හරවත් කරමු ජීවිත පොඩි දරුවන්ගේ

ඕනෑම දෙමාපිය වැඩිහිටි ගුරුවරයෙකුගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ අනාගත පරපුරේ ජීවිත සාරවත් හරයක් ඇති ජීවිත බවට පත් කරවීමය.

පාලකයින්, පූජකයින් හා ගුරුවරුන් ඉතා දැඩි ලෙස දරුවන් විවේචනය කරනු ලබන යුගයක අද අපි ජීවත්වෙමු. ත්‍රස්තවාදය, අපරාධ කිරීම හා මත්ද්‍රව්‍ය භාවිතය සමඟ සිසු විනය පිරිහීම ගැන උගත් නූගත් සෑම කෙනෙක්ම වාගේ කතා කරන බව පෙනේ. මේ අතර තරුණ පරපුර යහමඟට ගැනීම සඳහා ඉමහත් වෑයමක යෙදෙන සමාජය ඔවුනට සාර ධර්ම තේරුම් කර දීමට වෙහෙසවන බව ද පෙනේ. සාර ධර්ම යන වචනය දැන් පට්ට ගැසූ එකකි.

සමාජය මෙවැනි පඹගාලක පැටලී සිටින අවදියක, ප්‍රශ්න හා එහි උත්තර මොනවා ද කියා සොයා බැලීම ඉතා අගනේය. ත්‍රස්තවාදය, අපරාධ අධික වීම හා මත්ද්‍රව්‍ය භාවිතය යනු තරුණ පරපුර විසින් වැඩිහිටියන්ට තමන් දන්නා භාෂාවෙන් යම් පණිවුඩයක් දීමට කරන වෑයමකි. ඔවුනට ආගම ධර්මය, දේශපාලනය හා ගුරුවරු ආදීන් තිත්ත කළේ කවුරු විසින් ද? වැඩිහිටි සමාජය අපේ තරුණයින්ට උගන්වන්නේ මොනවා ද?

පාලකයන් වීමට නුසුදුසු අය රට පාලනය කරන බවක් හුවා දැක්වීමට ඇතැම් අය වෑයම් කරති. ආගම ධර්මය කියාදෙන අය කරන්නේ අනුන් මුලා කිරීමක් මිස අනුන්ට කියා දෙන ධර්මය තමන් රැකීමක් නොවන බව තරුණ පරපුර පහසුවෙන් තේරැම් ගෙන සිටිති. ගුරුවරුන් හැටියට පෙනී සිටින බොහෝ දෙනා උගන්වන්නේ පාසැල් විෂයයන්ට වඩා දේශපාලනය ගැන සිත කලකිරීමට පත් කරවන දේ ය.

වැඩිහිටියන් වන අපි අපේ දරුවන්ට නිතරම නිවැරදි මග පෙන්වා දිය යුතුය. වැරදි මග ගමන් කරන ළමුන්ට දොස් නොකියා, බැන වැදීම් නොකොට, ඔවුන්ගේ වැරදි වැඩ වලට හේතුවන කරුණ සොයා ගත යුතුය.

අතේ බඳින ඔරලෝසුව, පැදගෙන යන පා පැදිය හෝ මෝටර් බයිසිකලය ආදී එදිනෙදා පරිහරණය කරන උපකරණ හා යන්ත්‍ර සූත්‍ර වැරදි විදියට ක්‍රියා කරන විට අපි ඒවා වහා නිවැරදි කර ගනිමු. අපේ දරුවෙකු වැරදි විදියට ක්‍රියා කරන විට එයට හේතුව සොයා බලා දරුවා නිවැරදි කර ගැනීමට අපට හැකියාවක් ඇත.

වැඩිහිටියන් වන අපි ආදර්ශමත් ජීවිත ගත කරනවා ද? එසේනම් අපේ දරුවෝ වැරදි වැඩ කිරීමට ලැජ්ජා බය ඇත්තෝ වෙති. බොරු කීම හොරකම් කිරීම හා මත්පැන් පානය කොට අඬදබර කර ගැනීම සිදුවන නිවසක දරුවා උතුම් වැදගත් විදියට සමාජයේ හැසිරෙනු ඇතැයි සිතීමට බැරිය. ඔහු ඉගෙන ගන්නේ වැරදි වැඩය. ඒවා හරිවැඩ යයි ඔහු සිතා ගනී. ඉන්පසු පාසැලේ දී හා පන්සලේ දී ඔහු ඉගෙන ගන්නේ ගෙදර දි කරන වැඩ වැරදි පහත් ක්‍රියාවන් බවය. මේ නිසා හරි වැඩේ හා වැරදි වැඩේ අතර දරුවා අතරමං වෙයි.

දරුවාට තම දෙමාපියන් විරයින්ය. එසේම දෙමාපිය සෙවනේ ඔහු ජීවත් විය යුතුයි. ගුරැවරයා හා හමුදුරුවෝ ඔහුට උපදෙස් දෙනවා මිස කෑම බීම ඇඳුම් දී ලෙඩට දුකට පිහිට වන්නේ නැත. ඔහු නිරායාසයෙන්ම ඇදී යන්නේ දෙමාපිය වැඩිහිටියන් විසින් අනුගමනය කරන වැඩ කටයුතු අනුකරණය කිරීමටය. එය දරුවාගේ වරදක් නොවේ.

පාසැලේ දී හා විශ්ව විද්‍යාලයේ දී බොහෝ ගුරුවරු හා කථිකාචාර්යවරු උගන්වන්නේ ආගම, ධර්මය හා දේශපාලනය විකෘති කරමිනි. අපක්ෂපාතව සිතන්නට හුරු පුරුදු වීමට පෙර මෝරා නැති මොළ වලට විරුද්ධ පැත්ත හා තර්කය වටහා ගැනීමට බැරිය. ඔව්හු මේ නිසා නැවතත් අතරමං වෙති.

හරි ක්‍රමය නම් පක්ෂ වීමට මෙන්ම විපක්ෂ වීමට ද පුරුදු වීම යනු දේපල නැති භංග කොට නීතිවිරෝධී වැඩ වල යෙදී අපරාධකරුවන් වීම නොවන බව කියා දිය යුතුයි. එය නොදන්නා කල විරුද්ධවාදී අදහස් හා ගැටෙන්නේ, ක්‍රීඩාවේ නීති රීති උල්ලංඝනය කරමින් තරඟ ක්‍රීඩාවකින් ජයගැනීමට දඟලන මැරවරයින් ලෙසය. මෙය දරුවන්ගේ වරදක් නොවේ. ඔවුනට ආදර්ශය දෙන වැඩිහිටි ඔලමොට්ටලයින්ගේ වරදය.

වැඩිහිටි අය ඕනෑම වැරදි වැඩක් කොට එය වසා ගැනීමට දක්ෂ වෙද්දී දරුවන් ද ඒවා දැනගෙන හා ඉගෙන ගෙන එළිපිට කරද්දී ඔවුන් නරුමවාදී දුෂ්ටයින් හෝ සිහිවිකල වූවන් හෝ හැටියට පෙර කී වැඩිහිටියන් විසින් ම හඳුන්වති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 ජූලි 1

Advertisements