කුඩා දරුවන් දඟ කරන්නේ ඇයි?

ශාරීරික හා මානසික රෝගයකින් පෙලෙන්නේ නැති සෑම කුඩා දරුවෙක්ම දඟකාරයෙකි. ළමයි දඟ කරන්නේ වැඩෙන ශරීර ශක්තිය වැය කළ යුතු බැවිනි. කුඩා තිරිසන් සතුන් දෙස බලන්න. දඟ නොකළොත් ඔවුන්ගේ වැඩීමක් සිදු නොවේ.

සිංහල ගෙවල් වල ළමයින් දඟ කරනවා දැකීම රුස්සන්නේ නැති අය සිටිති. එයට හේතුව ළමයින්ගේ හැසිරීම වැඩිහිටි අයට නොගැලපෙන බොළඳ ක්‍රියා නිසාය. දඟ කරන ළමයින් පසුපස පන්න පන්නා තලන හැඩි දැඩි වැඩිහිටියන් සිටිති. ඔව්හු කුඩා කළ දඟකරන්නේ නැතිව රෝගීන් මෙන් අයිනක් අල්ලා ගෙන සිටි අය නොවේ.

ළමයින් දඟ කරන්නේ වෙන කරන්නට දෙයක් නැති විටය. ඒ නිසා ළමයින්ට කරන්නට වැඩක් හෝ ක්‍රීඩාවක් නියම කිරීමෙන් ඔව්හු දඟ කිරීම වෙනුවට ශරීර ශක්තිය ක්‍රීඩා කිරීම සඳහා වැය කරනු ඇත.

දඟ කරන ළමයාට වඩා යම් යම් දේ නැති නාස්ති කරන ළමයා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. ළමයින් අතට අසුවන දේ කඩා බිඳ දමන්නේ කරන්නට වෙන දෙයක් නැතිවීම, තනිකම හා අසතුට හේතු කොට ගෙනය. සෙල්ලම් කිරීමට හොඳ අය හා සෙල්ලම් බඩු සැපයීමෙන් දඟ කිරීම ඉබේම අඩුවෙයි.

මිදුලේ හෝ සාලයේ සෙල්ලම් බඩු නැත්නම්, කෑ කෝ ගැසීමේ හෝ අඬන හෝ සිනාසෙන හඬ නෑසේ නම් එම නිවස කුඩා ළමුන් නැති නිවසකි.

වැසි කාලවල, පාසැල් නිවාඩු දිනවල හා අසනීපයෙන් පසුවන ළමයින් නිවසේ සිටින විට වැඩිහිටියන් ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය නම් කළ යුත්තේ ළමයින් සඳහා යම් යම් වැඩ කටයුතු හෝ ක්‍රීඩා සංවිධානය කර දීමයි.

එසේ නැතිව උදේ පටන් රාත්‍රී නින්දට යනතුරු කුඩා දරුවන් සමඟ වාග් සටන් කරමින් උගුරු කට වියලෙන තුරු කෑ ගැසීම තම නූගත්කමේ තරම ලෝකයට කියා පෑමකි. ඒ හැර එයින් දරුවන් අකීකරු මුරණ්ඩු මෝඩයන් ද වන්නේ ය.

මහන මැෂිම, ගුවන් විදුලි යන්ත්‍රය, අල්මාරිය වැනි වැඩිහිටියන් සතු වස්තූන් අතගා බලා ක්‍රියා කරවීමට ළමයින් තුල බලවත් ආශාවක් ඇත. තමා ජීවත්වන පරිසරයේ සෑම දෙයක් ම අවුස්සා බැලීම ළමයාගේ සිරිතයි. මෙම ස්වභාවික ගතිය ගැන දන්නා වැඩිහිටියා මැෂිම, බයිසිකලය හා ටේප් රැකෝඩරය ක්‍රියා කරන හැටි ළමයාට පෙන්වා දෙයි. ඉන්පසු ඒවා ළමයින්ගේ භාණ්ඩ නොවන බව ද පහදා දිය යුතුය. එසේ කියා දෙනවාට ළමයින් අසීමිත ආශාවක් දක්වයි.

අපේ වැඩිහිටි පණ්ඩිතයෝ කුඩා ළමුන් සමඟ කතා කරන්නේ නැත. මෙය ඔවුන්ගේ වැඩිහිටි පණ්ඩිතකමට බලවත් මදිකමකි.

සමහරු කුඩා ළමයෙකු ලවා තමාට ආදරය බව කියවා ගැනීමට දරන ළාමක උත්සාහය දකින විට පවා හිනා යයි. කුඩා දරුවෙකුගෙන් “බබා මට ආදරේ ද?” කියා ඇසීම අවශ්‍ය නැත.

දිනක් තම කුඩා දියණිය මට පෙන්නූ මවක් “මෙයාට මම කොච්චර සත්කාර කළත් මට පොඩ්ඩක් වත් ආදරේ නැහැ. තාත්තාටයි ආදරේ,” යැයි කීවාය. එසේ නිතර නිතර දකින දකින අය සමඟ පැවසීම නිසා ඒ ළමයා මවගේ කීම අකුරට ම ක්‍රියාත්මක කරමින් මහා දරදඬු ගති පෙන්වූවාය.

කුඩා දරුවෙකුට ක්‍රීඩා භාණ්ඩ දී ඒවා ආරක්ෂා කර තැබීමට තැනක් ද වෙන් කරන්න. දරුවා සමඟ එකතු වී ඉඳහිට ඒවා සෝදා පවිත්‍ර කළ යුතුය. ටික දිනෙකින් තමන්ගේ බඩු බාහිරාදිය ආරක්ෂා කිරීමට දරුවා පුරුදු වෙයි. එවිට ගෙදර ඇති හොඳම හැන්ද රැගෙන පොළව හාරන්න දරුවා හිතන්නේ නැත.

බිත්තිවල ලියන්නේ පොත්පත් වල ලියන්නට හා චිත්‍ර අඳින්නට තහනම් කළ නිසාය. ඔබේ කුඩා දරුවා කීකරු කරගත යුත්තේ බියට පත්කිරීමෙන් හෝ දඬුවම් පැමිණවීමෙන් නොවේ. සුහද මිතුරුකමින් කීකරු කරගන්න. කියන දෙයක් අහන්නේ නැතැයි කියා මුළු ගමටම ඇහෙන්න කෑ ගහන්න එපා.

කුඩා ළමයින්ගේ අකීකරුකම් ගැන දකින දකින අයට කීම ඉතාම වැරදියි. එසේ කිරීමෙන් ළමයි තව තවත් අකීකරු වෙති. වැඩිහිටියන්ගේ හැසිරීම් හා ගතිගුණ හොඳ නම් ළමයින් ද ඒවාට පුරුදු පුහුණු වෙයි.

කුඩා ළමුන් සිටින ගෙයක් නිතරම පින්තූරයක් මෙන් ලස්සනට තබා ගැනීමට නුපුළුවන. එසේ තබා ගැනීමට වෑයම් කිරීම ද හොඳ නැත. ගෙයක් තිබිය යුත්තේ නිදහසේ ජීවත්වීමටයි. ප්‍රදර්ශනය සඳහා නොවේ. එසේ නමුත් හැකි තරම් පිරිසිදුවට සිටීම ඉතා අවශ්‍යයයි.

ගෙදරට අමුත්තන් පැමිණි අවස්ථාවක ඔබේ කුඩා දරුවන් අමතක නොකිරීමට මතක තබාගන්න. එවැනි අවස්ථාවල කැපී පෙනීමට ළමයි ආශා කරති. ඒ නිසා ළමයින් ලවා සංග්‍රහ කරවීම, මල් පාත්තිය පෙන්වීමට හා සෙල්ලම් බඩු පෙන්වීමට වැනි දැයකට ඉඩ දෙන්න. ලොකු අය කතා කරන තැන ළමයින් සිටිනවාට වැඩිහිටියෝ කැමති නැත. ඒ බව ළමයින්ට කිව යුත්තේ අමුත්තන් නැති වේලාවටයි.

ඔබේ දරුවා කොපමණ කුඩා වුවත් ඔහු අකීකරු බවක් පෙන්වූ විගස කෝපයට පත් නොවී සිටීමට වගබලා ගත යුතුය. ඔබ කියන දෙයක් කරන්නට ඔහු “බැහැ” කීවොත් කලබල වන්න එපා. අකීකරුවීමට මුල පිරීම යනු ළමයා මනසින් වැඩීමට පටන් ගැනීමයි. ඔහු කැමති දේවල් කරන්නට ඔහුට නියෝග දීමෙන් කීකරු කර ගැනීමට හැකිවේ.

නිවසින් පිට දී හා අන් අය ඉදිරියේ දී දරුවන්ට තැලීම, සැර වැර දමා බැනවැදීම නිසා දෙමාපියන්ගේ නූගත් නැහැදිච්ච කම ලෝකයා දැන ගනී.

නොයෙකුත් විෂඝෝර නපුරු සතුන් පවා හීලෑ කරන්නේ මිනිසාය. ළමයෙකු හීලෑ කරගැනීම ඒ තරම් දුෂ්කර කාර්යයක් නොවේ.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 මැයි 1

Advertisements