නැති බැරිකම රෝගයක් ද?

නැති බැරිකම මානසික රෝග ලක්ෂණයක් යයි ඔබ පිළිගන්නේ නැත. එහෙත් කෙනෙකු නැතිබැරි දුගියෙකු වී සිටින හේතුව සොයා බැලුවා නම් එයට මුල් වූ මානසික රෝග ඔබට වහා තේරුම්ගත හැකිය.

සිතේ උදාසීන භාවය යනු සිත රෝගී වීමකි. සිත අලස වන්නේ සිතට හා ගතට වැළඳෙන ආබාධයක් නිසාය. ඉරිසියාව බලවත් මානසික රෝගයකි. දියුණු වී සිටින අයට ඉරිසියා කරන්නේ තමන්ගේ රෝගී මනසිනි.

වනචාරී යුගයේ ජීවත් වූ වැදි තරුණයා දුනු ඊතල සොයා නොගෙන දඩයමේ නොගොස් සිටියා නම් එකල සමාජයේ හැටියට ඔහුට බිරිඳක් හෝ වැඩිහිටි සැලකිල්ලක් නොලැබුණි.

රැකියා පුහුණුව එදා මෙන්ම අදත් අවශ්‍ය වේ. රැකියාවක් කිරීමට නොදන්නාකම මෝඩකම නොවේ. අලසකම ද නොවේ. එය අහංකාර මැලිකමකි. මේසන් වැඩ, වඩුවැඩ හා කාර්මික වැඩ පහත් වැඩ හැටියට සලකන්නේ බොරු උඩඟුකමෙන් මත් වූ අයයි.

තමා ජීවත්වන කාලයේ හැටියට තමන්ටය කියා ගෙයක්, වාහනයක් හා ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති වීම හා ඒවා ලබා ගැනීමට උත්සුක නොවීම මානසික රෝගීකමේ ලක්ෂණයකි. විප්ලව කිරීමට මිස ශ්‍රමය වැය කොට දියුණුවක් ලැබීමට අකමැතිවීම ද මානසික රෝගයකි.

බොහෝ තිරිසන් සතුන් මිනිසා පහළවීමට කලින් පහළ වී මිනිසා සමඟ තම පැවැත්ම අඛණ්ඩව ගෙන ගියේ උන්ගේ ආහාර හා නිවාස ප්‍රශ්න විසඳා ගැනීමෙනි. දියුණු කළ හැකි මොළයක් නැතත් තම වර්ගයා බෝ කිරීම හා පණ රැකගෙන ජීවත්වීමේ හැකියාව අදත් ඔවුනට ඇත. දියුණු කළ හැකි විශේෂ මොළයක් ඇති මිනිසා පමණක් ආහාර හා නිවාස ප්‍රශ්න මතුකරගෙන ජීවත්වීම ලෝක ගැටළුවක් කරගෙන සිටී.

වඩුකරුල්ලා අලංකාර නිවහනක් ඉදිකර ගැනීමට නැකත් බැලුවේ නැත. අන් අයගේ උපකාර හෝ විශේෂ ඉගෙනීමක් ලැබුවේ ද නැත. කුඹලා මැටියෙන් ගෙයක් තනා ඒ තුල බිත්තර දමයි. ඉන්පසු දලබුවෙකු ඒ තුලට දමා මැටිගෙය වසා දමනු ලැබේ. දලබුවා නොමැරී පැටවුන්ට ආහාරයක් වීම සඳහා තැබීමට ඌ දලබුවාගේ හිසට දෂ්ට කොට උගේ සිහි නැති කරවයි. මේවා කිරීමට කුඹලා කේන්දර බැලීමක් හෝ නැකැත් ගැනීමක් නැත.

තිරිසන් සතුන්ට නැති බලයක් හා විවිධ උපාය මාර්ගයන් සමඟ බලවත් මොළයක් මිනිසාට ඇත. ඔහුගේ ප්‍රශ්න ඔහුට විසඳා ගැනීමට බැරි ඒවා නොවේ. මිථ්‍යාව, ඉරිසියාව, අහංකාරකම ආදි දහසක් මානසික රෝග නිසා ඔහු අබල දුබල වී සිටිනු දක්නට පුළුවන.

රෝග බව නොපෙනෙන බොහෝ රෝග තිබේ. නැති බැරිකම හෝ අගහිඟකම එවැනි රෝගයක ප්‍රතිඵලයකි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1

Advertisements