ඉන්න තැන කියන්න බැරි දේ නැති තැන දී කියන්න එපා

පණ්ඩිතයා පමණ දැන කතා කරයි. පදම වැඩි වෙන්නට පෙර කතාව නැවැත්වීම හෝ අන් අතකට යොමු කිරීම නුවණ ඇති අයගේ සිරිත ය.

අනුන්ගේ වැරදි ගැන කතා කරන අයගෙන් ප්‍රවේශම් වන්න. එවැනි අයට තමන්ගේ කට නතර කරගෙන ඉන්නට බැරි ය. එම නිසා අනුන් ගැන ඔබ සමඟ කියන විදියටම ඔබ ගැන ඔව්හු අනුන්ට ද කියති.

කේලාම් කීම හා ඇසීම හීනමානයේ ලක්ෂණයකි. සිඟාලයා මේ දෙකටම ඉතා දක්ෂ බව කේලම් කියා රාජ්‍යයන් පවා අහිමි වීමෙන් පෙනී යයි. ඔබ කේලම් අසන්නෙකු නොවන්න. එවිට ඔබට කේලම් කියාගෙන එන්නේ නැත. ඔබ කේලම් කියන්නෙකු නම් එය හීනමානය නිසා ඔබ කරන ක්‍රියාවක් බව අවබෝධ කරගන්න.

හොර රහසේ කේලම් කියා අනුන් කෙටවීම, අනුන්ගේ උසස්වීම් වලට හෝ කීර්ති ප්‍රශංසාදියට අකුල් හෙලීම නිසා ඔබේ දියුණුව ද ඇණ හිටින බව ඔබ දන්නවා ද?

කේලම් කියාගෙන එන අයෙකුට තවත් අයෙකු හොඳ මුහුණක් පෙන්වූවත් කවුරුත් කේලම් කියන්නා කෙරෙහි පිළිකුලක් ඇති කර ගනිති.

කේලම් කියා අනුන්ගේ හිත් දිනා ගැනීමෙන් යහපතක් වේ යැයි සිතන්නේ අඥානයෙකි. එයින් තාවකාලික යහපතක් සිදු වුවත් කේලම්කාරයාට ඉන්පසු එය පුරුද්දක් වශයෙන් ඇබ්බැහි වේ.

සමාජයේ යහපතට ඔත්තුවක් දීම, අපරාධකාරයෙකු අල්ලා ගැනීමට ආධාර කිරීම කේලමක් නොවේ. එය පුරවැසි යුතුකමකි. බොහෝ කේලම්කාරයෝ සමාජයට හිතකර එවැනි දේවල් කියන්නට ඉදිරිපත් නොවෙති. ඔව්හු ඒවා කේලම් හැටියටත් සැබෑ කේලම් හොඳ වැඩ හැටියටත් යුතුකම් හැටියටත් සලකති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 ජනවාරි 15

Advertisements