වහා කලබල වීම මහා දුබලකමකි

දෙවන ලෝක යුද්ධය සමයේ දී (1942) දිනක් හිමිදිරි පාන්දර අහසේ අපුරු දර්ශනයක් විය. එනම් අහස්යානා වලින් වෙඩි නිකුත් කිරීමයි. මේ අතර පොළවේ සිට කාල තුවක්කු වලින් අහස් යානා වලට වෙඩි තබන ලදි. ඒ වෙඩි පිපිරූ තැන දුම් ගුලියක් සැදුනි.

එකල පාසැල් යන වයසේ සිටි අපට ජපනා බෝම්බ දැමුවොත් නාලාවක් පිඹ අනතුරු අඟවන අයුරු කියා දෙන ලදි. එම නලා හඬ ඇසුන සැනින් පාසැල අසල කපා තිබුන අගලකට බැස දත් වලින් ලී කෝටුවක් හපාගෙන කන් වලට ඇබ ගසා ගැනීමට අපව පුහුණු කර තිබුණි. කටින් කෝටු කැබැල්ල හපා ගත්තේ තිගැස්සීම හෝ කම්පනය නිසා දිව විකීම වැළැක්වීමටය. එම කෝටු කැබැල්ලේ දෙපස කිත්තම් නූල් වලින් ගැට ගැසූ ඇබ දෙකක් විය. එම ඇබ කන්වල ගසා ගත්තේ බෝම්බ පිපිරෙන හඬින් කන්අඩි පැලී යාම වැළැක්වීමටය.

එකල රට පුරා සහ මිනිසුන් ගැවසෙන සෑම තැනකම අගල් කපා තිබුණි. එම අගල් හරියට ගෙයකට අත්තිවාරමක් දැමීමට පෙර කපනු ලබන අගලකට සමානය. හදිසියක දී මෙම අගල් පාවිච්චි කරන අන්දම පාසැල් සිසුන් වූ අපට පමණක් නොව සියළු රටවැසියන්ට ද, පත්‍රිකා මඟින් හා ගුවන් අනතරු වලින් ආරක්ෂාව සැලසීමේ උපදෙස් දෙන මධ්‍යස්ථාන වල නිලධාරීන් කියා දෙනු ලැබීය. දැන් සෑම ගමකම වාගේ තැපැල් කන්තෝරු ඇත. එකල ඒ.ආර්.පී. යනුවෙන් ගුවන් ප්‍රහාර ආරක්ෂා උපදෙස් දෙන මධ්‍යස්ථාන තිබුනේ තැපැල් කන්තෝරු වලටත් වඩා වැඩි ගණනකි.

දෙවැනි ලෝක යුද්ධය පටන් ගත් දා පටන් බෝම්බ වලින් බේරී සිටීමට උපදෙස් දෙනු ලැබීය. බෝම්බයක් පොළවට වැටුනු පසු එය පොළවේ මට්ටමෙන් ඉහළට විහිදී යන නිසා හිටගෙන හෝ වාඩි වී හෝ සිටීම අනතුරුදායක බව කියන ලදි. කළ යුතු හොඳම දෙය නම් පොළව මත වැතිරී පෙර කී කෝටුව හා ඇබ පාවිච්චි කිරීමයි. ගුවන් ප්‍රහාරය අවසන් වූ පසු නැවත නලා පිඹිනු ලැබේ. එවිට අගල් වලින් එළියට පැමිණිය හැකිය.

එකළ බෝම්බ ප්‍රහාරයක් වීමට කළින් ඉහත කී අයුරින් ක්‍රියා කිරීම සඳහා මිනිසුන් පුහුණු කරවීම පිණිස වරින් වර අභ්‍යාසයන් පැවැත්වීමට නලාව නාද කරන ලදි. එහෙත් පාසැල් ළමුන් හැර වැඩිහිටියන් කිසිවෙක් අගල් වලට බැසීමට හෝ කෝටුව කටේ තබා ගැනීම කළේ නැත.

කොළඹට පැමිණි ජපන් ගුවන් යානා බෝම්බ දැමූ දිනයේ පෙර කී ගුවන් ප්‍රහාර ගැන අනතුරු අඟවන නලාව නොකඩවා නාද කරනු ලැබීය. අහසේ පිපිරෙන බෝම්බ හා දුම්ගුලි දැකගත හැකිවිය. මහජනයා කළේ තමනට කරන්නට එපා යැයි කී ඒවාය. කොළඹට බෝම්බ දමනවා යයි කියමින් මහජනයා පාර පුරා දුවන්නට වූහ. අනතුරු ඇඟවූ අවස්ථාවේ කවුරුත් කට බලියාගෙන අහස දෙස බලාගෙන සිටි අතර දෙවැනි නලාව පිඹ අනතුරු අවසන් වූ බව හැඟවූ සැනින් හැමෝම පිටිසර පෙදෙස් බලා හැකි පමණ වේගයෙන් පලා යන්නට වූහ. බඩු පොදි කරගහගෙන දරුමල්ලන් අතින් ඇදගෙන කරත්ත බයිසිකල් හා බස්රථ වල නැඟ ජනයා පිටිසර පළාත් බලා යනු දක්නට ලැබිණ.

ජපනා බෝම්බ දැමූ දිනයේ කොළඹ නගරය තුල ඉතිරි වූයේ සුදු මිනිසුන්, කාපිරි හා පන්ජාබේ යන ජාතීන්ට අයත් යුද සෙබලුන් හා සිංහල යුද හමුදා සෙබලුන් කිහිප දෙනෙක් පමණි. එදා ජපනා බිමට බැස්සා නම් සටනක් නොමැතිව කොළඹ නරගය අල්ලා ගැනීමට හැකිවන්නේය.

එම සිද්ධියෙන් හරියටම අවුරුදු හතලිස් එකකට පසු 1983 වසරේ දී දිනක් කොළඹට කොටි ඇවිත් යයි අසා මහජනයා පලා ගියහ. සමාජයේ වෙනත් සෑම දෙයක් ම වෙනස් වී ඇතත් අපේ මානසික තත්වය පෙර තිබූ විදියටම අදත් පවතී. අවුරුදු හතලිකට පෙර කොළඹ සිටියේ එතරම් උගත්කමක් නැති දුප්පත් ජනයාය. අද සිටින්නේ අඩු ගණනේ තම නම ගම ලියන්නට හා කියවන්නට හැකි තරමක වත් පොහොසත්කමක් ඇති අයයි. යාන වාහන පිරි මහා මාර්ග, ඇඳුම් පැළඳුම්, ගොඩනැඟිලි, උගත්කම්, විද්‍යා දැනුම හා කටමැත දෙඩීම් අතින් අපි ඉතා දියුණුවක් පෙන්නුම් කරනු ලැබේ. එහෙත් වහා කලබල වෙන මහා දුබලකම කෙස් ගසකින් හෝ වෙනස් වී නැත.

මහා කළු සිංහලයා දුවයි යනුවෙන් ගිරි නම් එක් නිඝන්ඨයෙක් කෑ ගැසුවේ යුද්ධයෙන් පැරදී පලා යන අභය රජු දැකීමෙන් යයි කියැවේ. යුධ කොට පලා යෑම ඉවසා ගත හැකිය. එහෙත් කොටින්ට බයේ ඔවුන් නොදැක කටකතාවක් ඇසුණු පමණින් පස්ස නොබලා දිවීමට සමාවක් තිබේ ද? අපි සිංහල ද?

පාර දිගේ රෙදි හැඳ හැඳ දිවූ කාන්තාවක් කම්හලක සේවය කළ තම දියණිය ද මුදාගෙන මැරෙනවා වුනත් එකටම මැරෙන්න ඕනෑ යයි දිව්වේය.

කලකට පෙර මහනුවර ඇසල පෙරහැරේ ගිය අලියෙක් කුලප්පු විය. කුලප්පු වූ අලියා මොහොතින් යටත් කරගනු ලැබීය. එහෙත් අපේම මෝඩ අලින්ට පෑගී කිහිප දෙනෙකු මිය ගිය අතර බොහෝ දෙනෙකු තුවාල ලැබූහ.

ප්‍රශ්න වලින් මෙන්ම කටකතා අසා ද පැන දුවන්නෝ දුබලයෝය. බියගුළු දුබලකම වෙනුවට නිර්භීත කඩිසරකම අපේ දරුවන්ගේ සිත් වලට ලබා දෙන්න. එවිට මී ළඟ පරම්පරාවේ ලොකු මිනිස්සු දුවන්නන් වාලේ දුවන්නෝ නොවනු ඇත.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1

Advertisements

2 comments on “වහා කලබල වීම මහා දුබලකමකි

  1. අනේ අදමයි මම මේ බ්ලොග් එක දැක්කේ

  2. Hashara Mapa says:

    අති විශිෂ්ටයි !!! කාලෙකින් කියවපු ඉතා හොද සටහනක්

Comments are closed.