නීති දමා සිත පිරිසිදු කිරීමට බැරිය

රටක, සමාජයක හොඳකම හෝ නරකකම ඒ රටේ, සමාජයේ ජනයාගේ සිතුම් පැතුම් අනුව නිශ්චය කළ යුතුය.

මිනිසාගේ සිතුම් පැතුම් හොඳ නම් එය රටක් නොව සුරපුරයකි. එහි වැසියෝ දෙවියෝය. ඔවුන්ගේ ඕනෑ එපාකම් වැඩි වෙහෙස මහන්සියක් නැතිව ඉටුවේ. ඔවුන්ගේ කාලය යහපත් සිතුම් පැතුම් සඳහාම වැය කළ හැකිය.

මිනිසාගේ සිතුම් පැතුම් නරක නම් එය රටක් නොව අපායකි. එහි වැසියෝ යමපල්ලන් ඇතුළු පව්කාරයන්ය. ඔවුන්ගේ ඕනෑ එපාකම් කොයි තරම් වෙහෙස මහන්සි වුවත් ඉටුකරගත නොහැකියි. ඔවුන්ගේ කාලය අනුන්ගේ දේ උදුරා ගැනීමට, මත් වී සිටීමට, දුක් විඳීමට, බයෙන් හා සැකයෙන් පීඩා විඳීමට වැයවේ.

සමාජය හොඳ සමාජයක් වන්නේ ඉරිසියා, ක්‍රෝධ, වෛර ආදිය තුරන් වීමෙනි. ඒවා තුරන්කර ගන්නේ පුද්ගලයාය. පුද්ගලයාගේ සිත් සතන්වල යහපත් චේතනා බලහත්කාරයෙන් හෝ නීති මඟින් හෝ රෝපණය කළ නොහැකිය. නරක වැඩ කළහොත් අපායට යනවා යයි කියා කුඩා ළමයින් නරක වැඩ වලින් වළක්වාගත හැකිය. එහෙත් කුඩා ළමයා ලොකු මිනිසෙකු වී අපායට ඇති බිය නැති කරගනී. එවිට ඔහු හැම නරක වැඩක්ම බිය නැතුව කරයි.

බිය නිසා නරක වැඩ නොකර සිටීමෙන් හොඳක් සිදුවන්නේ සමාජයටමය. පුද්ගලයාට එයින් සිදුවන්නේ අයහපතකි. ඔහුගේ චේතනාව තමා කැමති දෙය කිරීමට ඇති බියයි. බියවීම කුසල් සිතක් නොව අකුසල් සිතකි. පාපයට බියකර තැබීම අබෞද්ධ නොහොත් බුද්ධියට ගෝචර නොවන ක්‍රියාවකි.

පාපය යනු තමා පෙළන විෂක් බව අවබෝධ කරගෙන දුක්විඳීම මේ මොහොතේ සිදුවන බව තේරුම් කරදීම අපායට බියකර තබනවාට වඩා යහපත්ය.

සුමනදාස සමරසිංහ, 1979 ජනවාරි 15, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය

Advertisements