වැඩගත හැකි සිතක් ඔබට ඇත

මිනිසත් බව ලබා උපදින්නවුන් මිනිසත් බවේ ශ්‍රේෂ්ඨතම අවස්ථාවන් කරා ගමන් කිරීමට ගන්නා මහන්සිය ඉමහත් ය.

ලොවේ සිටින සියළුම සත්වයන් අතරින් මිනිස් වර්ගයාට අග්‍ර ස්ථානයක් හිමිවන්නේ හරි හැටි පාලනය කරගත හැකි මැඬගත හැකි සිතක් ඇති නිසාවෙනි.

ආදී කාලීන යුගයේ සිට මිනිසා සිතුවිලි අනුගමනය කරමින් දිනෙන් දින දියුණුව කරා ගමන් කර ඇති බව පැහැදිලිය. ගල් යුගයේ සිට ක්‍රමයෙන් බුද්ධිමත් බව ඇති කරමින් විද්‍යා යුගයේ තවත් පෙරළිකාර ජීවිතයකට මිනිසා යොමු කරවූයේ ලොවේ උත්තරීතර මහා බලවේගය වූ සිතයි. අපරිමිත බලවේගය සිතයි. සිතුවිලි අනුව මිනිස් ජීවිත එකිනෙකට වෙනස් වෙන බව පැහැදිලි සත්‍යයකි.

ජීවත්වෙන සෑම කෙනෙකු තුලම වඩාත්ම බලපවත්වනුයේ කැපී පෙනීමේ ආශාවයි. සෑම ජීවිතයක් තුලම කැපී පෙනීමේ ආශාව පවතී. සමාජය දෙස විපරම් ඇසින් බැලීමෙන් එය වටහා ගත හැකිවේ. කෙනෙක් තවත් කෙනෙකුට වඩා ඉස්මතුව කැපී පෙනීමට දරණ වෑයම බොහෝය. කෑම බීම, ඉඳුම් හිටුම්, ගමන් බිමන්, ඇඳුම් පැළඳුම්, කතා බස, හැසිරීම යනාදී එදිනෙදා කටයුතු වල දී ත් මින් පිටස්තර සමාජයේ තවත් නොයෙකුත් අවස්ථාවල දී මේ මිනිස් ගතිය හිස එසවීමට වෙර දරනු ලබයි. අනුන්ගේ අවධානය තමන් කෙරේ යොමු කරවා ගැනීමට මෙන්ම එකෙකු පරදවා තව එකෙකු හිස එසවීමට දරණ වෑයම සිදුවන්නේ කැපී පෙනීමට ඇති ආශාව නිසාවෙන් නොවේ ද?

කැපී පෙනීමේ ආශාව මිනිස් වර්ගයා ලොව ඇති තාක් තිබිය හැකි සිතුවිලි දාමයකි. එම ආශාව ඇති නොවුනේ නම් සමාජය තුල විවිධත්වයක් දකිනු උගහටය. කෙනෙකු තවත් කෙනෙකුට වඩා ඉහළ මට්ටමක සිටීමට ඇති ආශාව නිසා ලෝකයේ විශ්මය ජනක නිපැයුම් ඇතිවෙයි. ලොවේ දියුණුවට (විද්‍යාවේ දියුණුවට) සිත තුල තැන්පත්ව ඇති මෙම කැපී පෙනීමේ හැඟීම් සමුදාය ඉවහල් වේ.

මිනිසුන් තුල පවතිනු ලබන මෙම ආශාව සමඟ බැඳී පවතින්නකි ජනප්‍රිය වීමට ඇති ආශාව.

මිනිසුන් අතර ජනප්‍රිය වීම සඳහා අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් ඇතැයි මට සිතේ. මවිසින් මෙම කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ අත්දැකීමෙන් හා ජනප්‍රිය අයගෙන් විමසා දැන ගැනීමෙනි. ඒ පිළිබඳ තව දුරටත් සිතා මවිසින් තෝරා බේරාගත් කරුණු කිහිපයක් මෙහි දී ඔබ වෙත ඉදිරිපත් කරමි. ඒ ගැන තව දුරටත් සිතා බැලීම කියවන ඔබ සතු ය.

ජනප්‍රිය වීම යනුවෙන් හොඳ නම රැකීමක් ලෙස ද සඳහන් කළ හැක. ඔබේ ජනප්‍රිය බව ඇතිකර ගැනීමට මුලින් ඔබ ඔබට අවංක විය යුතුය. පිරිසිදු සිතක් නොහොත් නිරෝගී සිතක් ඔබට තිබිය යුතුයි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරහ, වංක බව, සොරසිත ඇත්නම් ඔබ ඔබට අවංක නොවේ. ඔබ ඔබට අවංක නොවෙන කල සමාජයට ඔබ ප්‍රිය නොවනු ඇත. සමාජය විසින් ඔබව පිළිකුල් කරන්නේ නම් ඔබ තුල ජනප්‍රිය වීමක් ඇති නොවේ.

යමෙකු ගැන සිහිපත් කළ විට, “අපොයි මතක් කරන්න එපා, හරිම අංකුරයෙක් තමයි, ළඟින් ගියොත් ඇහැක් නැහැ,” යනාදිය අසන්නට ලැබෙන්නේ සමාජය ඔහුව පිළිකුල් සහගත අන්දමින් පිළිගෙන ඇති නිසාවෙනි. කෙනෙකු පිළිකුලට භාජනය වන්නේ ඔහු තුල ඇති දුර්ගුණ නිසාවෙනි. දුර්ගුණ මතු වන්නේ පාලනය කරගත නොහැකි කිළිටු වූ, දූෂිත වූ, රෝගී මනස නිසාවෙනි. ජනප්‍රිය වීම සඳහා ඔබ ඔබට අවංක විය යුතු යැයි මා කීවේ එබැවිනි.

සිනාමුසු මුහුණක් තිබීමත් ඔබේ ජනප්‍රියතාවයට මහත් රුකුලක් වේ. මුහුණ කැඩපතක් බඳුය. සිනාව ඉනාවක් බඳුය. කෙනෙකු තුල නියම තත්වය මැන ගැනීමට ඉදිරිපත් වන මුල්ම සංකේතය හිනාවයි. හිනාව තුලින් ඔහුගේ ස්වභාවික මානසික තත්වය තේරුම් ගැනීම පහසුය. එක් එක් අවස්ථාවල දී ඔබේ සිනාව විවිධ පෙනුමෙන් යුක්ත වේ. ජනප්‍රියතාවය කරා ගමන් කරන්නෙකු තුල තිබිය යුත්තේ නිර්මල අව්‍යාජ සිනාවකි. එය උපහාසාත්මක හෝ වියරු හෝ කපටි සිනාවක් නොවිය යුතුයි.

ඔබ කෙනෙකු හා මිතුරු වීමේ දී ඔබෙන් මුලින් ම නිකුත් වෙන්නේ බැල්මෙන් ඔප් නැංවුනු සිනාවයි. සිනාව ජීවිත ළං කරවීමේ මහඟු බෙහෙතක් බඳුය. සිනාමුසු මුහුණින් යුතු ඔබ ජනප්‍රිය වනු නොඅනුමානය.

අව්‍යාජ සිනාවෙන් අනුන් වෙත ළං වෙන ඔබ ඔබේ ජනප්‍රිය බව රැක ගැනීමට හා වැඩි දියුණු කර ගැනිමට කළ යුතු තවත් කාර්යයක් වනුයේ “අඩුවෙන් කතා කොට වැඩියෙන් සවන් දීමයි.”

අනවශ්‍ය ලෙස වැඩිපුර කතා කරන්නා මෝඩයෙකු මෙන්ම සමාජයේ අවමානයට ද ලක්වෙයි. “හරිම කයිවාරුකාරයා කතාවට අහුවුනොත් ආයේ ගැලවුමක් නැහැ,” යනුවෙන් තොරතෝංචියක් නැතිව වැඩිපුර කතා කරන අය සමාජයේ දෝෂයට ලක්වන හැටි ඔබ අසා ඇත. අනවශ්‍ය අන්දමින් කතා නොකොට අනුන්ගේ බසට හොඳින් ශ්‍රවණය කිරීමෙන් ඔවුන්ගේ සිත් තුල ඔබ කෙරේ ප්‍රසාදයක් මතු වනු නියතය. ඉක්මණින් අන්‍යයන් අතර ජනප්‍රිය වීමට එයත් පහසු මගකි.

අන්‍යයන්ට වැඩිපුර සවන් දෙන ඔබ ඔවුන්ගේ මත ඉවසූ බවක් ද, හොඳින් ඇහුම් කන් දුන් බවක් දැක්වීමෙන් ද, ඔබේ ජනප්‍රිය බවට හේතු වේ. මින් අදහස් කළේ නොමනා අන්දමින් අනවශ්‍ය කරුණු මත වාද විවාද නොකිරීමය. වාද විවාදයකට යෑමෙන් සිදුවන්නේ බොහෝ සිතු තුල අමනාපකම් රෝපනය කර ගැනීමයි. කෙනෙකු තරයේ එල්බ ගත් මතයක් වෙනස් කරන්නට සූදානම් වීම ඔබ කරන අනුවණ කමකි. එවැනි අවස්ථා වල දී ඔබ ඔවුන්ට පිළිකුල් වනු ඇත. ඒ නිසා ජනප්‍රිය විය යුතු ඔබ අනුන්ගේ මත ඉවසිය යුතු අතර මත වෙනස් කිරීමට හෝ වාද විවාද වලට පැටලීමට කාලයක් මිඩංගු නොකරන්න.

තවත් වැදගත් කරුණක් වනුයේ අනුන්ගේ දොස් වැරදි අන්දමින් සෙවීම හා අනුන් විවේචනය කිරීමය. බොහෝවිට බොහෝ දෙනෙක් නිරායාසයෙන්ම කරන්නේ අනුන්ගේ දොස් සෙවීමය. සොයනුයේ ද නරක, අගුණ පමණි. එසේ සොයාගත් නරක අගුණ අන් අය සමඟ ද පවසයි. මෙය ඔබේ හොඳ නම රැක ගැනීමට ඇති ලොකුම බාධකයක් මෙන්ම ඔබේ වටිනා කාලය නිකරුනේ කා දැමීමක් ද වනු ඇත.

ප්‍රිය වචන කතා කරමින් සුදුසු අවස්ථාවන් හි දී අන්‍යයන්ගේ ගුණ වර්ණනාව ද ඔබ විසින් කරන්නේ නම් එය ඔබේ ජනප්‍රිය බව වැඩිවීමට මගක් වේ. සෑම කෙනෙකුම තමා ගැන වර්ණනා කරනු ඇසීම ප්‍රිය කරයි. ඔබ අනුන් ගැන වර්ණනා කරන තරමට ඔවුන් ඔබව ප්‍රිය කරනු ඇත. සුදුස්සන් වර්ණනා කිරීමට ඔබට මුලින් ම පිරිසිදු සිතක් නොහොත් නිරෝගී මනසක් තිබිය යුතුය.

හැකි තරමින් පිරිසිදුව සිටීමත් ඔබේ ජනප්‍රිය බව රැක ගැනීමට රුකුලක් වේ. අපිරිසිදු තැනැත්තා සමාජය විසින් පිළිකුල් කරනු ලබයි. ඒ නිසා සමාජයේ ගැවසෙන ඔබ ඔබේ ශක්තියට හැකි පමණ උපරිමයෙන් පිරිසිදුව සිටී නම් එයින් ඔබේ සෞඛ්‍යයට මෙන්ම ජනප්‍රිය බවට ද වාසියක් අත්වේ.

සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1979 පෙබරවාරි 1

Advertisements