නැති වැරදි හදා ගැනීම

නොකළ හා නොසිතූ වැරදි ඉස්මතු කොට දු දරුවන්ට, අඹු සැමියන්ට හා හිතවතුන්ට බැන වදින අය සිටිති. සමහර කෝටිපති ව්‍යාපාරිකයින් පවා ලොකු පඩි ලබන සේවකයින් පන්නා ගැනීමට ඕනෑ වූ විට ඔවුන් කැඳවා නොකළ හා නොසිතූ වැරදි ඉස්මතු කරමින් දොස් නගනු ලැබේ. මෙසේ නොරිස්සුම් ගති පෙන්වන අය සැමියා නම් එයින් ඔහු අදහස් කරන්නේ වෙනත් දෙයකි. ඔහු එසේ හැසිරෙන්නේ ඇතැම් විට බිරිඳගේ සිත රිදවා ඇගේ මලානික මුහුණ දැකීමෙන් සතුටක් ලැබීමටය. එසේ නැත්නම් තම කාමාශාවන් සංසිඳී නැති බව හැඟවීමට විය හැකිය. විරූප බිරිඳක් සිටි අයෙක් නිතරම අන් ගැහැණුන්ගේ ලස්සන ගැන කියමින් බිරිඳගේ සිත තැලුවේය.

දෙන්නට පොරොන්දු වූ දෑවැද්ද අඩුවෙන් දුන් නිසා එක් සැමියෙක් බිරිඳගෙන් පලිගත්තේ ඇයට නිතර නිතර වදහිංසා කිරීමෙනි. එහෙත් පොරොන්දුව කඩ කළේ ඇය නොව ඇගේ පියාය. විපාක වින්ඳේ ඇයයි. ඉන්දියාවේ මෙවැනි මනමාලයෝ තම භාර්යාවන් හදිසි අනතුරු බව හඟවා පාමින් මරණ බව ආරංචි වෙයි.

ඉගිලෙන්නට හැකි කුරුළු පැටවුන්ට පක්ෂීන් කොටන්නේ උන් පන්නා ගැනීමටය. රැකියාවක් නැතිව ගේ දොර වැඩ ද නොකර සිටින තරුණ අයට දෙමාපියන් නිතර ඇනුම් බැනුම් එල්ල කරන්නේ ඔවුන් වැඩ පලකට යොමු කරවීම සඳහාය.

තම ජීවිතය අඳුරු කරගෙන සිටින අය අන් අය සතුටින් සිටිනවාට අකමැති වෙති.

ණය තුරුස් වී සිටින දෙමාපියන් තම දූ දරුවන්ගේ සිනාසීම් නුරුස්සති. සදාකාලික සැපත සොයා භාවනා කරමින් හා පින්දහම් කරමින් සිටින අය තරුණ තරුණියන්ගේ ප්‍රේමයට, අල්ලාප සල්ලාපයට හා කොක් හඬලා සිනාසීමට කැමති නැත.

තමන් කරන්නට කැමති නමුත් වයස නිසා හෝ සිතේ ඇති බිය හෝ ලැජ්ජාව නිසා යමක් නොකර සිටින පුද්ගලයා එම වැඩේ හෝ විනෝදය අන් අය කරනවා දකින්නට කැමති නැත.

ක්‍රීඩා කරන්නට බැරි අය ක්‍රීඩා කරන අය දුටුකල නොයෙකුත් මෝඩ කතා කියති. කෑම දිරවාගන්න වැඩක් පලක් කළා නම් ඔයිට වඩා හොඳ යයි කියති.

මිනිසුන්ට රැකියා ලැබී, ගෙවල් දොරවල් සාදා ගෙන, නැති බැරිකම් ජයගෙන සතුටින් හා විනෝදයෙන් සිටිනු දැකීම නුරුස්සන අය රටට හිතවත් දේශපාලන නායකයන් හැටියට ද පෙනී සිටිති.

ඉහත සඳහන් මානසික තත්වයන් ඇත්තේ දුබල මනසක් ඇති අයටයි. මනස දුබලවීම යනු රෝගී බවේ ලක්ෂණයකි. ශරීරය දුබල නම් එය මහළුකමේ හෝ රෝගයක ලක්ෂණයකි. මනස මහළු නොවන බැවින් එහි දුර්වලකම මානසික රෝගයක ලක්ෂණයකි. මෙම රෝග යථා තත්වය තේරුම් ගැනීමෙන් සුවකරගත හැකිය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1

Advertisements