සිත හැසිරවීම් විවිධ ක්‍රම

විෂම සමාජයක ජීවත්වන කවර තරාතිරමක අයෙකුට නමුදු විවිධ ප්‍රශ්න වේදනා සහ ගැටළු වලට මුහුණ දීමට සිදුවන්නේය. මේ අවස්ථාවන්හි දී සිත හැසිරවීම පිළිබඳව සොයා බලන විට විවිධත්වයන් පෙන්නුම් කෙරෙනු ඇත. සිත වේදනා දීම මොහොතකට තුඩුදුන් විට එයින් මිදීමට නොයෙකුත් උපක්‍රම යොදාගනී. ඊට මානසික සංරක්ෂණ යනුවෙන් මනෝවිද්‍යානුකූලව හඳුන්වා දිය හැකිය.

වර්තමාන සමාජ රටාව දෙස විමසිලි සහගතව බලන විට අවබෝධ වන්නේ සිත හැසිරවීම පිළිබඳව අපූර්වාත්මක අවස්ථාවන්ය. කෙනෙකු අභිමතාර්ථයන් සඵල නූනොත් ඊට තුඩුදුන් කරුණු පසුපස ඉතා වේගවත්ව ගමන් ගන්නේය. සමහරවිට එය අවි ගැටුමකින්, වස විෂකින්, වෙනත් කෙනෙකුගේ මාර්ගයෙන්, අතපය කැඩීමෙන්, ජීවිතහානි වලින්, දරුණුතම විනාශකාරී උපක්‍රමයකින් විය හැකිය. මේ මඟින් සිත හැසිරවීම නොව සිත සනසා ගැනීම ආක්‍රමශීලීයි. බලාපොරොත්තු ඉටු නොවුන විට ඇතිවන ඉච්ඡාභංගත්වය මෙයට හේතුවයි. ඍජුව පහර දීමකින් හෝ විවේචනයට හෝ අපහාසයට ලක් කිරීමෙන් ආක්‍රමණය වන සිත වරෙක තමාට අලාභ හානි පාඩු විඳ දරයි. නිවසක බඩුබාහිරාදිය කඩා බිඳ දමන සැමියෙකු නිදර්ශනයක් ලෙස දැක්විය හැකිය.

ශාරීරික දුබලතාවයන් දැක්වීමේ හීනමානයක් ඇති පුද්ගලයන් වෙනත් ක්‍රම උපයෝග කොට සමාජයේ කැපී පෙනෙනු ඇත. උසස් උදාර අරමුණු කරා ගමන් ගන්නා පුද්ගලයා එය වැරදී ගිය විටෙක තමන්ගේ උසස් බවට, උදාර බවට පත්වීමේ අරමුණ සඵල කර ගැනීමට හැකි වෙනත් මඟක් ඔස්සේ ගමන් ගන්නා බැව් පතින සමාජ රටාව තුලින් ම පෙනෙන්නකි. යම් දෙයක් වෙනුවට වෙනත් දෙයක් කරලීම යන්න එහි කෙටි අදහසය. වන්දිය නොහොත් හිලව්ව සිත හැසිරවීමේ දී ගන්නා තවත් මඟක් බැව් මෙයින් පැහැදිලිය.

ඇතැම් උදවිය තමන්ගේ ඉලක්ක, අරමුණු සුන් වී ගිය විටක එහි විවිධ දුෂ්කරතා ඇතුළු දෝෂ දර්ශනයන් පෙන්වා සෑහීමට පත්වනු ඇත. යුක්ති ප්‍රතිපාදන යනුවෙන් මෙය හැඳින්විය හැකිය. මෙවැන්නකින් සෑහීමකට පත්වීම වැදගත් නොවේ. ප්‍රශ්නයෙන් මඟහැරීම තව තවත් ප්‍රශ්න වගාකර ගැනීමකි. ඍජුව අභීතවම ප්‍රශ්නයට මුහුණ දීම කළ යුතු වන්නේය. එසේ නොවුන විට යුක්ති ප්‍රතිපාදනය පමණක් නොව ඉච්ඡාභංගත්වය ද පුද්ගලයා තුල හටගනී.

තමන්ගේ දෝෂය, වැරැද්ද, ප්‍රමාදය, සාවද්‍ය, ආකල්ප, දුර්වලකාරීතාවය වෙනත් කෙනෙකු වෙතට ආරෝපනය කරලීම හෙවත් ප්‍රක්ෂේපනය මිනිස් සිතට හිතකර නොවෙයි. පෞරුෂත්වය, ප්‍රෞඪත්වය දීන හීන වී යාම ද එමඟින් සිදු කෙරෙනු ඇත.

මිනිස් සිත හැසිරවීම අමතක කර දැමීම ද සමාජයේ දක්නට ලැබේ. මෙමගින් සමාජයේ වැඩිදෙනා සැනසීම ලබයි. මෙය අවරෝධනය යනුවෙන් හැඳින්විය හැකි අතර එය මිනිස් සිතකට වැදගත් කාර්යයක් නොවේ. මානසික විකෘති සංරක්ෂණ ක්‍රමයක් වූ මෙයින් අමතක කොට දැමූ යමක් නැවත නැවත සිහිපත් වන විට ඉතා වේදනා සහගතව සිත චංචල වී යයි. අවරෝධනය තුලින් තාවකාලික අමතක කරලමින් එමගින් සෑහීමත් මිනිස් සිතේ වර්ධනයට බලවත් පහරක් වනු නොඅනුමානය.

යමක් නොලැබීමේ තත්වයක් ඇතත් යමක් ලැබුනොත් ඊට උසස් ලෙස රුචිකත්වය දැක්වීම ප්‍රතිශෝධන ක්‍රියාවලියක් සේ හැඳින්විය හැකිය. එය සියලු දේට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත්, විරුද්ධව ක්‍රියා කිරීමත්ය. ඇතමුන් අනුන්ගේ අවධානය තමා වෙත නොමැති කල්හි කෙබඳු මගකින් හෝ නිතර නිතර ප්‍රශ්න ඇසීමෙන්, ශබ්ද නඟා කතාබහ කිරීමෙන් අවධානය යොමු කර ගනියි.

වේදනාකාරී අවුල් සහගත ගැටලුකාරී ප්‍රශ්න ඇති වූ විටක පවතින සමාජයේ වුවද බොහෝ දෙනා නිෂ්ක්‍රමණ ක්‍රියාවලිය අනුගමනය කරති. එනම්, නිදි පෙති, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් නිෂ්ක්‍රමණ මාලිගා තනා ගැනීමයි. මෙයින් පරිබාහිරව සමාජයට මෙන්ම තම තමන්ගේ කායික, මානසික විකෘතිකර ස්වභාවයට බලපාන්නේය. එය අයහපත් මානසික සංරක්ෂණ ක්‍රියාවන් ලෙස අවබෝධ කළ යුතුය. ශාරිරික බෙලහීනතාවයන් නිසා හෝ වෙනත් ප්‍රශ්න ඇති වූ බවක් හෝ පවසා එසේත් නැතිනම් යමක් දීමෙන් සිත හැසිරවීම කරන උදවිය දකින්නට ලැබේ. තමන්ගේ වරදින්, ප්‍රමාද දෝෂ වලින් නිතර නිතර අනුන්ට කරදර ඇතිවීමෙන් වැලකී සිටීමේ පුරුද්ද ඇති කරගැනීම ඉතා උතුම්ය. එහෙත් බොහෝවිට අයෙක් හුරුවන්නේ වන්දි ගෙවා වරදින් නිදහස් වීමටය. නිදසුනක් හැටියට අඹුසැමි භේදවල දී සැමියා අමනාප වූ විට බිරිඳ රසමුසු කෑමක් සාදා දීමෙන් වරද වසං කර දමයි. සැමියා ගෙදර වැඩක් කර දීමෙන් වරද වසන් කරයි.

ක්ෂණිකව අනුගමනය කරන්නට හුරු වී ඇති මෙවැනි උපක්‍රම තුලින් ස්නායු විකෘති ස්වභාවයක් නිතර හටගනී. එයින් මනෝවිකෘති භාවයට යයි. අසනීප නැතත් සැමදාම බෙහෙත් පාවිච්චියෙන් සිටීම ශෝචනීය තත්වයක් දිස් කරයි.

විවිධ ආකල්ප හා සමාජ රටාවන් අනුගමනය කොට කැඩුන බිඳුන තැලුන සිත හදා ගැනීම සමාජයේ ජීවත්වන පුද්ගලයා උත්සාහ ගැනීම මිනිස් සිරිතයි. නමුත් එය පෞරුෂත්වයත්, ප්‍රෞඪත්වයත්, අභිමානයත් නොසිඳී නොකැඩී යන පරිදි හදාගත යුත්තකි.

-පූජ්‍ය කොත්මලේ ඥානරතන හිමි, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 ජූලි 1

Advertisements