මිනිසෙකු වීමට වුවමනා නම් …

චරිතය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මානසික ඉරියව් හා ක්‍රියාවන් අතර ඇති සම්බන්ධතාවයන් ය. උසස් පරමාර්ථයක් ඇතිව ඒකායන බලාපොරොත්තුවෙන් හා විශ්වාසයෙන් යුතුව අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීම උසස් චරිතයක් නිර්මාණය කර ගැනීමට හේතු වන්නේ ය.

පළමුව ඔබ රූපයෙන් ලස්සන වීමට නම් සුන්දර සිතිවිලි හා ප්‍රබෝධමත් සිතක් ඇතිකර ගත යුතුය. හීනමානයෙන් හා ලාමක පහත් සිතිවිලි වලින් සම්පූර්ණයෙන් මිදීම, දුක් සහිත සිතිවිලි, පරාජිත බව, නාස්තික විශ්වාසය, ජීවිතයේ අවපක්ෂය ගැන නිතර මෙනෙහි කිරීම, අසනීප හා ඉච්ඡාභංගත්ව වැනි සිතිවිලි වලින් මිදීමට මෙහි දී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. තමා ඉතා සුන්දර ලස්සන කෙනෙක් යැයි නිතරම ප්‍රබල ස්ව-ඇඟවිල්ලක් ඇති කරගත යුතුය. උසස් සිතුවිල්ල උසස් රූපයක් නිර්මාණය කරයි.

ගුණයෙන් නුවණින් පරිපූර්ණ වීමට නම් පහත් දුෂ්ට සිතුවිලි වලින් සම්පූර්ණයෙන්ම මිදිය යුතුය. වෛරය, පළිගැනීමේ චේතනාව, කපටිකම, ආත්මාර්ථකාමය, ඉරිසියාව වැනි සිතිවිලි වහාම නැති කරගත යුතුය. මේවා ප්‍රබෝධ මනසක් වසා සිටින පිළිලයෝය. මෙවැනි පහත් සිතිවිලි මනස අරක් ගත්තාම එයින් ශරීරය රෝගී කරයි. එයින් මිනිසා සම්පූර්ණයෙන්ම මෝඩයෙකු කරයි. ඥානයෙන් ගුණයෙන් පිරෙන්නට නම් මෙවැනි දුෂ්ට සිතිවිලි පහකර සිත පිරිසිදු කරගත යුතුය. විශේෂයෙන් කරුණාව, මෛත්‍රිය වැනි සිතිවිලි වැඩි වැඩියෙන් දියුණු කරගත යුතුය.

උසස් පරමාර්ථ ගැන නිතර කතා කිරීම ද උසස් පුද්ගලයන් නිතර ඇසුරු කිරීම ද, වටිනා දේශන හා සාකච්ඡා වලට සවන් දීම ද උසස් පරමාර්ථයෙන් යුතුව ක්‍රියා කිරීම ද ගුණවත් ජීවිතයකට පදනම වන්නේ ය.

රුවෙන් හා ගුණෙන් පරිපූර්ණ වෙද්දී ප්‍රතාපවත් චරිතයක් ගොඩ නඟා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම දැඩි ආත්ම විශ්වාසයක් ඇති කරගත යුතුය. තමා ගැන දැනීමක් නොමැතිකම ආත්ම හීනතාවයයි. ළාමක චපල සිතිවිලි වලින් අයින් වීමෙන් තමා පිළිබඳ විශ්වාසයක් ගොඩනඟා ගන්නට හැකිවේ. ඒ නිසා දැඩි අධිෂ්ඨානයක් හා උත්සාහයක් ඉතා වැදගත් ය. දිනෙන් දින තමා උසස් චරිතයකින් යුක්ත වන බවත් දියුණු නව ලොවක් වෙත යන්නට තමන් ද නිර්මාණයෙන් සහාය වෙන බවත් නිතර සිතන්න.

මිනිසෙකු වීමට වුවමනා නම් පළමු කොට ඔබේ චරිතය හැඩගසා ගත යුතුයි. දෙවනුව ඔබේ සෞඛ්‍යය රැකගත යුතුයි. ඊ ළඟට කළ යුත්තේ අනලස්ව ඉගෙනීමයි. ජන්මයෙන් ලැබෙන දායාදයක් ලෙසින් තම චරිතය නිර්මාණය වෙනවා යැයි නොසිතන්න. බොහෝ විට ප්‍රතාපවත් චරිතයක් නිර්මාණය වෙන්නේ වගා කරගත් ගුණ ධර්මයන් ගෙන්, පරිසරයෙන් හා උගත්කමින් ආදී වශයෙනි.

ඇඳුම් පැළඳුම් ගැන සැලකිල්ලක් දක්වා, ආචාරවත් ලෙස කතා කරන බාහිර පෙනුමෙන් දැකුම්කළු පුද්ගලයන් තුල මනා චරිතයක් ඇතැයි අප තුල විශ්වාසයක් පවතී. එහෙත් සැබෑ චරිතය බාහිර කරුණු වලින් මැනිය හැකි නොවේ. පුද්ගලයා සමාජයට මුහුණ දෙන ආකාරයෙන් සැබෑ චරිතය මැන ගත හැකියි. දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමට හැකිවීම උසස් චරිතයක් වගා කරගත් කෙනෙකු තුල දැකිය හැකි ලක්ෂණයකි. ජයග්‍රහණයේ දී මෙන්ම පරාජයේ දී ද නොසැලී සිටින්නේ මෙවැනි පුද්ගලයෝය.

චරිත නිර්මාණය නම් තකහනියේ ඇති වන්නක් හෝ සති කීපයකින් හෝ මාසයකින් වඩාගත හැකි වූවක් නොවේ. එයට මනා ආත්ම සංයමයක් ද, හොඳ ඉවසිල්ලක් ද අවශ්‍යයය. දියුණුවක් ඇතිවීම යනුවෙන් සෑම විටම අදහස් කරනු ලබන්නේ නරක පුරුද්දක් මූලෝත්පාටනය කර හොඳ පුරුද්දක් වගා කරගැනීමයි. නිදසුනක් වශයෙන් අවිනිශ්චිත සිතක් ඔබේ අධිෂ්ඨානයේ බලයෙන් පැය විසිහතරක දී වෙනස් කරගත නොහැකියි. පසුබසින ගතිය, වැරදේ යැයි කල් තියාම සිතීම, කලබැගෑනිය යනාදිය අවුරුදු ගණනාවක් තුලක දී ඔබේ සිතිවිලි වල මුල්බැස ගෙන තිබුණ ඒවා විය හැකියි. එවිට වෙනස් වෙන්නට උත්සාහ කරන ඔබට විරුද්ධව නැඟී එන ඒ ඍන බලවේගයන් මැඬිය හැකි ප්‍රබල ප්‍රමාණයකින් ඔබ විසින් ධන බලවේගයන් යෙදවිය යුතු බව තරයේ මතක් කරගත යුතුයි.

ජයග්‍රහණය පිළිබඳ සටන වූ කලී ඉවසීම, උත්සාහය හා අභ්‍යාස පිළිබඳ වූ කාලයක් ගතවන වැඩ පිළිවෙලකි. මෙය කළ හැක්කේ කලක් තිස්සේ සැබෑ ගුණ ධර්ම ක්‍රමිකව පුරුදු පුහුණු කර ගැනීමෙන් පමණකි. දූරදර්ශී බව ද මනා චරිතයේ ලක්ෂණයකි. හොඳ චරිතයකට හොඳ පෞරුෂත්වයක් ද අවශ්‍යයය. කවර සමාජමය ක්‍රියාවක දී වුව ද නිදහස් ලෙස සිතීමට ශක්තියක් හා අවබෝධයක් තිබීම ද උසස් පෞරුෂත්වයේ විශිෂ්ඨ ලක්ෂණයකි. අපක්ෂපාතී භාවය ද, අවංක භාවය ද වගා කරගැනීම උසස් පෞරුෂත්වයට කැමත්තවුන් විසින් කළ යුත්තකි. උසස් පෞරුෂත්වය ඇති තැනැත්තේ නියමිත වගකීම් බාර ගැනීමෙහි ලා පසුබට වන්නෙක් නොවේ. ස්වකීය යයි කිව හැකි ජීවන දර්ශනයක් ද උසස් පෞරුෂත්වයක් ඇත්තෙක් තුල බිහි වේ.

චරිත නිර්මාණය සඳහා අධිෂ්ඨානය ද ඉතා වැදගත්ය. ශරීරයේ හෝ සිතේ ඇතිවන සෑම ක්‍රියාවකටම පසුතලය වශයෙන් සිටින්නේ අධිෂ්ඨානයයි. තීරණයක් ගැනීමට නොහැකිකම දුබල සිතක් ඇත්තා ගේ ලක්ෂණයකි. අධිෂ්ඨානය සමඟ බැඳී ගිය උත්සාහය ද උසස් චරිතයක් සඳහා ඕනෑ කෙරේ.

අපේ ශක්තිය හා බුද්ධිය, අපේ වස්තු හා අපේ වාසනාව අප හදවත උණුසුම් කොට ජීවිත සඵලත්වය ළඟා කර ගැනීමට අප පොළඹවන දේවල් වෙති. ඒත් ඒ හැම එකකටත් වඩා එකී සඵලත්වය ඇති කරගැනීමට නම් අපේ බලවත් උත්සාහය ද එයට එක්විය යුතුය. අධිෂ්ඨානය පෙන්නුම් කරනුයේ ජයග්‍රහණයේ අඩිපාර පමණකි. එහි ගමන් කරන්නට නම් උත්සාහයට එයට එකතු කර යුතුය.

ප්‍රතාපවත් චරිතයක් නිර්මාණය කරගන්නට අදිටන් කරන ඔබේ ඒ අධිෂ්ඨානය නිකම් ඇල්මැරුණ අදහසක් මෙන් පමණක් ඇතිකර ගැනීමෙන් ඵලක් ලැබෙන්නේ නැත. මෙය තවත් කල්පනා කර වටහා ගන්න. ඔබේ දුෂ්කරතාවයන් හොඳින් මැන ගන්න. ඔබට කරන්න ඇති දේ ගැන දැනුමක් වඩවා ගන්න. එහි අවසානය දැකිය යුතුමය යන දැඩි ධෛර්යෙන් පෙරට යන්න. ඔබ දියුණු වෙමින් සිටින බව ඒ ඒ අදියරයේ දී සොයා බලා ඔබ තුල ඇඟවිල්ලක් ඇති කරගැනීමට අමතක නොකරන්න.

උසස් චරිතයක් නිර්මාණයට සහායට එන එකම හිතවතා ඔබේ යටිසිතයි. එක පුරුද්දක් වෙනුවට තව පුරුද්දක් හැඩ ගසා ගැනීමට හැකියාව ලබා දෙන්නේ එයයි. ව්‍යාජ බියෙන් මිදීමටත් අප්‍රමාණ හැකියාවන් වලින් වැඩ ගැනීමටත් උදව් කරන මේ හා සමාන වෙන බලයක් ලොව නැත. මෙහි දී යටිසිතට කරන ඇඟවිල්ල මේ ලෝකයේ ඇති අනභි භවනීය බලවේගයන් ගෙන් එකකි.

ධෛර්ය වඩන පුද්ගලයා යටිසිතෙන් උදව් ලබා ගනී. සාර්ථක ලෙස පරිසරයට මුහුණ දීමේ හැකියාව ලබන්නට පුරුදු පුහුණු වෙන පුද්ගලයා කලබලකාරයෙක් නොවේ. පසුබසින්නෙක් නොවේ. වැඩ අරඹන්නට පළමුව හේ සිතයි. වටපිටාව ගැන හේ විමසිලිමත් වෙයි. තමාගේ මොළය දැනුමෙන් පුරවා ගනියි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 ජනවාරි 15

Advertisements