වැස්සක් වැස්සොත් ඊට පස්සෙ පායනවා

ඇත්ත නැත්ත හොයා ගන් බැරි පුංචි කාලේ ඇතිවන අත්දැකීම් නිසා තමන්ගෙ ළමා වයස ගැන මතක් කරන කොට ඕනෑම කෙනෙකුට තමන්ගේ හිතේ විශේෂයෙන් කා වැදුනු ඔක්කෝම මතක් වෙනවා. හිතට තද සතුටක් දුන්නු දේවල් වගේම හිතට තද දුකක් ඇති කළ දේවලුත් මතක් වෙනවා. වැඩි විස්තර ඇතුව මතක් වෙන්නෙ හිතට ලොකු වේදනාවක් ඇතිවෙච්ච සිද්ධීන් තමයි. නමුත් දැන් ඔබ ළමා වයස පහු කරලා තියෙන කෙනෙක්. ඒ නිසා පුංචි කාලේ බයවෙච්ච, ලැජ්ජා වෙච්ච දේවල් ගැන දැන් බය වෙන්න කාරණයක් නැති බව ඔබටම තේරේනවා ඇති.

ඒ කාලේ එහෙම බයවීමට හේතු වූ කරුණු මොනවා ද කියල හිතල බලන්න. එහෙම හිතන කොට ඔබේ හිතේ ඒ අවස්ථාවේ ඇතිවෙලා තියන්නෙ අනවශ්‍ය බයක්, අනවශ්‍ය ලැජ්ජාවක් බව වැටහෙනවාට සැකයක් නැහැ.

පුංචි ළමයින්ට දෙමව්පින්ගේ, ගුරුවරුන්ගේ ආදරය කරුණාව නොලැබුණාමත් ඒ හිත්වල දුක, වේදනා සහිත හැඟීම් ඇතිවෙනවා. මේ හැඟීම් දරුවාගේ මානසික වර්ධනය කෙරෙහි බලපානවා. එහෙම වුනාම වයස මෝරලා වැඩිහිටියන් වුනාට පස්සෙත් සමහරු අසහනකාරී අය බවට පත්වෙනවා.

අන්‍යයන් ඉදිරියේ සතුටින් ඉන්න අපට පුළුවන් වෙන්නේ අපිට අප ගැනම සතුටු වෙන්නට හැකි වුනොත් පමණයි. එම නිසා අපේ අඩුපාඩුකම් ගැන හිත හිතා ඉන්නෙ නැතිව, අපිත් යම්කිසි වටිනාකමක්, දක්ෂකමක් ඇති අය බව වටහා ගන්නට ඕනෑ. අපටත් දක්ෂ ලෙස කිරීමට හැකි යම් යම් දේ තිබෙනවා යැයි සිතා අපි සතුටු වෙන්න ඕනෑ. යම් යම් අඩුපාඩුකම් ඇතත් අපත් හඳුනාගන්නට කරම් වටිනාකමක් ඇති අය බව මුලින් අපිම පිළිගන්න ඕනෑ.

“යහපතක්ම වෙනවා,” “හොඳක්ම වෙනවා,” “මේ වැඩෙන් මට ජය සිකුරුයි,” කියල නිතරම හිතන්නට ඕනෑ. හැමදේම හොඳම විදියට සිද්ධ වේවි කියන බලාපොරොත්තුවෙන් නිතරම ඉන්න ඕනෑ. මෙහෙම හිතන්න පුරුදු වුනාම දවස පුරාම සන්තෝෂයෙන් ජීවත්වෙන්න පුළුවනි. ඒ විතරක් නෙමෙයි, හොඳක් බලාපොරොත්තුවෙන් ඉන්න කොට සිද්ධ වෙන්නෙත් හොඳ දේවල්මයි. නිතරම බයෙන් ලැජ්ජාවෙන් මුළු ගැන්විලා ඉන්න කොට හොඳක් සිද්ධ වෙන්න ක්‍රමයක් නැහැ.

සමහරු වරක් දෙකක් පරාජය වුනාම, එහෙම නැතිනම් බලාපොරොත්තු වූ දේ සිදු නොවුනාම, ඊට පස්සෙ කවදාවත් තමන්ට ජයක් ලැබේය කියා හිතන්නෙ නැහැ. නමුත් සදාකාලික පරාජිතයන් වශයෙන් කිසිම කෙනෙක් ජීවත් විය යුතු නැහැ.

වැස්සක් වැස්සොත් ඊට පස්සෙ පායනවා. කන්දක් තියෙනවා නම් පල්ලමකුත් තියෙනවා. ඒ නිසා හැමදාම දුකින් අසතුටින් හෝ බියෙන් ඉන්න එපා. තමන්ටත් සතුටින් ඉන්න බව පිළිගන්න. සමහර විට යම් දෙයකින් අපි අසමර්ථ වෙන්නෙ එක්කෝ අපි අවශ්‍ය තරම් ඒ ගැන උනන්දු නොවන නිසා එහෙම නැත්නම් එක වරටම විශාල බරක් කරගහ ගත්ත නිසා වෙන්නට පුළුවනි. ඒ නිසා ඒ ගැන ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැ.

කවදාවත් වැරැද්දක් නොකරන, කිසිම අඩුපාඩුවක් නැති මිනිසුන් හැටියට අන්‍යයන් ඉදිරියේ පෙනී සිටීමට උත්සාහ කිරීම මෝඩකමක්. ගුරුවරුන්ටත් අකුරු වරදිනවා කියා තියෙන්නේ ඒ නිසයි. ඉතින් අපි අපේ නියම ස්වභාවයෙන් ජීවත්වෙන්න ඕනෑ.

අනුන් ඉදිරියේ කිසිම බයක්, හැකිළීමක් නැතිව හැසිරෙන අය සාමාන්‍යයෙන් නිරෝගී මනසක් ඇති අය ලෙස සලකන්න පුළුවනි. එහෙම බැරි හීනමානයෙන් හෝ බියෙන් පෙළන අයටයි. අද ලෝකයේ ජීවත්වෙන බොහෝ දෙනෙකු තමන්ගේ ප්‍රශ්න වල එල්ලී ගෙනයි දවසෙන් වැඩි කාලයක් ගත කරන්නේ. ඒ නිසා ඒ ගොල්ලන්ට අපේ අඩුපාඩු හොයන්න, අපේ ගුණදොස් කතා කර කර ඉන්න වේලාවක් තියා සමහර විට අපි ගැන හිතන්නවත් වේලාවක් නැතිව ඇති. වැරැද්දක් හොයන්න උත්සාහ කරන කෙනෙකුට නම් කොහේ නැති අඩුපාඩුවක් සොයා ගන්න බැරිවෙන එකක් නැහැ. ඒ වගේ දේවල් අපිට නතර කරන්නත් බැහැ. ඒ නිසා අපි එහෙම අනුන්ගෙ කුණු අවුස්සන අය ගැන අපේ හිත් වෙහෙසන්න හෝ බය වෙන්න උවමනා නැහැ.

බොහෝ අවස්ථාවල දී ලැජ්ජාවක් පෙන්වන්නේ යම් කිසි බයක් නිසා බව අවබෝධ කරගන්න. එවිට ඒ බයට හේතු වූ කරුණු ගැන කල්පනා කරල හිතලා බලන කොට, ලැජ්ජා වෙන්න හෝ බය වෙන්න තරම් හේතුවක් නැති බව පෙනී යාවී.

චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1978 සැප්තැම්බර් 1

Advertisements