මිනිස් වෙස් ගත් යක්කු සොයා ගනී

විජය රජු ලංකාවට ගොඩබසින්නට පෙර මෙහි සිටියේ යක්ෂ හා නාග යන ගෝත්‍ර දෙකට අයත් ජන කොටස් යැයි කියැවේ. අවුරුදු දෙදහස් පන්සියයකට පසු ද එම යක්ෂයින් ශීලාචාර මිනිසුන්ගේ වේශයෙන් අදත් අප අතර සිටින බව ඔප්පු කළ හැකි සාධක බොහෝය. ආචාර්ය කොවුර් අද ජීවත්ව සිටියා නම් මේ ගැන අප සමඟ එකඟ වනු නිසැකය.

අතීතයේ විසූ වනාචාරී යක්කු මිනිස්සුන්ට හදි කළේ කැලෑවල සිට ගම්වලට කඩා වැදීමෙනි. ඒ සඳහා උන් නොයෙකුත් රජ ඇඳුම්, විකාර මුහුණු හා හිස් වැසුම් වලින් සැරසුනි.

අද සිටින යක්කු කැලෑවෙන් නගරයට හා ගම්බද පෙදෙස්වලට ද පැමිණ සිටිති. ඔවුන් සාමාන්‍ය මිනිස්සුන් ගෙන් වෙන්කර හඳුනාගත හැක්කේ හැඩ රුවින් නොවේ. උන්ගේ හැඩරුව ඔබ හා මම මෙනි. වෙනස දැකගත හැක්කේ උන් කරන වැඩ වලිනි.

ඉකුත් මාසයේ අප නොයෙකුත් රාජකාරී කටයුතු ඉටුකර ගැනීම සඳහා රජයේ විවිධ කාර්යාල වලට ගියෙමු. එම චාරිකා වල දී නොයෙකුත් යකුන් හා පෙරේතයින් දැක බලා ගැනීමට මෙන්ම උන්ගේ වැඩ නැරඹීමට හා උන් ගැන කරුණු ද අසා දැන ගැනීමට ද අපට හැකිවිය.

සෑම රජයේ හා සංස්ථා කාර්යාලයකම ටික කාලයක් යනතුරු වැඩ කරන බවක් නොපෙනුනි. එයට හේතුව විමසූ විට දැනගන්නට ලැබුනේ “මේ යක්කුන්ගේ වැඩේ තවමත් කතා කර කර ඉන්න එකමයි,” කියා කෙනෙක් කීය.

ඒ අය කතා කළේ මොනවා දැයි ඇසූ විට ලැබුනු පිළිතුර වූයේ “අර යක්කු කඩ සාප්පු කඩා, ලොරි කාර් ගිනිතියා කරපු යක්ෂ වැඩ ගැන තවමත් කතා කරනවා මිස වැඩක් කරන්නේ නැහැ,”යි කියාය.

වෙනත් කාර්යාලකයට ගිය අපට එහි සිටි ලොක්කා වැඩට ඇවිත් නැති බව කෙනෙක් පැවසීය. ඔහු නැතිදාට වැඩ බලන කෙනෙක් නැද්දැයි විමසූ විට “අද ඒ යකත් ඇවිල්ලා නැහැ,” යි අසන්නට ලැබුණි.

මේ අතර අප සිටි තැනට කලිසම් ඇඳගත් ලිපිකරු මහතෙක් යැයි සිතිය හැකි අයෙකු ආවේය. එවිට ඒ අසල සිටි තවත් ලිපිකරුවෙක් ඔහුට සැරවෙමින් “උඹ හරි යකෙක්නෙ බං, කැන්ටිමට ගිහින් තේ එකක් බීල එන්න පැයක් ගියා ද?” කියා ඇසීය. එවිට ඔහු කීවේ “කැන්ටිමේ හොර යක්කු එකෙක් වත් වැඩට ඇවිත් නැති නිසා කැෂියර්ට තේ හදන්නයි සල්ලි ගන්නයි දෙකම කරන්න වුනා,” කියාය.

මී ළඟට අපට ඇසුනේ “පිස්සු යකෙකු” ගැනයි. ඔහු සංස්ථාවක සේවය කළ අයෙකි. මංකොල්ලා කෑ රෑපවාහිනි යන්ත්‍රයක් ළඟ තබාගෙන අසුවීම නිසා අත්අඩංගුවේ පසුවන ඔහු අනිත් අය හැඳින්වූයේ “පිස්සු යකෙක්” හැටියටයි.

තවත් කාර්යාලයක ගැහැණු ළමයින්ට කතා කතා සහ කැත විහිළු තහළු කරන “වල් යකෙකු” සිටින බව අප සමඟ කෙනෙකු කීය. ඇතැම් තැන්වල යක්ෂයින් මාරයා ලෙස වෙස් මාරුකරගෙන සිටියෝය. ඔවුන් හැඳින්වූයේ පගා මරැවා, කේලාම් මරුවා, මරු කපටියා, මාර බේබද්දා සහ මාර හොරා ආදි වශයෙනි.

මේ අතර නිතර නිතර අනුන් ගෙන් ණයට මුදල් ඉල්ලන, සිගරට් ඉල්ලන හා අනුන් ගෙන් තේ එකක් ලැබෙන තුරු බලා සිටන “හිඟන යක්කු” ගැන අපට වැඩි වැඩියෙන් අහන්නට ලැබුණි. අප සිංහල බෞද්ධ සමාජයේ මේ තරම් යක්කු සිටීම ගැන තවදුරටත් සෙවීමට අපට ආශාවක් පහළ විය.

අනුන්ගේ ගෙවල්වල බලහත්කාරයෙන් පදිංචි වී සිටිමින් ඉතා අඩු කුලියක් දෙන හා කිසිම කුලියක් නොගෙවන “ගෙවල යක්කු” අපමණ සිටින බව එම සෙවිල්ලේ දී දැනගත හැකිවිය. රජයේ කාර්යාල වලට අරක් ගෙන සිටින ගෙවල යකුන් හා පෙරේතයින් ද මේ අතර සිටිති. කෑම බීම පෙරේතයින් හා ගෑණු පෙරේතයින් ද සිටින බව දැනගත හැකිවිය.

කෙනෙක් “නැහැදිච්ච යකුන්” හා “ඉරිසියාකාර යකුන්” ගැන ද කියනු ඇසිණ. තව කෙනෙක් “කියන දේ නාහන යකෙකු” ගැන කතා කළේය. උදේ සිට රෑ වෙන තුරු අප රට තොටේ, ගමේ ගොඩේ, සිදාදියේ කවුරුත් පාහේ කතා කළේ යක්කු ගැනය.  අපේ රට දියුණු කිරීම, සංවර්ධනය කිරීම හා නිරෝගී කිරීම ආදී ක්‍රියාවන් නිතරම අඩපණ කරන්නේ මේ යක්කු බව සිතාගත හැකිය.

“මෝඩ හා අපිරිසිදු යක්කු” සෑම තැනකම සිටිති. ලේ පිපාසයෙන් පෙලෙන “විප්ලවකාරී යක්කු” ඇතැම් උසස් නිලතල වලට ද අරක්ගෙන සිටිති. මේ සැමටම වඩා සිටින්නේ “මහා කම්මැලි යක්කුය.” ලේ පරීක්ෂා කිරීමෙන් මේ යක්කු තෝරා වෙන් කරගත හැකිද? ජානුවිද්‍යා විශේෂඥයින්ට විද්‍යානුකූල පරීක්ෂණයකින් ම්ලේච්ඡ යක්ෂ ගති සිංහලයන් අතර තවමත් ඉතිරිව ඇත්තේ මන්දැයි සොයාගනු හැකිවෙයි ද?

ඉහත කී යක්ෂ ගති පෙන්වන අයට ඒවා යක්ෂ ගති බව පෙන්වාදීමෙන් ඔවුන්ට මනුස්ස ගති පුරුදු කළ හැකිය.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1983 ඔක්තෝබර් 1

Advertisements