උද්යෝගය තුල ඇති පුදුම බලය

ඔබ අසා ඇති අනිකුත් සියළුම යෝග හා සංයෝග වලට වඩා උද්යෝගය තුල මහා පුදුම බලයක් ඇත. උද්යෝගය නොමැතිව කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් මෙතෙක් කිසිවකු ලබා නැත.

උද්යෝගයෙන් කටයුතු කළ යුතුය යන වගන්තිය හා උපදේශය ඔබ කොතෙකුත් අසා ඇත. කියවා තිබෙන්නට ද පුළුවන. එහෙත් මිනිසා උසස් බවට, ධනවත් බවට, උගත් බවට හා කොටින් ම ශ්‍රේෂ්ඨ බවට පත් කරවීමට උද්යෝගය නැමති මානසික බලවේගයට පුළුවන් බව ඔබ කල්පනා කළේ නැත.

දක්ෂයෙකු වීමට, පුහුණුවක් ලැබීමට හා ප්‍රයෝජනවත් කටයුත්තක් කිරීමට කෙනෙකු තුල උද්යෝගයක් තිබිය යුතුය. එසේ නොමැති නම් තමා තුල යටපත් වී ඇති උද්යෝගය අවදි කරවා ගත යුතුය.

කිසිම උද්යෝගයක් නැතිව විශිෂ්ඨ ජයක් ලැබුවෙක් ලොව නැත. උද්යෝගය නොමැති අයට ජීවත් වීමට පුළුවන. තිරිසනුන් මෙන් ඉපදී සිටින නිසා ජීවිතය පවත්වා ගෙන යෑම නියම ජීවත්වීම නොවේ.

උද්යෝගයෙන් යම් යම් කටයුතු කරන අය අධෛර්යමත් කරන පුද්ගලයන් සිටිති. ඔවුන් එසේ අනුන් අධෛර්යමත් කරන්නේ තමන් නොදැනුවත්වම යටි සිතේ සැඟවී ඇති ඉරිසියාව ඉස්මතු වීම නිසාය. ඉරිසියාව ගතානුගතික නරක පුරුද්දකි.

උද්යෝගයකින් යුතුව කරන ඕනෑම බැරෑරුම් කටයුත්තක් පහසුවෙන් කළ හැකිවේ. උද්යෝගය නොමැතිව කරන ඕනෑම පහසු වැඩක් ඉතා දුෂ්කර කටයුත්තක් වන්නේ ය.

කෙනෙකු ස්වකීය දියුණුව සඳහා උද්යෝගීමත් වීම වහාම ඇරඹිය යුතුය. කල් දැමීම නිසා බොහෝ දේවල් කෙරෙහි පවතින උද්යෝගය අඩුවේ. උද්යෝගය හා උනන්දුව නිසා කලකට පෙර තමා අවාසනාවන්ත යයි සිතා සිටි අප සංගමයේ බොහෝ දෙනෙකු දැන් දියුණුව කරා වේගයෙන් ගමන් කරමින් සිටිති.

උනන්දුව නැමති මානසික බලවේගය ඕනෑම කෙනෙකුට උපදවා ගත හැකිය. උද්යෝගය නැමති කෙනෙකු ඉදිරියට යවන මානසික බලවේගය මේ දැන් උපදවා ගන්නට පුළුවන.

කන්තෝරුවක හෝ වෙනත් වැඩ පොළක නිකරුනේ කතා කරමින් කාලය නාස්ති කරන අයෙකුට උද්යෝගය හා උනන්දුව ගැන වැටහීමක් හෝ අත්දැකීමක් ලැබීමට අවස්ථාව නොලැබේ.  ඔබ යමක් කරන්නේ ඔබේ සම්පූර්ණ හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ද? එයට තව ටිකක් උනන්දුව හා උද්යෝගය එකතු කරන්නට බැරි ද?

උනන්දුවේ හා උද්යෝගයේ බලමහිමය අත්හදා බැලීම සඳහා පෑනක් හෝ පැන්සලක් ගෙන උනන්දුව මාතෘකා කොට ලිපියක් ලියන්න. ඔබ නොදැන සිටි ඔබේ මානසික අලසකම් හා දක්ෂකම් එම ලිපිය තුලින් ඉස්මතු වන්නේය.

ඔබ ලිවීමට දක්ෂයෙකු නූනත් දිනපතා විනාඩි කිහිපය බැගින් යම් දෙයක් ගැන ලියන්නට කාලය මිඩංගු කළහොත් ඔබට මෙතෙක් නොතිබු හැකියාවක් ඇතිබව අවබෝධ වනු නිසැකය. මේ අයුරින් ඕනෑම වැඩක් හෝ ඉගෙනීමක් නැවත ආරම්භ කරන්න. එය පෙරට වඩා උනන්දුව එකතු කරන්න. ඉන්පසු එම කාරණය සීඝ්‍රයෙන් දියුණු වන අයුරු නරඹා සතුටු වන්න.

සමහරු කියන්නේ “මම මට පුළුවන් ම තරමින් ඉස්තරම් විදියට කටයුතු කරනවා,” යනුවෙනි. එහි සත්‍යයක් නොමැත. ඔබ හොඳින් කල්පනා කර බැලුවොත් දැනට වඩා හොඳින් හෝ වේගයෙන් හෝ ඔබේ නිර්මාණ ශක්තිය දියුණු කරගත හැකිය.

උද්යෝගයක් ඇති පුද්ගලයාට බාධක පෙනෙනුයේ ජයගත යුතු ක්‍රියාවක් හැටියටය. අලසයාට ඒවා පලා යා යුතු මාරක හැටියට දිස්වේ. ඔබට වෙන කරන්නට කිසිවක් නොමැති නම් කාලයෙන් ප්‍රයෝජන ගන්න. වෙනදා කරන්නට බිය වූ, අත්හදා බැලීමට මැලි වූ, බොරු ලැජ්ජාව නිසා හෝ මානයෙන් ඉදිමී සිටීම නිසා හෝ නොකර සිටි වැඩක් වහාම කරන්නට සිතට ගන්න. එයින් ඔබ ලබන අත්දැකීම ඔබේ ජීවිතයට ආලෝකය ගෙන එයි.

සාර්ථක භාවයේ රහස තමන් කැමති දෙයක් කිරීම නොව, කරන දේ කැමැත්තෙන් කිරීමය. අප කැමති බොහෝ දේවල් අපව සතුටු කරවමින් පරිහානිය කරා ද ගෙන යයි. එහෙත් අපේ දියුණුවට අවශ්‍ය දෙයට අප කැමති වනතුරු අපිට දියුණු වීමට බැරි  බව ඥානවන්තයා අවබෝධ කරගනී.

මානසික දුබලකම් වහා ජය ගැනීමට කටයුතු කරන්න. පැයකින් දෙකකින් එය සාර්ථක නූනොත් මාසයකින් දෙකකින් හෝ ජය ලැබෙනු ඒකාන්තය. එවිට මාසයකින් දෙකකින් පසු ඔබ දියුණුවීමට පටන් ගනී. එහෙත් එය ආරම්භ කළ යුත්තේ දැන් ය. දැන් ආරම්භ නොකරන යමකින් අනාගතයේ පල නෙලා ගැනීමට නොසිතන්න.

වහාම බැරි වුතත් ක්‍රම ක්‍රමයෙන් ටිකින් ටික හෝ දියුණුව පැත්තටම තල්ලු වෙන්න. එය පිරිහීම දෙසට තල්ලු වෙනවාට වඩා දුෂ්කර වැඩකි. එහෙත් අවසාන ප්‍රතිඵලය සතුටුදායක වීම ස්ථීරයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා පත්‍රය, 1980 මැයි 1

Advertisements