෙහෙස බව දැනුන හොත් මම නතර වී ගිමන් හරිමි. රත් වූ ඇන්ජිමට වතුර දමා සිසිල්කරගෙන නැවත ගමන අරඹමි.

හරවන්නට ඕනෑ තැන දී හරවමි. නතර වන්නට ඕනෑ කළවිට නතර වෙමි. ශබ්ද කළ යුතු තැන දී නළාව හඬවමි. මේ මොනවා කළත් මගේ ඉලක්කය වෙත යෑම නතර නොකරමි.

මා සමඟ පැමිණි සමහරු දුර තියා කඳු දැක ආපසු හැරී ගියහ. ඇතැම් අය පල්ලම් දැක බියට පත්වූහ. සමහරු දුක් කරදර නැමති වලක රෝද වැටුනු ගමන් රථය ඉන් ඉවතට නොගෙන වලේම වැටී සිටියහ. සමහරුන්ගේ හුළං බැස තිබුණි.

මගේ මිතුරෙක් ගමන පිටත් වූයේ හතරවෙනි ගියරයෙනි. ගියර් දැමිය යුත්තේ එකින් එක හෙමිහිට කී නමුත් ඔහු පිළිගත්තේ නැත. “ටොප් ගියර්” එකේ රථයක් මුලින්ම ධාවනය කිරීම පහසු නැත. එය වැරදි ක්‍රමයයි. මා කුමක් කීවත් ඔහු ඇසුවේ නැත. එක පාරටම වේගයෙන් යන්නට බැරි නම් “මෝටර් රථයෙන්” වැඩක් නැතිලු.

දුම්රිය හෝ අහස්යානය හෝ එක පාරටම වේගයෙන් ධාවනය කළ නොහැකි බව මා පෙන්වා දුන් නමුත් මගේ මිත්‍රයා මහාචාර්යවරයෙක් වන නිසා මා වැනි රියැදුරෙක් කියන උපදෙස් පිළිපදින්නේ නැත. දැන් ඔහු රථය කොට උඩ තබා බුම්මාගෙන සිටියි.

මගේ තව මිතුරෙකුට තවම රථය පණගන්වා ගැනීමට බැරිව සිටී. තවත් කෙනෙකු හිත එක ඉලක්කයක නැති හෙයින් පාර පුරා යයි. තවම කෙළින් යෑමට බැරිය.

මේ කවුරුත් පාරේ වරද හා රථයේ වරද ගැන කියමින් කාලය ගෙවති. සමහරු රිවස් ගියර් එක දාගෙන ඉස්සහරට යන්න හදති. එවිට රථය ඉදිරියට නොයන්නේ බාල පැට්‍රෝල් දැමීම නිසා යැයි කියති. ඉස්සහරට යෑමට නම් ඉස්තරම් පැට්‍රෝල් දැමිය යුතුලු.

දක්ෂ රියැදුරෙක් වීමට ඉවසීම ඕනෑය. යන ගමන ගැන දැනීමක් තිබීම ද අවශ්‍යය. පාර ගැන සැකයෙන් මුසුව හැම හන්දියක් ගානේම දකින දකින අයගෙන් ප්‍රශ්න අසමින් යන්නේ පාර ගැන සැක ඇති අයයි. සැක නැතිව පාර හරි බව නිගමනය කර කෙළින්ම යන්න. වටපිට බලන්නට යෑමෙන් ඉලක්කයෙන් පිට හිත ඇදී යන්නට හැකියි.

නුවරට යන්නට ගිය අයෙකු කුරුණෑගල දී පාරෙන් පිට ඇති දේවල් නරඹන්නට විය. ඔහුගේ නෙතට ලස්සෙන කෙල්ලෙක් හසුවිය. ඔහු ගමන නතර කොට ඇය සමඟ දැන් පැල්පතක් අටවාගෙන සිටියි. වැඩිය වටපිට බලන්නට ගියොත් ගමන කෙළවර වන්නට පෙර ඔබටත් අතරමග පැල්පතක් අටවා ගන්නට සිදුවිය හැකිය. ගමන කෙළවර වෙනතෙක් ඍජුව ගියොත් පැල්පත වෙනුවට මාලිගයක පදිංචි වීමට ලැබෙන බව සිතන්න.

හෝව්! පොඩ්ඩක්! බ්‍රේක් පාගාගෙන යන්න අමාරුයි. බිය නොවී බ්‍රේක් අත්හැර ඉදිරියටම යන්න. ඔබ සමඟ යෑමට ඔබේ සිත ද එක්වෙන නිසා ඔබට තනියක් දැනෙනු නැත.

-සුමනදාස සමරසිංහ, 1979 පෙබරවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

Advertisements