ඔබ සාමාන්‍ය මිනිසෙක් ද?

පිස්සෙකු වුව ද වරදක් කරන්නේ හේතුවක් ඇතිවය. එක් පිස්සෙකු තමන් කැඳවාගෙන ගිය උපස්ථායකයින් දෙදෙනාගෙන් කෙනෙකුට වැරෙන් පහරක් ගැසීය. උමතුව සුව වූ විට එසේ ගැසුවේ මන්දැයි ප්‍රශ්න කළ විට එම උපස්ථායකයා තමාගේ අත රිදෙන සේ අඹරමින් අල්ලා සිටි නිසා යැයි ඔහු කීය.

අප අතර සාමාන්‍ය මිනිසුන් සිටී දැයි සොයා බැලීම සඳහා මම ඉමහත් වෑයමක් දැරීමි. කිසිවෙක් තමා සාමාන්‍ය මිනිසෙක් යයි පිළිගත්තේ නැත. සෑම කෙනෙක්ම විශේෂ මිනිසෙකි. එහෙත් මිනිසුන් අතර දියුණු මිනිසුන් හා නොදියුණු මිනිසුන් බොහෝ සිටිති. වැඩිපුර සිටින්නේ නොදියුණු මිනිසුන්ය.

මේ නිසා සාමාන්‍ය මිනිසා යනු නොදියුණු මිනිසා හැඳින්වීමට භාවිතා කළ හැකි වචනයක් විය හැකි යයි මම සිතුවෙමි. මම සාමාන්‍ය මිනිසා යනුවෙන් ඔබ හඳුන්වන්නේ කොහොම අය දැයි උසස් අයගෙන් ප්‍රශ්න කළෙමි. ඒ අය කිව්වේ මැති ඇමතිවරු සාමාන්‍ය මිනිසුන් නොවන බවකි. නිලධාරීන් සාමාන්‍ය මිනිස්සු නොවෙති. මුදල් හදල් යහමින් ඇති අය සාමාන්‍ය මිනිසුන් නොවෙති. ප්‍රසිද්ධ කීර්තිමත් අය සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉහලින් සිටින අයයි. දොස්තරවරු, නීතීඥවරු හා ඉංජිනේරුවරු සාමාන්‍ය මිනිසුන් නොවෙති. කථිකාචාර්යවරු හා වෙද මහත්වරු සාමාන්‍ය මිනිසුන්ට වඩා උසස්ය. පැවිදි පක්ෂය ද සාමාන්‍ය මිනිසුන් නොවේ. එසේනම් සාමාන්‍ය මිනිසා යනු තත්වයක් නැති හා ධනයක් නැති කෙනෙකි. අප රටේ සිටින්නේ වැඩිපුර එවැනි අයයි. ධනවත් රටවල නම් වැඩිපුර සිටින්නේ සාමාන්‍ය නොවන මිනිස්සුය.

ඊ ළඟට මා කළේ සාමාන්‍ය මිනිසුන් හැටියට තමන් පිළිනොගන්නා නමුත් අග හිඟකම් වලින් පෙලෙමින් ‘තත්වයක්’ නැතිව ජීවත්වන මිනිසුන් දෙස පරීක්ෂාවෙන් බැලීමයි. එම පරීක්ෂණයට මට හවුල් වූයේ ද සාමාන්‍ය මිනිසුන්මය. උගතුන්ට හා සාමාන්‍ය මිනිසුන් ගෙන් ටිකක් ඉහළින් සිටින මිනිසුන්ට සාමාන්‍ය මිනිසා ගැන දැනගැනීමට ඕනෑකමක් නැත.

සෑම සාමාන්‍ය මිනිසෙක්ම එක්තරා සමාජ තත්වයකට පැමිණ නිහඬව ජීවත් වන්නෙකි. ඔහු ළඟ උසස්වීමේ ආශාවක් ඇතත් ඕනෑකමක් නැත. ආශාවත්, ඕනෑකමක් යන දෙකම තිබි වෑයමක් නොකරන සාමාන්‍ය මිනිස්සු සිටිති. සාමාන්‍ය මිනිසා වැඩපල කළේ සීමාවක් ඇතිවය. ඔහු වැඩියෙන් කතා කළේය. මහන්සි වූ තරමට වඩා ඔහු විවේක ගත්තේය. බඩු මිල හා ආහාර මිල ඉහළ යන විට පමණක් ඔහු වෙහෙස දරා අතිකාල වැඩ කළේය. ඊට පෙර ඔහු ලද දෙයින් සතුටු වී වැඩි කාලයක් නිදි සුව වින්ඳේය.

සෑම සාමාන්‍ය මිනිසෙක්ම ජීවිතයේ පළමු සැතපුම වේගයෙන් ගිය කෙනෙකි. ගෙයක් හා රක්ෂාවක් සමඟ දරු පවුලක් ඔහුට ඇත. දෙවෙනි සැතපුම වූ ආදායම් මාර්ග සරු කර ගැනීම වැඩිපුර ඉඩකඩම් ආදිය ලබාගැනීම හා ධනය තර කර ගැනීමේ ඊ ළඟ පියවරට ඔහු කිසිදු තැකීමක් නොකරන්නෙකි.

තරුණ වියට පත්වෙන විට තමා සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවිත ගමනේ දී නතර වන අයෙකු බව පෙන්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝය. ඔව්හු මොනවා හරි ලැබුනු රක්ෂාවක් කරමින්, ලැබුනු දෙයක් කමින්, ලැබෙන පැල්පතක ජීවත් වෙමින්, ‘පෙර කරුමයේ’ හැටියට පැටව් ගසමින් අලස ජීවිත ගත කරන්නට තීරණය කරගෙන සිටිති. ඉලක්කයක් කරා යෑමට කල්පනා නොකරන සෑම තරුණ තරුණියක්ම සාමාන්‍ය තත්වයට පැමිණ පළමු සැතපුමේ දී ජීවිත ගමන නතර කරගන්නා අයයි.

සාමාන්‍ය මිනිසා තමන්ගේ තත්වය උසස් කර ගැනීම සඳහා අන් අය විප්ලව කරන තුරු බලා සිටිති. තමන්ගේ දැනුම, හැකියාව හා ඥානය වැඩි දියුණු කරගැනීමට ඔහුට අමතක වෙයි. අන් අය දිවි පුදා විප්ලවයක් කොට මොහුට හොඳ ජීවන තත්වයක් උදා කරන ඇතැයි ඔහු කල්පනා කරයි. මෙසේ සිතන අලස අය සියයට අනූවක් පමණ තරුණ අය අතර සිටිති. තව අවුරුදු පහකින් තමන්ට මුහුණ දීමට සිදුවන තරඟකාරී සමාජය ගැන සාමාන්‍ය මිනිසාට වැටහීමක් නැත. ඔහු අද නැත්නම් හෙට ජීවත්වන අන්දම ගැන සිතනවා මිස ඉදිරිය ගැන නොසිතයි. බොහෝ අයට ජීවිතයේ එකම පරමාර්ථය ඉඳුරන් පිනවීමයි. ඒ සඳහා මත්පැන් ගැනීමට ද ඔහු පුරුදු වෙයි.

මෙයට අවුරුදු පන්දහසකට පෙර විසූ ජනයා අතර ද සාමාන්‍ය මිනිස්සු බොහෝ කොට සිටියහ. දුනු ඊ තල ආදිය තනාගෙන දස්කම් විස්කම් පෑ අය දුටු මේ සාමාන්‍ය ජනයා දස්කම් පෙන්වූ අයට බිය වූහ. මෙසේ තමන්ට වඩා එක පියවරක් ඉදිරියට තැබූ දක්ෂයින් සාමාන්‍ය ජනයාට පෙනුනේ දෙවිවරු ලෙසය. සාමාන්‍ය ජනයා අතර මෙසේ දෙවිවරු පහළ වන්නට විය. මොළයෙන් කල්පනා කොට කටයුතු කළ අය අන් අයට දෙවියෙකු විය. වැව් අමුණු බැන්ඳ වූයේ මින්නේරියේ දෙයියෝ එසේ නැත්නම් රාසිං නොහොත් රාජසිංහ දෙයියෝය.

විසිතුරු අත්කම් භාණ්ඩ, කැටයම් හෝ ගල් රූප නෙලීම කළේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ආරූඪ වූ මිනිසෙකි. අදත් දක්ෂකම් හා පුහුණුව අනුව අන් අයට කළ නොහැකි දේ කරන පුද්ගලයා සාමාන්‍ය මිනිසෙකු නොවේ. එදා දක්ෂයාට දෙවියා යයි කී මිනිස්සු අද දක්ෂයින්ට කියන්නේ විද්‍යාඥයා, විශේෂඥයා ආදී කාලයට ගැලපෙන වචන වෙති.

එදා මෙන්ම අදත් විශේෂ මිනිසුන්ගේ තත්වයට උසස්වීමක් ලබන්නේ සාමාන්‍ය මිනිසෙකි. මේ සාමාන්‍ය මිනිසා උත්සාහයෙන්, වීර්යයෙන්, ඉවසීමෙන් යුතුව පුහුණුව ලබා සාමාන්‍ය මිනිසා පරාජය කරයි. තමන් කල දෙයක් අඩුපාඩුවක් නැතිව හා වැඩිපුර උනන්දුවක් ඇතිව කිරීම නිසා සාමාන්‍ය මිනිසා උසස් මිනිසෙකුගේ තත්වයට නැඟ තිබේ.

සාමාන්‍ය මිනිසා යනු සීමා බන්ධනයකට අසු වී කොටු වී තමන් හදාගත් මානසික සිර ගෙයක ජීවත්වන්නෙකි.

විශේෂ මිනිසා යනු අවශ්‍ය පමණට වඩා සෙවීමට වෑයම් කරන හා අසීමිත ලෙස කල්පනා කරන හා නැවතීමේ ලකුණ නොදන්නා කෙනෙකි.

යාන්තමින් ජීවත්වුනාම ඇති යයි කියන්නේ සාමාන්‍ය මිනිසාය. අසාමාන්‍ය මිනිසා නිතරම සිතන්නේ යාන්තම් ජීවත්වීමෙන් සාමාන්‍ය මිනිසාගේ තත්වයෙන් මිදීමට නොහැකි බවය.

-මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ගේ දේශනයක් ඇසුරෙනි. චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 ජූලි 1

Advertisements