හිඟන අදහස් දුරු කිරීමට උගන්වමු

ඇමෙරිකාව, ජපානය ඇතුළු ලෝකයේ අනිකුත් දියුණු රටවල් මෙන් ලංකාව ද සරුසාර රටක් කිරීමට පුළුවන. ඒ සඳහා පළමුකොට රටේ ජනතාවගේ සිත් සතන් වලින් හිඟන අදහස් දුරු කිරීමට කටයුතු කළ යුතුය.

අපේ රටේ බොහෝ අය සිතන්නේ ධනවත්වීම මහා අපරාධයක් කියාය. ධනවත් අයට ඉරිසියා කිරීම මිස ධනවත්වන අයුරු සොයා බලන අය නැත. තමන්ගේ දක්ෂකමින් හා අලසකමින් තොර වෑයමෙන් ධනවත් වී සිටින අයගේ ධනය උදුරා ගෙන අලස හා අදක්ෂ හිඟන්නන්ට බෙදා දීම සාධාරණ හා මානුෂික ක්‍රියාවක් යයි බොහෝ දෙනාගේ මතයයි. මේ නිසා ගැරඬියා ගොදුරක් ගිලින විට ගොදුර කෙරෙහි අනුකම්පා කොට ගැරඬියාට පහර දී ගොදුර හා ගැරඬියා දෙදෙනාම මරා දමන තරම් අමනයින් අප අතර වැඩි වී සිටිති.

ධනවත්වීමට රටකට හෝ පුද්ගලයෙකුට කාලයක් ගතවේ. ඉතා දක්ෂ අයුරින් මොළය වෙහෙසවීම ඒ සඳහා අවශ්‍ය වේ. ඉවසීම හා යටහත් පහත් පැවතුම් ඕනෑය. එහෙත් එවැනි ගතිගුණ කිසිවක් නැති මෝඩ අය අතර ධනවත් අයගේ ධනය බෙදා දීම උස්තැන් මිටි කිරීම යනුවෙන් හඳුන්වනු ලැබේ.

දුගී දුප්පත් අසරණ ගම්බද තරුණ තරුණියන්ට විශ්ව විද්‍යාලයට ඇතුල්වීමේ පහසුකම් හා මහපොල ශිෂ්‍යත්ව ආදිය ප්‍රදානය කරනු ලබන්නේ ඔවුන්ගේ හිඟන තත්වය උසස් කිරීම සඳහාය. එහෙත් ඔව්හු ඒ වෙනුවට තම හිඟනකම රැක ගැනීම සඳහා පීඩිත පංතියට එකතු වී ඉගෙනීම පවා කඩා කප්පල් කර ගනිති.

රැකියා නැති උපාධිධාරීන්ට රැකියා පුහුණුවක් ලබා දී අනතුරුව රැකියා සපයනු ලැබීය. එම උත්සවයේ දී කතා කළ ඒ අයගේ නියෝජිතයන් තමන්ගේ හිඟන සිතුවිලි ඉදිරිපත් කළහ. ඔවුන් කීවේ තමන්ට ලැබුන රැකියා අනුව අන් අයගේ යහපත සඳහා සේවය කරන බව නොවේ. ඔවුන් කීවේ තමන්ටත් වඩා අසරණ, අලස හා අදක්ෂ අයට උගන්වා ඔවුන්ව ද දියුණු කිරීමට ප්‍රතිඥා දෙන බවක් නොවේ. මේ අය කීවේ රැකියා නැති අසරණ අය වෙනුවෙන් සටන් වැදීම හා වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බවය.

අපේ රටේ තරුණ මොළ වලට මේ අදහස් කවා ඇත්තේ රට, ජාතිය හා ආගමට ද්‍රෝහී වූ අපේම අය විසිනි.

මිනිසෙක් නොදියුණු හිඟන අයෙකු වී සිටින්නේ රජයේ වරදින් ද? පාලන ක්‍රමයක් නොතිබූ යුගයේ මිනිසුන් දැනට වඩා දියුණු ජීවිත ගත කළා ද? ඕනෑම කෙනෙකුට තම තමන්ගේ දක්ෂකම් අනුව ධනවත්වීමට, උගතුන්වීමට හා දක්ෂයින් වීමට අවසර ඇති පාලන ක්‍රමයක් ඇති රටක එම නිදහස නැතිකර ගැනීමට තරුණ අයට උගන්වන්නේ රටට ආදරයක් ඇති අය නොවේ.

දක්ෂයින්ට තැනක් නැති රටවල් ලොවේ ඇත. දක්ෂකම් කියන්නේ සහතික හා උපාධිය යයි සිතා සිටින අය බොහෝය. බොහෝ රැකියාවල උසස්වීම් ලැබෙන්නේ උපාධිධාරියාට නොව දක්ෂකම් පෙන්වන පුද්ගලයාටය. එසේ නැත්නම් පළ පුරුදුකම් දක්වා ඇති එම රැකියාව හරියාකාරව ඉටු කරනු ඇතැයි පිළිගත හැකි අයෙකුටය.

අපේ රටේ ජනතාව තුලින් උත්සාහය, ධෛර්යය හා වීර්යය සමඟ අධිෂ්ඨානය යන වචනයන්හි ඇති අර්ථ තුරන් වී ගෙන යයි. ඒ වෙනුවට හිඟන අදහස් වලින් සිත් සතන් පිරී පවතී. රටට ආදරයක් ඇති අය තම රටේ සම්පත් විනාශ නොකරති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1

Advertisements