ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි?

ලෝකයේ ධර්මයට වඩා අධර්මය පැතිර ඇත්තේ ඇයි? මිනිසා ආගම හා ධර්මය අවබෝධ කරගන්නවා වෙනුවට බදාගෙන සිටීම නිසාය. ආගම් බදාගෙන, වැළඳගෙන මත් වූ ජනයා ආගම හා ධර්මය වෙනුවෙන් මිනී මරති. මුලාවීමට කැමති ජනයා අතර මෝඩයන්ට විශේෂ තැනක් ලැබේ.

මෝඩයා යනු කල්පනා කිරීමට නොදන්නා කෙනෙකුට කියන වචනයකි. ඕනෑකමින් කල්පනා කර බලන තුරු අක්‍රිය වී පවතින මිනිස් මොළය එසේම අක්‍රිය වී තිබෙන්නට හරින ජනයා සිටිති. ඔව්හු බාහිර වශයෙන් නරයන් ලෙසින් පෙනුනත් ඇත්ත වශයෙන්ම තවම පරිනාමය නොවූ වානරයන්ය.

මත්පැන් බී වෙරි ගතියක් ලබා ගන්නා පුද්ගලයා තමා ළඟ නැති හයියක් හෝ විලිලැජ්ජා නැතිකමක් ලබාගැනීමට මත්පැන් බොයි. ඔහු තමාගේ වේශය ඕනෑකමින් වෙනස් කරගන්නෙකි. වෙස් මාරු කරගැනීමට සිතන්නේ දුබලයෙකි. තමාගේ නියම සැටි අන් අය දැනගත්තොත් හොඳ නැතැයි සිතා ඔහු ගෙදර එන්නේ අසල්වැසි තරහකාරයාට තමා බිය නැති අයෙකු බව පෙන්වීම සඳහා වෙරි වී ගෙනයි. මෙසේ පළමුව තමන් මුලා වී දෙවනුව අනුන් මුලා කළ හැකි යැයි සිතන අය බොහෝ සිටිති.

ඇසට පෙනෙන පියවි ලෝකයට බියක් දක්වන පුද්ගලයා තම ප්‍රශ්න වලින් පැන යාමට මත්වෙයි. ඔහු හා වැල්ලේ හිස සඟවා ගෙන ශරීරය පිටතට රුවාගන්නා පැස්බරා අතර ලොකු වෙනසක් නැත.

මත්ද්‍රව්‍යය නිසා මත් වන පුද්ගලයා කරන්නේ තමන්ගේ ජීවිත කාලය කෙටි කර ගැනීමයි. මිථ්‍යා විශ්වාසයෙන් මත් වී සිටින පුද්ගලයා කරන්නේ තමන්ගේ බුද්ධිය කෙටිකර ගැනීමයි. අන් අය තමන්ගේ ආයුෂ ද දීර්ඝ කරගෙන බුද්ධිය ද පුළුල් කරගනිති.

බියට පත්වීම මත්වීමක් වන්නේ කෙසේදැයි කෙනෙකු අසනු හැකියි. බොහෝවිට අපි දැඩි භීතිය නිසා මුසපත් වෙමු. සතුන් පවා බියට පත්වීම නිසා සෙලවෙන්නට බැරිව ගල් ගැසී සිටිති. ආගමික බියගැන්වීම් වලින් මත් වී නොහොත් මුලා වී මුළුගැන්නී සිටින ජනයා අපමණය. ධනවත්වීම යනු තණ්හාව යැයි සිතා මුලා වී ජීවිත කාලයක් දුගී දුප්පත් අසරණයන් හැටියට නොකා නොබී රෝගීව සිඟාකමින් ජීවත් වී දිව්‍යලෝකයට යන්නට හැකි යැයි සිතන මිනිස්සු අදත් සිටිති.

සමහරු අපායට බියෙන් වැරදි නොකරති. අපායක් නැතිබව දැනගත් විගස ඕනෑ තරම් පව් කරති. මෙහි දී භීතියෙන් වෙරි වී සිටියා මිස ඔව්හු පව් නොකළේ හොඳ සිහියෙන් සිටි නිසා නොවේ. හොඳ සිහියකින් සිටීමින් සාර ධර්මයන්ගේ අගය අවබෝධ කරගැනීම අපායට බිය වී පව් නොකර සිටීමට වඩා වැදගත්ය.

බල ලෝබයෙන් ඇතැම් දේශපාලනඥයන් ක්‍රියාකරන අන්දම බලන්න. බල ලෝබයෙන් මත් වූ අයගේ හැසිරීම හඳුනාගැනීම පහසුය. ඔව්හු යමක් කියන්නේ තමන්ගේ බලය වැඩි කර ගැනීමේ අදහසිනි. ඔව්හු යමක් කරන්නේ එයින් තම බලය වැඩි වේ නම් පමණි. පිරිවර බලය වැඩි කර ගැනීම සඳහා පරස්පර විරෝධී කථා පවත්වනු ලබයි.

ඈත අතීතයේ පටන් බල ලෝභී නොහොත් බලකාමී රජවරු හා යුදකාමී සෙනවියන් විසින් මහජනයාට සෙත සැලසීමටය කියමින් මහජනයා ලක්ෂ ගණනින් මරා දමනු ලැබීය. ආගම පැතිරවීම සඳහා ආගම භක්තියෙන් මත් වූවන් විසින් ආගමට විරුද්ධව කටුයුතු කරමින් මිනිසුන් මරා දැමූහ.

කැමැත්ත, කාම, ලෝබකම, තණ්හාව ආදී විවිධ වචන වලින් හැඳින්වෙන්නේ මිනිසා තුල පවතින මත් කරවීමේ ගතියයි. ටිකක් හා බාගෙට මත් වූවන් අපිට නොපෙනෙන අතර හොඳටම වෙරි වූවන් පමණක් ඉතා හොඳින් කැපී පෙනෙයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 අගෝස්තු 1

Advertisements