ඔබ මත් වී සිටින්නෙකි

කෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමට පෙර වෙනත් විදියකින් මත්වන්නේය. මත්ද්‍රව්‍ය ගෙන මත්වීමට පත්වන්නේ මේ විදියට ඊට කලින් මත් වූ මිනිසුන්ය. එම නිසා මත් ද්‍රව්‍ය වලට වඩා භයානක වන්නේ මත්ද්‍රව්‍ය වලට මිනිසා පොළඹවන මෙම මානසික දුබලතාවයයි.

අප අතර ජීවත්වන ජනයා ගෙන් වැඩි දෙනෙක් අහංකාරකමෙන් මත් වී සිටිති. සමහරු අහංකාරකම උත්සන්න වීම නිසා උමතු වී සිටිති. කෙනෙකු සිහි විකල වූවෙකු ලෙස හැසිරවීමට සමත් අහංකාරකම, දැඩි මෝඩකම නිසා සිතක උපදින අධර්මයකි. ගංජා සහ අබින් වැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා උමතු වූ අයෙකු හෝ මත් වූ අයෙකු මෙන් අහංකාරකම නැමති සිතුවිල්ල නිසා මත් වූ අයෙකු හැසිරෙයි.

අහංකාරකමින් මත් වූ පුද්ගලයා ඉතා ටික කලක දී සමාජයෙන් කොන් වෙයි. ඔහු යන එන සෑම තැනක දී ම අන් අයගේ අප්‍රසාදයට පත් වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජයෙන් කොන්වන පුද්ගලයා ස්වකීය පාළුව මකා ගැනීමේ මාර්ගයක් වශයෙන් බෝතලයකට හෝ මත් ද්‍රව්‍යයකට සමීප වෙයි. ඔහු තම ඉදිරි කාලය ගත කරන්නේ මත් වී සිටීමෙනි.

රාගයෙන් මත් වූ අයෙකු ගැන සිතන්න. ඔහු හෝ ඇය එම අවස්ථාවේ සිටින්නේ උමතු වූවෙකු ලෙසිනි. එයට හේතුව රාගය උමතුවක් වීම නිසා නොවේ. නමුත් රාගය උත්සන්න වීමෙන් උමතුවක් ජනිත වීමය. තිරිසන් සතුන් දෙස බැලීමෙන් මෙම උමතුව වටහා ගැනීම පහසුය. මිනිසා තිරිසනාට වඩා වෙනස් වන්නේ තමන්ගේ සිතුවිලි තමන්ට පාලනය කරගත හැකිවීම අතින් පමණකි.

ශාරීරික රෝගාබාධ නිසා ඇතිවන මත්වීම් අතර නිදිමතය ද එකකි. ශරීරයට අවශ්‍ය පමණට වඩා නිදිමත වීම ද අහිතකරය. ස්වභාවික නිදිමත අපට හිතකරය.

මිනිසුන් ශෝකයෙන් මුසුපත් වනු ඔබ දැක ඇතැයි සිතමි. ක්‍රෝධය, කෝපය, ඉරිසියාව හා දැඩි ද්වේෂය මිනිසුන්ගේ සිහි විකල් කරවයි. සිහි මුර්ඡාවීම, උන්මාදය, ඔල්මාදය හා කෝපයෙන් වෙව්ලීම වැනි සිද්ධීන් ඔබ දැක ඇත. ඉහත කී සෑම ඉරියව්වක්ම උමතුවක ලක්ෂණයකි. කෝපය ඉහවහා යෑම නිසා ඇතැම් දේශපාලනඥයන් දත් මිටි කමින්, අත් මිට මොළවා ගෙන වෙව්ල වෙව්ලා කතා කරන අයුරු මා දැක තිබේ.

කෝපය, ක්‍රෝධය, වෛරය හා දැඩි අහංකාරකම මුල් කරගෙන සිහි විකල වූ අය මානසික රෝහල් වල දී හමු වී ඇත. බාහිර වශයෙන් ශරීර ගත කරනු ලබන මත්පැන් හා මත්ද්‍රව්‍ය හැරුණු විට ශරීරය තුලින් ම නිපදවා ගන්නා මත්වීම එක සේ භයානක බව කිව යුතුය.

දුම්පානයට ඇබ්බැහි වූ අය හිටි අඩියේ දුම්බීම නතර කිරීම නිසා දැඩි මානසික අසහනයට පත්ව සුළුවෙන් සිහි විකල වූ අය ලෙස හැසිරෙති. ඔවුනට මානසික සමබරතාවය තබා ගැනීමට සිගරට් දුම් අවශ්‍ය වී තිබුණි. දුම් බීමෙන් සිහි විකල වූ මොළයේ සෛල එය නැවැත්වීම නිසා නැවත වරක් අසංවර වී පුද්ගලයා පෙළන්නට පටන් ගනී. කෙසේ හෝ ඔහු එයට හසු නොවී ඉවසා ගෙන සිටිය හොත් දුම් නැතිව සුවසේ සංසුන්ව සිටීමට සෛල පුරුදු වෙයි. වෙන ඕනෑම මත් ද්‍රව්‍යයක් වුව ද එසේය. ඕනෑම මානසික අධර්මයක් වුව ද එයට ජීවත්වීමට හා උපත ලැබීමට අවශ්‍ය ආහාර නොලැබීමෙන් මැරී යයි.

මත් වූ හෝ කුල්මත් වූ අයෙකුගේ සිත නියම අන්දමින් ක්‍රියා කරන්නේ නැත. රාගයෙන් කුල්මත් වූ තරුණ අය චාරිත්‍ර, ධර්ම, සාර ධර්ම හා වෙනත් සංස්කෘතික අවශ්‍යතාවයන් කුඩුපට්ටම් කරගෙන තමන්ගේ සිතැඟි ඉටුකර ගැනීමට පෙළඹෙයි. එයට ආලය අන්ධ යයි ද කියති. අරක්කු, ගංජා හෝ අබිං ආදියට වහල් වූ අය ද හැසිරෙන්නේ එක් විදියකින් නැත්නම් තවත් විදියකින් උමතු වූවන් ලෙසය.

රජයේ ප්‍රතිපත්ති වලට එරෙහි වීම නිසා සිහිය අවුල් කරගත් උගතුන් රාශියක් මට මුණ ගැසී ඇත. අනුන් විවේචනය කිරීමට වෙනුවට අනුන්ට මඩ ගසන පුද්ගලයින් ඉරිසියාවෙන් මත්වූවන් ලෙස හඳුනාගන්න.

උමතු වූ පුද්ගලයා තමාට උමතුවක් ඇතැයි කියා සිතන්නේ නැත. ඔහු හෝ ඇය තමා සිහි විකල් වූ අයෙකු බව ද දන්නේ නැත. මත් වී සිටින බව වටහා ගනී නම් ඔහු බාගෙට මත් වූ අයෙකි. තමාගේ සිහිය හොඳ මදි බව යම් අයෙකු දන්නේ නම් එම දැනුම ඔහුගේ ගැලවීමට මාර්ගයකි.

මත්වීම හා මුලාවීම අතර ඇති වෙනස ඉතා අල්පය. මත් වූ පුද්ගලයා බාහිර වශයෙන් ඒ බව පෙන්වයි. මුලා වූ පුද්ගලයා හඳුනාගත හැක්කේ ඔහුගේ කියුම් හා කෙරුම් අනුවය. බොහෝ උගතුන් උගත්කමින් මත් වී සිටිති. භෞතික දෙයකින් මත් වූ අයෙකු එයට ඇබ්බැහි වීමෙන් වළක්වා ගැනීම නිසා සුවකර ගත හැකිය. එහෙත් තමන්ගේ ම සිතුවිලි වලින්, තීරණ වලින් හා අන්ධ විශ්වාසයන් ගෙන් මුලා වී මත් වී සිටින අය උගතුන් ද වී නම්, ඒ අය ගලවා ගැනීමට කිසිවෙකුට බැරිය.

බුද්ධාගමට දොස් කියන විට බෞද්ධයාගේ මුහුණේ වර්ණය වෙනස් වෙයි. ඔහු බුද්ධාගමෙන් මත් වී සිටින්නෙකි. වෙනත් ආගමිකයන් ද එසේය. ජාති භේද, කුල භේද ආදිය මිනිසුන් මත් කරවීමට සමත් අධර්මයන්ය. බුද්ධාගම අවබෝධයෙන් දැන සිටින අය කවුරු මොනවා එයට විරුද්ධව කීවත් කෝප නොවෙති. කිතුණු දහම හෝ ඉස්ලාම් දහම අවබෝධයෙන් සිටින අය ද එසේය.

හොඳ සිහියෙන් සිටින කෙනෙකු කිසිකලෙක නරක වැඩක් කරන්නේ නැත. නරක වැඩ කිරීම සඳහා නිතරම මත්වීමක් අවශ්‍ය වේ. එවිට සිහි විකල වන නිසා ඕනෑම පහත් තිරිසන් ක්‍රියාවක් කළ හැකිය. මේ නිසා පහත් මිනිස්සු තමන්ටත් වඩා පහත් වැඩ කිරීමට පහසුවීම සඳහා මත්වෙති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1

Advertisements