එදිනෙදා ජීවිතයේ කරන මෝඩ වැඩ

ඔබ කරන රැකියාව කුමක් වුවත් ඒ ගැන කලකිරී සිටින බව කිසිවෙකුට කියන්න එපා.

අද බොහෝ තරුණ අය ඉතා සුළු සිත් අමනාපයවීමක දී කියන කතාව නම් “මම මේ ඔක්කොම හැර දා පිට යනවා,” කියාය. එසේ කරනවා මිස එසේ කිය කියා එතැනම වැඩ කිරීම ඉතා වැරදි වූ මෝඩ ක්‍රියාවකි.

ඔබ වෙනත් රැකියාවකට හෝ ව්‍යාපාරයක් ඇරඹීමට යන බව ඔබේ ලොක්කාට හෝ අයිතිකරුට කී විට ඔහු ඒ වෙනුවට තවත් කෙනෙකු පුරුදු කර ගැනීමට කටයුතු කරයි. ඔබ යන බව කීවේ ඇත්තට ම වෙන රක්ෂාවක් ලැබීම නිසා නොවේ. ලොක්කාට රිදවීම සඳහා ය. එහෙත් රිදෙන්නේ මෝඩ ඔබටයි.

උනන්දුවෙන් කටයුතු කිරීම ඉතා හොඳය. එහෙත් පමණට වඩා උනන්දුවක් දක්වන අයට ඉතා ඉක්මනින් තමන් කරන කටයුතු එපා වේ.

උනන්දුව අඩුවීම මෙන් ම අතිධාවන උනන්දුව ද අහිතකර ය. උනන්දුව අධික පුද්ගලයා තමන්ගේ අධික උනන්දුවට සෑහෙන ගතමනාව හෝ පිළිගැනීම නොලැබෙන විට ඉතා ඉක්මනින් කලකිරේ. අධික උනන්දුව නිසා ඉතා ඉක්මනට රැකියා එපා වී දුක් විඳින අය බොහෝ ය.

වරද කළ අයට සමාව දීමට අපි උගන්වමු. එයින් අදහස් කරන්නේ තමන්ට වරද කළ අය ගැන දිගින් දිගට සිත සිතා කාලය නරක බවයි. ඔබට වරදක් කළ අයෙකුට විරුද්ධව පොලීසියේ පැමිණිලි කිරීම වරදක් නොවේ. සෑම පුරවැසියෙක්ම සමාජයට වගකීමක් ඇති අයෙකි. එම නිසා අපරාධකරුවන් අල්ලා දීමට, සාක්ෂි දීමට හා දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතුය. ඔබ එසේ කරන්නේ අපරාධකරුවා සමග තරහින් නොවේ. පොලිස් නිලධාරියා හොරෙකු අල්ලා උසාවියට ඉදිරිපත් කරන්නේ සොරා සමග ඇති තරහවකට නොවේ. නඩුකාරයා සොරා හිරගෙයට යවන්නේ ඔහු සමග ඇති තරහවක් නිසා නොවේ.

මිනිස් සිත් තුල පහලවන කරුණාව, දයාව හා සාමය දීමේ උතුම් ගතිය යන උසස් ධර්මයන් දුර්වලකම් නොවේ. මට වරද කළ අයෙකුට මම සමාව දී ඔහු සේවයෙන් අස් කළෙමි. එසේ කළේ නැති නම් ඔහු නැවත වරක් සමාව ලැබෙනු ඇතැයි සිතා එම වරද පළමු වතාවට වඩා සැරට කරනු ඇත. බොහෝ දෙනා තම නිවසේ හොර මැරකම් කළ සේවකයන්ට සමාව දී ඔවුන්ට නැවත වැඩ බාර දෙති. සමාව ලැබුනු නිසා හොරකම් කිරීමේ පුරුද්ද සුව වන්නේ නැත.

හොර මැරකම් හා ජඩකම කරන අයට අනුකම්පා කිරීමෙන් ඔව්හු ඒවා තව තවත් කරති. අනුකම්පාව අතිශයින් දුර්වල වූ මානසික ධර්මයකි. අනුන්ට අනුකම්පා කරන්නේ දුර්වලයෙකි. දඬුවම් කරන්නේ ඊටත් වඩා දුර්වලයෙකි. අනුන්ගේ වරදක් දැක තමන් කිපී නහින්න හදන්නේ මෝඩ දුර්වලයෙකි. අනවශ්‍ය තැනක දී කරුණාව මෛත්‍රිය පෙන්වීම හා කතා කිරීමට පෙළඹෙන අය සිටිති. ඔව්හු නියම සැබෑ කරුණාව හා මෛත්‍රි නොදන්නෝ වෙති.

අපරාධ හා දූෂණ මර්දනය කිරීම සඳහා ඇප වී සිටින පොලිස් නිලධාරියා හෝ යුද සෙබලා තමන්ට අයත් රාජකාරිය පැහැර හරිමින් කරුණාව මෛත්‍රිය හා ඉවසීම ප්‍රදර්ශනය කළහොත් ඔහු කරන්නේ වරදකි. හැමෝම එකතු වී පහර දෙන විට ඉවසා සිටීම නොහොබි. පණ බේරා ගැනීම සඳහා ක්‍රියා කළ යුතුය. සියළු දුක් කරදර ගැහැට ඉවසා ගෙන මිය යෑම හපන්කමක් හෝ ඉවසීමක් හෝ නොවේ. ඉවසීම එවැනි දුබලකමක් නොවේ.

අපරාධකරුවෙකුට වුවත් මෛත්‍රිය කළ යුතු බව සැබෑ ය. ඔහු අල්ලා දෙන්නේ ඒ නිසාය. පළමු වරට අපරාධයක් කළ කෙනෙකුට බොහෝවිට සමාවක් ලැබීම හෝ දඬුවම් ලිහිල් වීම සිදුවේ. මෙයින් පාඩමක් ඉගෙන ඉන්පසු එවැනි අපරාධ නොකරන අය ඉන්නේ ඉතා ටික දෙනෙකි. සෑම අපරාධකරුවෙක් ම පලමු වරට සමාව ලැබීම නිසා බිය තුරන් කරගත් අයය. බලවත් මානසික පීඩනයක් නිසා ද සිතා මතා අර ඇඳීමකින් තොරව ක්ෂණික වැරදි තීරණයකින් අපරාධයකට පෙළඹෙන කලාතුරකින් කෙනෙකු පළමු වරදට සමාව ලැබීමෙන් පසු නැවත වරදට පෙළඹෙන්නේ නැත. එවැනි අය ඉතා අඩු ය.

කෙනෙකුගේ වරදකට සමාව දිය යුත්තේ දඬුවමක් දීමට හා සමාන උපදෙස් දීමක් කිරීමෙන් පසුවයි. කුඩා ළමයෙක් බලවත් වරදක් කළ විට ඒ ගැන කලබල වූ බවක් හා එය භයානක විය හැකි බවක් ඔහුට හැඟෙන සේ කටයුතු කිරීමක් අවශ්‍යයි. ළමයෙකු ගේ වරදකට ඉවසීමෙන් යුතුව සමාව දීමෙන් දරුවා තුල වරද කිරීමේ බිය තුරන් වෙයි. එය දරැවෙකුට කල හැකි විපතකි. එතැන් පටන් බිය තුරන් වූ දරුවා එවැනි වැරදි වැඩ හා ඊට වඩා ලොකු අපරාධ වුව ද කිසිදු චකිතයක් නැතිව කරනු ඇති.

මට වරද කළ අයට මම සමාව දෙමි යනුවෙන් අප අදහස් කරන්නේ කිසිම කෙනෙකු සමග අපේ අමනාපයක් නැති බව වටහා ගැනීමට ය. අපට වරද කළ අයට අපි අපේ හතර මායිමේ පස් පාගන්නට ඉඩ නොදෙමු. එසේ නම් අපේ සිත්වල ඔවුනට ලැගගෙන ඉන්නට කුමට ඉඩ හරින්නේ ද? හතර මායිමේ පස් පාගන්නට ඉඩ නොතබන්නේ වරද කළ පුද්ගලයාට බියෙන් හෝ තරහකින් නොවේ. අපේ සහ ඔහුගේ ආරක්ෂාව සඳහා ය. බිය වීම හා අමනාප වීම යනු ඔහුට තම සිත තුල වැඩසිටීමට සැලැස්වීමය.

එක මෝඩ ක්‍රියාවක් කොට පසුතැවිලි වීමට හා පාඩු විඳීමට සිදුවන මිනිස්සු ඇතැම් විට ඊටත් වඩා මෝඩකම් කරන අවස්ථා ඇත. මෙය දියුණුවෙන්නට හදන ධනවත් වන්නට හදන අය අර බෙහෙවින් දක්නට ලැබෙන දුර්වලකමකි. සල්ලි ඇත්නම් මිනිසුන් හා යහළුවන් හා නෑදෑයින් ඕනෑ නැතැයි සිතන අය සිටිති. තමන්ට හරියන කොට දුගී දුප්පත් නෑයන් හා හිතවතුන් දකින්නට පවා අකමැති වීම මානසික දුබලතාවයකි. තම ධනවත්කම පෙන්වීම සඳහා කටයුතු කිරීම ධනවත් නොවන පුහු මිනිසුන්ගේ ස්වභාවයකි.

අළුත ධනවත් වූ අය අන් ධනවතුන් පැරදවීම සඳහා මුදල් වැය කොට උත්සව පවත්වති. තම දුප්පත් නෑයෙකුගේ දුප්පත් පැලට මඟුල් උත්සවයක් සඳහා ගිය කාන්තාවක් ඇගේ ධනවත්කම පෙන්වීම සඳහා සතු සියළුම රන් අබරණ පැළඳ ගියාය. එය පැල්පතක පැවැත්වෙන උත්සවයකට කිසිසේත් ම ගැලපුනේ නැත. අළුත් සල්ලිකාරයා කියා වෙනසක් නොදැනෙන පරිදි බොරු සෝබන අඩු කිරීම මානසික සමබරතාවය පෙන්වයි. එසේ කිරීමට අමතක කරන අය ලෝකයා හිනස්සති.

අනුන් යටතේ රක්ෂාව කරන අයෙක් තමා ඉතා උසස් මානසික තත්වයක සිටින බව විශ්වාස කළේය. ඔහු දුම් බීවේ නැත. ඔහුගේ ලොක්කා දුම් පිටකරන උදුනක් මෙනි. ලොක්කා මත්පැන් ද බීවේය. ඔහුගේ පෙනුම රෝගියෙකු මෙනි. එහෙත් ඔහු කන්තෝරුවේ ලොක්කා ය. දුම් නොබොන හා මත්පැන් නොබොන තරැණයා තමා එවැනි මානසික දුබලකම් නැති උසස් අයෙකු බව සිතීය. සිතා තමන් ගේ පාඩුවේ වැඩ කළා නම් මෙහි ලියන්නට කිසිවක් ඉතිරි නොවේ. ඔහු තමා ද ලොක්කෙකු බව පෙන්වීමට හිතට ගත්තේ ය. එසේ සිතා ලොක්කාගේ මානසික දුබලකම් ඔහුට පෙන්වා දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ වීර තරුණාය දැන් ඒ රක්ෂාවේ නැත.

ඔබට මානසික දියුණුවක් තිබේ නම් ඔබ කළ යුත්තේ එය ආරක්ෂා කරමින් වැඩි දියුණු කර ගැනීමය. අනුන්ට පෙන්වීමට හෝ අනුන් පහත් කොට තමා උසස් යයි සිතීමට මානසික දියුණුවක් ඇති අයෙකුට නුපුළුවන. ඔබේ මානසික ශක්තියට අන් අය යටත් කර ගැනීමට නොසිතන්න. අන් අය එයට වශී වී එහි රහස ඔබෙන් අසන තුරු ඉවසන්න. කවදා හෝ ඇසුවේ නැත්නම් ඔබ ඔබේ පාඩුවේ ඉන්න.

සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1984 පෙබරවාරි 1

Advertisements