රැකියා නැති අයට සහන

“තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා, උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා.”

ඔබට රැකියාවක් නැතැයි කියා දුක්වන්න එපා. ඒ වෙනුවට ඔබේ දක්ෂකම් ඉස්මතු කරගෙන අලුත් ආදායම් මාර්ග මතු කරගන්න. එය කළ හැකි එකම පුද්ගලයා ඔබයි.

තිරිසන් සතුන් උන්ගේ දක්ෂකම් ගැන දනිති. ඒ නිසා වලසෙක් කිසි කලෙක පියාසර කරන්නට කල්පනා කරන්නේ නැත. අශ්වයෙකු පනින පිම්මක් පැනීමට බූරුවෙකු වෑයම් නොකරයි. එහෙත් මන උස්සයා නිතරම තමන්ට බැරි දේවල් කරන්නට වෑයම් කොට අහස, මුහුද හා දැන් අජටාකාශය ද තරණය කරයි.

ඔබ දැනට ඉතා දුකසේ කාලය ගෙවන අයෙකු විය හැකිය. එහෙත් එය පසු බැසීමට හේතුවක් නොවේ. මහා ධනවතුන් වී සිටින සෑම කෙනෙක්ම කලකට පෙර ඔබට වඩා දුකට පත් වී සිටියෙකි.

වරක් ඉංග්‍රීසි පුවත්පතක “රැකියාවක් ඕනෑ” යනුවෙන් දැන්වීමක් පළවිය. එම දැන්වීම ඉතා කෙටියෙන් මෙසේය. “මුද්‍රණ ශිල්පය ගැන මනා අවබෝධයක් ඇත. ඕනැම ලොකු කුඩා මුද්‍රණාලයක් භාරව කටයුතු කළ හැකිය. ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය ඉහළ පංති වලට උගැන්වීමට පුළුවන. විද්‍යා උපාධියක් හිමිය. ගිහි දේශකයෙකු වශයෙන් කටයුතු කිරීමට ව්‍යක්ත කථිකත්වයක් ද තිබේ. ඉගැන්වීම, පංති පැවැත්වීම, උපදෙස් දීම යනාදියෙන් කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කිරීමට සූදානම්ය. සංගීත කණ්ඩායමකට බැඳී ඕනෑම භාණ්ඩයක් වාදනය කිරීමට හෝ සමූහ ගීත වලට සහභාගීවීමට ද පුළුවන.”

මෙම දැන්වීම වරින් වර සති කිහිපයක් එකී ඉංග්‍රීසි පත්‍රයේ පළවිය. දිනක් එයට යටින් “ඕනෑම කෙනෙකුට දර පලා දී කරදෙනු ලැබේ. නියමිත ගාස්තුවට වඩා අඩුවෙන් අය කරමි,” යනුවෙන් කොටසක් එකතු වී තිබුණි. එදිනට පසු එම දැන්වීම පත්‍රයේ පළ වූයේ නැත.

ලංකාව ඇතුළු නොයෙකුත් රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එංගලන්තයේ දී හෝටල්වල පිඟන් සේදීමේ යෙදී සිටිති. ලංකාවේ බොහෝ දොස්තර මහත්වරු කලකට පෙර ලන්ඩන් නුවර පිඟන් සෝදා ඇත. විභාගයකින් සමත් වූ සැනින් හා විශේෂ උගත්කමක් හෝ දක්ෂකමක් හෝ නැති බොහෝ දෙනා මුලින් ම බලාපොරොත්තු වෙන්නේ ඉහළම රක්ෂාවකි. එහෙත් ධෛර්යයමත් නමුත් නූගත් තරුණ අය උගත් උපාධිධාරීන්ට වඩා මුදල් උපයන රැකියාවල හා ව්‍යාපාර වල යෙදී සිටිති.

“අපල කාලය” නිසා මුළු ගැන්වී සිටි තරුණයෙක් “අපල කාලය තුල මහන්සි වන්න. සපල කාලය තුල සැපසේ සැප පුටුවුකට වී ඉන්න,” යැයි කී උපදෙස් අසා මහන්සි වී කෙසෙල් වගා කොට නොබෝදා මෝටර් බයිසිකලයක් මිල දී ගෙන අප හමුවීමට එහි නැඟී ආවේය.

රැකියා කරන බොහෝ අය තමන් කරන රැකියාව කෙරෙහි ප්‍රසාදයක් නැත. එවැනි අය වෙනත් කාර්මික හෝ වෙළඳ පුහුණුවක් ලබා ක්‍රමයෙන් තම රැකියාවට ආයුබෝවන් කිව යුතුය. ඔබ උපන්නේ එකම තැනක පල් වෙමින් එකම ස්වාමියෙකුට හම්බකර දීමට නොවේ.

රැකියාවක් නොකරන මිනිසා මනුෂ්‍යයෙක් නොවන්නේය. හොඳ මොළ කාරයෙක් වුවත් අනුන්ගෙන් යැපෙන්නෙක් නම් ඒ මොළයෙන් වැඩක් නැත. කයිවාරු හා තර්ක කිරීමට කැප කරන කාලය අනුන් ගෙන් යැපෙන්නෙකු වීමෙන් වැළකී සිටීමට යොදවන්නට පුළුවන.

ඔබ කරන රැකියාව කුමක් වුවත් එය ඔබ නැතුව කරන්න බැරි තරමට ඔබ දක්ෂයෙක් විය යුතුය. නිකන් වැනි වැනී රැකියාවට යෑම නිසා කෙනෙකු දියුණු වෙන්නේ නැත. රැකියාව පිළිබඳ දැනගත යුතු සෑම අංශයක්ම, සෑම නීති රීති මාලාවක්ම දන්නා අයෙකු වන්න. එවිට ඔබ වටිනා කියන පුද්ගලයෙකු වේ. කුමන් රජයක් බලයට පැමිණියත් ඒ රජයට දක්ෂයන් ඉවත් කර පවත්වාගෙන යා නොහැකිය. ඒ නිසා ඔබ දක්ෂයෙක් වන්න. රැකියාවක් නැත්නම් ලැබෙන ඕනෑම සුළු රස්සාවක් බාරගන්න. එයට ඔබ දක්වන උනන්දුව නිසා ඔබ එහි ඉහළ ම තනතුරට පත්වේ. දක්ෂයා නිතරම පහත් තැනකින් පටන්ගෙන මුදුනට ම නැඟ ගනී.

ලෝකය මනුෂ්‍යයාගෙන් බලාපොරොත්තු වන්නේ දක්ෂකමය. කොපමණ නීතිඥවරු සිටියත් ලොව පුරා කීර්තිය ලබන්නේ දක්ෂ නීතීඥයාය. කොපමණ දොස්තරවරු සිටියත් දක්ෂ වෛද්‍යවරයා තරම් ඔවුන් වටින්නේ නැත. විද්‍යාඥයන්, වෙළන්ඳන් හා ගොවියන් වුවත් එසේම ය.

ඔබේ අත් දෙකට දක්ෂකමේ පුහුණුවක් දෙන්න. ඔබේ ඇස් දෙකට විමසිල්ලෙන් සිටීමට උගන්වන්න. ඔබේ හදවතට සාමකාමී, ඉවසන සුළු අවංකකම පුරුදු කරවන්න. ඔබේ මතකය අවුරුදු ගණනාවක කරුණු රැස්කර තැබීමට හැකි පරිදි සකස් කරගන්න. දක්ෂයෝ උපදින්නේ නැත. උපන් අය දක්ෂයන් වීමට සිත මෙහෙයවති. ඔවුන් දෙස බලන අදක්ෂයෝ තමන්ගේ අලසකම හෝ නොදන්නාකම ගැන නොකියා උපතින් දක්ෂ අය ගැන පුහුමත ඉදිරිපත් කරති.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 ඔක්තෝබර් 15

Advertisements